පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්රමාණයක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ භූ විද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. මේ නිසා ඔක්තෝබර් 3දා සිට මේ දක්වා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීම් 25ක් නිකුත් කර ඇතැයිද හෙතෙම කීවේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසනලදි. ඕනෑම මොහොතක අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බැවින් නායයෑම් අනතුරු සැලකිල්ලට ගන්නා ලෙසද හෙතෙම පවසාඇත.
මෙහිදී අදහස් පළ කළ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනාවැකි, මෙරිල් මෙන්ඩිස් මහතා මෙසේ ද පවසනලදි.
“පවතින අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් මේ මස 27 දා දිවයිනේ ප්රදේශ රැසකට අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවැතිය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් වැඩි අවධානයක් කළ යුතුයි.”
මෙහිදී අදහස් දැක්වූ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ භූ විද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා
“බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කොළඹ සහ කළුතර දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නායයෑමේ පූර්ව ලක්ෂණ දක්නට ලැබුණොත් ආරක්ෂක ස්ථාන කරා යොමු විය යුතුයි.
එලෙසම පෙර ඇති වූ දිට්වා බලපෑම නිසා බොහෝ ප්රදේශවල නායයෑම්වල මූලික ලක්ෂණ මතුව තිබෙනවා. ඇතැම් ස්ථානවල ගල් සහ පස් තට්ටු තාවකාලිකව රැඳී ඇති අතර, පවතින වර්ෂාවත් සමඟ ඒවා සෝදාගෙන යෑමේ දැඩි අවදානමක් පවතිනවා. පොළොව අභ්යන්තරයෙන් හෝ පරිසරයෙන් යම් ශබ්දයක් ඇසුණොත් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා. එම ලක්ෂණ නායයෑමකට කලින් සිදු වන පූර්ව අනතුරු ඇඟවීමක් විය හැකියි.”
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා,
“මධ්යම, නැඟෙනහිර සහ ඌව පළාත් සහ පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. දැදුරු ඔය ආශ්රිතව ආපදා තත්ත්ව පිළිබඳ තොරතුරු දැනුම්දීමට හෝ අවශ්ය සහය ලබා ගැනීමට පැය 24 පුරා ක්රියාත්මක 117 කෙටි දුරකතන අංකය අමතන ලෙසද දැනුම් දෙනවා. දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතිනවා. දැදුරු ඔය ජලාශයේ පිට වාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝන අඩි 16,500ක් තරම් ශීඝ්රතාවකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතිනවා.
මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව මත මෙම ප්රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකියි. මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්රදේශවලට හා ඒ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. පොල්ගොල්ල, රාජාංගණය, තබ්බෝව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇත. අඹේවෙල, කැනියොන් ජලාශවලද වාන් දොරටු විවෘත කර තිබෙනවා. මේ අතර කලා ඔයත් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ ආසන්නයේ පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.”