කාවන්තිස්ස ඇතාගේ මරණය හා වනජීවී දෙපාර්තමේන්තුව ලණු කා පච වීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර හා අම්පාර හිටපු මහ දිසාපති

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් රටේ බහුතර ජනතාව තුළ හටගත් කම්පනය තවමත් නිම වී නොමැත. සාමාන්‍යයෙන් අලි-මිනිස් ගැටුමෙන් මිනිසුන්ට බරපතළ පීඩා විඳින්නට සිදුවන අවස්ථාවලදී ඇතිවන කම්පනය මිනිසුන් පිටකරන්නේ වනජීවී නිලධාරීන් පිටිනි. ඒ, වනජීවී නිලධාරීන් අලි-මිනිස් ගැටුම වැළැක්වීමට ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකරන්නේය යන චෝදනාව කරමිනි. එසේම, අලි-මිනිස් ගැටුමෙන් අලින්ට පීඩාවක් සිදුවූ අවස්ථාවලදීත් ජනතාව තුළ ඇතිවන කම්පනය පිට කරන්නේ වනජීවී නිලධාරීන් පිටින්ම ය. ඒ, අලින් රැකගැනීම සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකරන්නේය යන චෝදනාව කරමිනි. මේ නිසා අලි-මිනිස් ගැටුමෙන් අලින් හා මිනිසුන් මෙන්ම බලවත් සේ විපතට පත්වන පාර්ශ්වයක් ලෙස වනජීවී නිලධාරීන් හඳුනාගත හැකිය. මේ නිසාම වනජීවීන් කළමනාකරණය කිරීම ඉතා අසීරු විෂයක් මෙන්ම කවර අතකින්වත් හොඳක් අසන්නට නොලැබෙන විෂයක් බවට පත්ව ඇත. ඒ නිසාම තමන්ට යම් බරපතළ පීඩනයක් එල්ල වූ තත්ත්වයන් තුළදී එම පීඩනයෙන් මිදීමට කුමන හෝ උත්සාහයක් දැරීම වනජීවී නිලධාරීන්ගේ පමණක් නොව ඕනෑම අයෙකුගේ සිරිත ය.

ඉහත පූර්විකාව සටහන් කළේ කාවන්තිස්ස ඇතාගේ මරණය හේතුවෙන් එල්ල වූ බරපතළ පීඩනයෙන් මිදීමටදෝ වනජීවී දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන බාල බොළඳ උත්සාහයන් දැක, ඒ පිළිබඳව යමක් ලිවීමට සිතුණු නිසා ය. ශ්‍රී ලාංකීය වන ඇතුන් පිළිබඳ පුරාවෘත්තයේ සංකේතාත්මක වටිනාකමක් තිබුණු ඇත් රජෙකු වන කාවන්තිස්ස පිළිබඳ මහජන අවධානය යොමුවී වසර දොළහක් පහළොවක් පමණ වේ. මේ ඇතා ගැවසුණු ප්‍රදේශවල මහජනතාව ඔහු පිළිබඳව හොඳින් දැන සිටියහ.

කොතරම් අලි-මිනිස් ගැටුම්වලින් පාඩු වුවත්, ගල්ගමුව, ඇහැටුවැව, සියඹලන්ගමුව ආදී ප්‍රදේශවල සැරිසැරූ මේ ඇතා මිනිසුන්ගේ ඉමහත් ආදරයට හා ගෞරවයට ලක්ව සිටි සතෙකි. මේ ඇතා කෙරෙහි තිබුණු මෙම ආකර්ෂණය නිසාම වනජීවී දෙපාර්තමේන්තුවේ සුවිශේෂ අධීක්ෂණය යොමු කළ යුතුව තිබුණි. නමුත් එසේ තිබුණේ යැයි පැහැදිලිව කිව නොහැක්කේ මේ ඇතාගේ සංචරණයේ යම් වෙනසක් ඇති බව නිරීක්ෂණය කරගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවට නොහැකි වීමෙන් එය පැහැදිලි වන බැවිනි. දැනගන්නට ලැබෙන පරිදි, පසුගිය දිනවල මේ ඇතා ඇවිදීමේ අපහසුවකින් සිටින බවත්, ඉදිරි පාදයක යම් ආසාදන තත්ත්වයකින් පීඩා විඳින බවත් මුලින්ම නිරීක්ෂණය කළේ ප්‍රදේශවාසී මහජනතාව ය. මහජනතාව විසින් මේ තත්ත්වය නිරීක්ෂණය කළ පසුවත් වනජීවී දෙපාර්තමේන්තුව මේ ඇතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබුණි. එසේ වුවද, ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමටත් කිසියම් ප්‍රමාදයක් වූ බවත්, ඉන් පසුව ආරම්භ කළ ප්‍රතිකාරවලදී යම් යම් අඩුපාඩු සිදුවූ බවටත් චෝදනා ජනතාව කරති. කෙසේ හෝ අවසානයේ මේ වටිනා ඇතා අවසන් හුස්ම හෙළුවේ මුළු රටේම මිනිසුන් කම්පාවට පත් කරමිනි. මේ කම්පනය හුදෙක් ඇතාගේ වියෝව නිසා පමණක් හටගත් එකක් නොවීය. නිසි ලෙස මැදිහත්වීමක් වුණේ නම් බේරාගත හැකිව තිබුණු සතෙකු වනජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ල මත රටට අහිමි වූ බවට වූ මහා විරෝධයක්ද එහි විය. මෙය සුපුරුදු පරිදි එල්ල වූයේ ආණ්ඩුවට ය. ආණ්ඩුවේ වගකීම රජය මෙහෙයවීම ය. රජයේ ආයතන මඟින් සපයන සේවාවන් පිළිබඳව මහජනයාට වග කියන්නේ ආණ්ඩුවේ ඒ ඒ විෂය භාර ඇමතිවරු ය.

මේ ඇතාට සිදුවූ විපත වනජීවී නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූවක් බව පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ පරිසර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියමින් ප්‍රබල විරෝධයක් රටෙන් මතු වන්නට විය. ඒ වනවිටත් මතුව තිබුණු වෙනත් විරෝධයන් සමඟ කාවන්තිස්ස ඇතු අරබයා මතුවූ විරෝධයේ කම්පනය ආණ්ඩුවට හොඳින් දැනෙන්නට ඇත. වනජීවී ලොක්කෙකු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මේ ඇතා වසර හතළිස් පහක් බලාගත් බවත්, එය සුළුපටු දෙයක් නොවන බවත් ප්‍රකාශ කිරීම ඇවිළෙන ගින්නට පෙට්‍රල් දැමීමක් බවට පත්විය. එයින් සිදුවූයේ ආණ්ඩුවට එල්ල වූ විරෝධය තවත් තීව්‍ර වීම පමණි. කාවන්තිස්ස ඇතා පිළිබඳවත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඥානසාර හිමියන් පිළිබඳව එල්ල කළ පීඩනයන් නිසාත් මිරිකී සිටි ආණ්ඩුවේ අවධානය ඇතාගේ සිද්ධියට යොමුවන්නට ඇත.

හදිසියේම ඇතාට වෙඩි තැබූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ඇරඹූ පොලිසියේ වලාන දූෂණ මර්දන ඒකකය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වනජීවී නිලධාරීන්ට භාරදී ඇත. මෙසේ අත්අඩංගුවට ගත් දෙදෙනාම බලපත්‍ර සහිත ගිනිඅවි හිමිකරුවන් බව කියවේ. මේ අයව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය විමසා ඇත්තේ මේ අය ඇතාගේ ඝාතනයට සම්බන්ධ බවට ඇති සාක්ෂි මොනවාද යන්නයි. ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව සැකකරුවන් බන්ධනාගාරගත කිරීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය අවවාදාත්මකව ප්‍රතිචාර දක්වා ඇත.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල් කොට සමාජ ජාලයන් ඔස්සේ විසිරණය වන කෘතිමව සකසන ලද රූප සටහනක්
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල් කොට සමාජ ජාලයන් ඔස්සේ විසිරණය වන කෘතිමව සකසන ලද රූප සටහනක්

