සුරතල් සතකුගේ ජීවිතයක් වෙනුවෙන් දිවි අහිමි කරගත් අහිංසකාවිය දිනේත්‍රී

අප සෑම කෙනකුටම කුමන ආකාරයක හෝ මරණයක් හිමි වේ. නමුත් සුරතල් සතෙකුගේ ජීවිතයක් බේරාගන්නට ගොස් තමන්ගේම වටිනා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම අතිශය සංවේදී, හදවත් සසල කරවන දුලබ පුවතකි. මුළු රටම සංවේදී කරවන එවන් ඛේදවාචකයක් පසුගිය 20 වැනිදා රාත්‍රියේ වරකාපොළෙන් වාර්තා වී තිබේ.

මෙලෙස අකාලයේ දිවි ගමනින් සමුගෙන ඇත්තේ වරකාපොළ, අල්ගම, මදුරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. පී. දිනේත්‍රී ඉමේෂිකා උදානී නම් තිස් දෙහැවිරිදි තරුණියයි. නිට්ටඹුව, කළගෙඩිහේන ප්‍රදේශයේ අත්වැසුම් නිෂ්පාදන ආයතනයක සේවය කරමින්, ආදරණීය මව, පියා සහ බාල සහෝදරයා සමඟ ඉතා සතුටින් දිවි ගෙවූ, අහිංසක දිවි පෙවෙතක් හිමි තැනැත්තියකි.

සිද්ධිය වූයේ පසුගිය ඔක්තෝබර් 20 වැනිදා රාත්‍රී 10.00 ට පමණ ය.

නින්දේ පසුවූ දිනේත්‍රීට එකවරම නිවස පිටුපසින් බළලුන් දෙදෙනෙකු පොරබදින ශබ්දයක් ඇසී ඇත. ඉන් මොහොතකට පසු සුරතල් බළලෙකු ළිඳට වැටෙන ශබ්දය ඇසීමත් සමඟ ඇය කිසිදු පමාදයකින් තොරව පියා සමඟ එසැණින් ළිඳ අසලට දිව ගොස් තිබේ.

පොළොව මට්ටමේ සිට අඩි තුනක පමණ උසකින් යුතු ආරක්ෂිත බැම්මක් සහිත එම ළිඳ තුළට ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා බැලූ ඔවුන් දුටුවේ දිය මත අසරණව පාවෙන සුරතලා ය. පියා ලණුවක් ගැටගැසූ බාල්දියක් මඟින් සතාව ගොඩගැනීමට උත්සාහ කරන අතරතුර, අමතර සහායක් පතා මව අසල්වැසි ඥාති නිවසක් වෙත දිව ගොස් ඇත.

පියාට බාල්දිය පහත් කිරීමට පහසුවක් වන පිණිස ජංගම දුරකථනයේ එළිය ළිං පතුලටම යොමු කිරීම සඳහා ළිඳට නැමෙන මොහොතේ, කිසිවෙකුත් නොසිතූ අයුරින් දිනේත්‍රීගේ පය ලිස්සා ගොස් ළිඳ තුළට ඇදවැටී තිබේ. එසැණින් අසල්වැසි ඥාතියකු වහා පැමිණ ළිඳට බැස ඇයව ගොඩගෙන නිට්ටඹුව වතුපිටිවල මූලික රෝහල වෙත කඩිනමින් රැගෙන ගියද, ඒ වන විටත් ඇය ජීවිතයෙන් සමුගෙන සිටියාය.

වෛද්‍ය හා පොලිස් වාර්තා අනුව ඇගේ මරණයට හේතු වී ඇත්තේ ඇය ළිඳට ඇදවැටෙන මොහොතේ එහි වූ කොන්ක්‍රීට් කොටසක හිස දැඩි ලෙස ගැටීමෙන් සිදු වූ බරපතළ අභ්‍යන්තර තුවාල මිස දියේ ගිලීමක් නොවේ. තතු දත්තවුන් පෙන්වා දෙන්නේ රාත්‍රී කාලයේදී පෙනීම සීමා වීම, ළිං ගැටිති සහ බැමි අසල රැඳෙන තෙතමනය සහිත ලිස්සන සුළු බව මෙවැනි මාරාන්තික අනතුරුවලට ප්‍රධානතම හේතුවක් බවයි.

කේ. පී. දිනේත්‍රී ඉමේෂිකා උදානී
කේ. පී. දිනේත්‍රී ඉමේෂිකා උදානී

තවත් අහිංසක ජීවිතයකට අභයදානය දෙන්නට ගොස් තමන්ගේම හුස්ම පොද අහිමි කරගත් මේ ආදරණීය දියණියගේ, සොයුරියගේ සමුගැනීම මුළු මහත් මදුරුපිටිය ප්‍රදේශයම කඳුළු සාගරයක ගිල්වා හමාරය.

ඇගේ කරුණාවන්ත හදවත, පෙර සිටම සතුන්ට දැක්වූ දයාව අදටත් ගම පුරා කතාබහට ලක්වෙයි. එහෙත් අනතුරක් යනු මොහොතකින් සිදුවිය හැකි දෙයක් බව මෙම සිදුවීම අපට නැවත නැවතත් සිහිපත් කර දෙයි.

රාත්‍රී කාලයේදී මෙවැනි අනතුරුදායක ස්ථානවල කටයුතු කිරීමේදී සහ ගැඹුරු ළිං ආශ්‍රිතව ගැවසීමේදී හැකිතාක් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, අවදානමක් පෙනෙන ඕනෑම තැනකදී තමන්ගේ ජීවිතාරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් අපි සියලු දෙනාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

කරුණාවන්ත හදවතකින් මරණය අබියස ඇති ජීවිතයක් බේරාගැනීමට ගොස් ඛේදනීය ලෙස දිවියෙන් සමුගත් ආදරණීය දිනේත්‍රී ඉමේෂිකා දියණියනි, සොයුරියනි, අපි ඔබට අපගේ උත්තමාචාර පුද කරමු!

ඒ. ජී. රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර