ශ්රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙහි පළ වූ සටහනක් මුල් කරගනිමින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.”කට අරින්න කලින් දෙපාරක් හිතන්න” යන මැයෙන් පළ කර තිබූ අදාළ ෆේස්බුක් සටහන තර්ජනාත්මක ස්වරූපයක් ගන්නා බව පවසමින් ‘Youth For Change’ සංවිධානය විසින් ඊයේ (22) දින මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.අදාළ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, “Think Twice Before You Open Your Mouth” යන පණිවිඩය ඇතුළත් ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.පොලිස් නිල පිටුව හරහා සමාජගත කර තිබූ අදාළ සටහනෙහි මෙසේ සඳහන්ව තිබුණි:
“කට අරින්න කලින් දෙපාරක් හිතන්න! ඔබ අද කෝපයෙන් කියන එක වචනයක්, හෙට දවසේ ඔබට විරුද්ධව සාක්ෂියක් වෙන්න පුළුවන්. ඒ නිසා කතා කරන්න කලින් දෙපාරක් හිතන්න. ඔබ කියන දේ සත්යයක්ද? ඒක කියන්න අවශ්යද? ඒ වචනවලින් තවත් කෙනෙකුට අසාධාරණයක් සිදු වෙනවාද?යන්න “
පොලිසිය එම සටහන හරහා, කතා කිරීමට පෙර දෙවරක් සිතන ලෙසත්, පවසන දේ සත්යයක්ද, එය පැවසීම අවශ්යද සහ එම වචනවලින් තවත් කෙනෙකුට අසාධාරණයක් සිදුවෙනවාද යන්න පිළිබඳව ජනතාවගෙන් විමසීමක් කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම සටහනෙහි බිලී කොක්කක එල්ලී හිඳින මාලුවෙකුගේ රූපයක් සහිතව පළ කර තිබීම තර්ජනයක් සේ හැඟෙන බැවින් ඊට එරෙහිව මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම අපේක්ෂාවෙන් මෙම පියවර ගෙන ඇති බව සංවිධානය පවසයි. ඔවුන් මෙම සටහන තර්ජනාත්මක ලෙස හඳුන්වා ඇත.පැමිණිල්ල ගොනු කිරීම සඳහා ‘Youth For Change’ සංවිධානයේ ජාත්යන්තර කටයුතු ලේකම් ශක්ති මාකාවිට, ජාතික කමිටු සාමාජික උදාර සඳරුවන් සහ කොළඹ දිස්ත්රික් කමිටු සාමාජික ටෙරන්ස් රොද්රිගු කොමිසම වෙත පැමිණ සිටියහ.මෙය අදහස් ප්රකාශ කිරීමේ නිදහසට බලපෑමක් ඇති කළ හැකි බවට සංවිධානය චෝදනා කරන අතර, මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.