මෙසේ කිසිදු සාක්ෂියකින් තොරව, බලපත්‍ර සහිත ගිනිඅවියක් හිමිව තිබීම නිසා ඇතාට වෙඩි තබන්නට ඇතැයි සැක කර පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීම බරපතළ ගැටලු ඇති කරන්නකි. කිසියම් අපරාධයක් පිළිබඳව සැකකරුවෙකු ලෙස පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඒ පිළිබඳව පැහැදිලි සාක්ෂි අවශ්‍ය වේ. යමෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහුට එරෙහිව ඇති චෝදනාව ප්‍රකාශ කර අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල ක්‍රමවේදයයි. එලෙස චෝදනාව ප්‍රකාශ කිරීමට නම් අඩුම තරමේ පැහැදිලි සාක්ෂි දෙකක්වත් තිබිය යුතු ය. මේ ඇතාට වෙඩි වැදී ඇත්තේ මාසයකට පමණ පෙර බව පැවසේ. ඒ අනුව, ඒ වනවිටත් සිදුව අවසන් අපරාධයකට යමෙකු අත්අඩංගුවට ගැනීම සාක්ෂි නැතිව සිදු කළ නොහැකි ය. මෙහිදී වනජීවී නිලධාරීන් අධිකරණය ඉදිරියේ දැක්වූ කරුණු ලෙස වාර්තා වී තිබුණේ මොවුන් සතුව ඇති බලපත්‍ර සහිත ගිනිඅවිවලින් ඇතාට වෙඩි තබන්නට ඇතැයි සැක කරන බවත්, ඔවුන් ගිනිඅවි බලපත්‍රයේ කොන්දේසි කඩ කර ඇති බවත් ය. මෙය සත්‍ය වශයෙන්ම සිදුවූවක් නම්, වනජීවී නිලධාරීන් කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳව තමන්ගේ නොසැලකිල්ල හේතුවූ බවට වන මහජන චෝදනාවෙන් ගැලවීමට කළ බොළඳ ක්‍රියාවක් බව සඳහන් කළ යුතු ය. බොහෝ විට වනජීවී නිලධාරීන්ට මේ ලණුව දුන්නේ ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගත් පොලිසිය වන්නටත් බැරි නැත. රටේ පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට ගන්නේ බලපත්‍ර සහිත ගිනිඅවි ළඟ තබා ගැනීම වැනි සාධක මත නම්, ස්ත්‍රී දූෂණයක් බඳු බරපතළ අපරාධයක් සිදුවූ ප්‍රදේශයක පදිංචි වැඩිහිටි පිරිමි පුද්ගලයන් රංචු පිටින් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මේ රටේ පවතින බව සඳහන් කළ හැකිය.

ඉහළ ජෛව විවිධත්වයක් සහිත රටක් වන මේ රටේ වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා බලගන්වා ඇති රාජ්‍ය ආයතනයක් මේ අන්දමින් කාගේ කාගේ හෝ උවමනාවන් වෙනුවෙන් වගකීම් විරහිතව ක්‍රියා කිරීමෙන් තම රාජකාරි සඳහා අත්‍යවශ්‍ය මහජන සහයෝගය දිනාගැනීම කෙසේ වෙතත්, තවත් මහජන පිළිකුලට හා අප්‍රසාදයට භාජනය වන බව නම් නියත වශයෙන්ම කිව හැකි ය.

සුනිල් කන්නන්ගර
කොළඹ, රත්නපුර හා අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර