හිතන්නවත් බැරි ආදර කතාවක්

මිනිසුන් වශයෙන් අපි එකි`නෙකාට ආදරය දක්වනවා .එලෙස මවුපියන්ට දූ දරුවන්ට හිතමිතුරන්ට සැමියාට බිරිඳට පෙම්වතාට පෙම්වතියට දක්වන ආදරයේ යම් පරිමාවක් පවතිනවා.

තමන්ට දාව තමන්ගේ කුසින් උපන් දූ දරුවන් සම්බන්ධයෙන් බොහෝ මවුපියන් ;මට කොයි දරුවත් එකයි .එක් කෙනෙක්ට කියලා වෙනසක් නෑ;කීවත් මව්පියන්ගේ ආදරයේ තුළ පවා වෙනස්කම් විෂමතා පවතිනවා .අහිංසකයා ,,පවුලේ බාලයා ,කීකරු ම දරුවා ,හොඳටම ඉගෙන ගන්න කෙනා ආදී වශයෙන් ඒ ආදරේ අඩු වැඩි කම් නැත්තෙ නැහැ .මිනිසුන් මිනිසුන් අතර පවතින ආදරේ තුළ බලහත්කාරී ඉල්ලීමක් නැතිනම් ඔබට වඩාත් වැටහෙන ආකාරයෙන් පවසනවා නම් “ඩිමාන්ඩ්” කිරීමක් පැහැදිලිවම දකින්න ලැබෙනවා .

නමුත් සුනඛයෙකු තම හාම්පුතාට දක්වන ආදරය තුළ මේ ඩිමාන්ඩ් කිරීම කියන කාරණය කොහෙත්ම දකින්න නැහැ .කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව තමන් ගේ හාම්පුතාට හෝ හාම්පුතුන්ට පිරිනමන සුනඛ ආදරය අතිශයින්ම කොන්දේසි විරහිතයි .සුනඛ- සුනඛ ගැටුම් විරසක කම් කොතෙක් පැවතියද තම හාම්පුතා සම්බන්ධයෙන් සුනඛයෙකු නම් දැඩි ආදරයක් විනා අමනාපයක්
කිසිවිටෙක ඇති කරගන්නේ නැහැ .

මිනිසා කෙරෙහි සුනඛයා තුළ ඇති ආදරය අවුරුදු දහස් ගණනක් පැරණි එකක් වුවත් මේ සුනඛ ආදරයේ තරම මිනිසාට දැනෙන්නට වී එතරම් කලක් ගත වී නැහැ.තමන්ගේම වර්ගයාගෙන් කොතෙකුත් හිත් රිදීම් අකටයුතුකම් විශ්වාසය කඩ වීම් සිදු වෙද්දී තිරිසන් සතෙකු වූ සුනකයාගේ මේ අචල ආදරයේ වටිනාකම මිනිසුන්ට දැඩි සේ දැනෙන්නට වුණා .මනසින් උසස් තැනක සිටිනවා යැයි පවසන මිනිසුන්ගේ හිතෛෂිවන්ත කම් ආදර සබඳතා පුංචි පුංචි දේ හේතුකොටගෙන පවා සැනින් බිඳ වැටෙද්දී සුනඛයෙකු තුළ තම හාම්පුතා සම්බන්ධයෙන් පවතින උත්තරීතර ආදරය පිළිබඳ මෑත භාගයේ බොහෝ පර්යේෂණ සිදු වුණා.

Ethology නමින් හැඳින්වෙන සත්ව චර්යාවන් හැදෑරීමේ විෂය තුළ දී තම හාම්පුතා කෙරෙහි සුනඛයාගේ ඇති අපරිමිත ආදරය බොහෝ
අවස්ථාවන්හිදී පර්යේෂනාත්මක ව සනාථ වුණා. මිනිසුන් මිනිසුන් අතර ඇති ආදරය මිල මුදල් ,තානාන්තර ,බලපුළුවන්කාරකම්
,පෙනුම ආදී සාධක මත වෙනස් වුවත් සුනඛයා තම හාම් පුතා කෙරෙහි දක්වන ආදරය ඔහු හෝ ඇය අසරණව ජරාජීර්ණ ව ගිලන් ඇඳට වැටුණ ද වෙනස් වෙන්නේ නැහැ .

එතැනින්ද නොනැවතී මිහිදන් කළ තම හාම්පුතා පවා හැර නොගිය සුනඛ හිතවතුන් පිළිබඳව පුවත් ඔබත් අසා ඇති .සුනඛ ආදරය ලොව ඇති උත්තරීතරම ආදරයකැයි මහාචාර්ය ස්ටැන්ලි කෝරන් පවසන්නේ ඒ නිසයි .

මිනිසා කෙරෙහි සුනඛයා තුළ පවතින මේ අචල ආදරය පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කළ ජර්මන් ජාතික එම මහාචාර්ය වරයා සුනඛ බුද්ධිය සම්බන්ධයෙන්ම The intelligence of dogs කෘතිය පළ කිරීමත් සමඟ බොහෝ මිනිසුන් සුනඛ ආදරය පිළිබඳ
සොයන්න ටත් එය විඳින්නටත් වැඩි වැඩියෙන් පෙළඹුණා .

මිනිසා හා සුනඛයා අතර ඇති වන දැඩි මානසික බැඳීම හේතුවෙන් දෙදෙනාගේම සිරුර තුළ නිපදවෙන ආදර හෝමෝනයක් වන ඔක්සිටොසින් (Oxytocin) ඔවුන් දෙදෙනා අතර ම අතිශය දැඩි බැඳීමක් ඇති කරවනවා.එතරම් දුරකට ඇදීයන සුනඛ මිනිස්
ආදරයක දී තමන්ට සිටින වටිනාම කෙනා මේ අහිංසකයා යි යන හැඟීම මිනිස් සිත තුළ තදින්ම පැලපදියම් වෙනවා .සුනඛයා තුළත් තමන්ට සිටින වටිනාම කෙනා කියන ගැඟීම ඒ ආකාරයෙන්ම තහවුරු වෙනවා.

මිනිසුන් වන අපි සුනඛ ආදරය පිළිබඳ වූ සත්‍යය හරියටම දැනගන්නෙ මේ මෑතකදී වුවත් සුනඛයා ඒ දැනගෙන වසර දහස් ගණනකටත් වඩා ඈතයි .ඒ අතින් සුනඛයා තමයි මිනිසාටත් ඒ ආදර කතාවේ පූර්වගාමියා.

මිනිස් සුනඛ ආදරය පිළිබඳව බොහෝ දේ පර්යේෂණාත්මකව ඔප්පු කළ මහාචාර්ය ස්ටැන්ලි කෝරන් මෙන්න මෙහෙම කතාවක් කියනවා “සුනඛ මිනිස් ආදරය සංකල්පයක් විදියට මම තදින්ම පිළිගන්නවා .මම මුලින්ම සුනඛයින් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තෙ මගේ ඉලක්කය මා සිදුකරන පර්යේෂණ වූ නිසා .පර්යේෂණ යකාට ගියත් දැන් මං දන්න එකම දේ එයාලගෙන් තොර ලෝකයක් මට නම් දැන් නෑ කියලා විතරයි”.සුනඛ මිනිස් ආදරය කොතරම්
උත්තරීතරද යන්නට තවත් කුමන උපහැරණ ද ?

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සටහන:උත්පලා සුභාෂිණී ජයසේකර

සතුන්ටත් හිමි අපේ ලෝකය