ගින්නට හසු නොවී ගිනි පාගන්නේ දේව හාස්කමකින්ද?

දෙපා දවා නොගෙන ගිනි අඟුරු මතින් ඇවිද යන කතා ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඇතැම් විට එවැනි අවස්ථා දැක තිබෙන්නට ද පුළුවන. කතරගම දේවාලය ඇතුළු අප රටේ විවිධ ස්ථානවල ඇති දේවාල සහ කෝවිල්වල වාර්ෂිකව ද මෙවැනි ගිනි පෑගීමේ අවස්ථා දක්නට ලැබේ.

ගිනි පෑගීමක් සඳහා ගිනි අඟුරු හොඳින් බිම අතුරනු ලබයි. ලබා ගත හැකි ගිනි අගුරු ප්‍රමාණය මත ගිනි පාගන ප්‍රදේශයේ විශාලත්වය ද වෙනස් වෙයි. ඉන්පසු සාමාන්‍ය වේගයකින් යුක්තව ගිනි මතින් ඇවිද යයි. ගිනි අඟුරු තරණය කිරීමෙන් පසු දෙපා පරීක්ෂා කොට බැලූ විට දකින්නට හැක්කේ මොනම ආකාරයකින්වත් යටි පතුල් ගින්නෙන් දැවී නැති බව ය. එයින් නරඹන්නන් තුළ ගිනි පාගන්නා කෙරෙහි පුදුමාකාර භක්තියක් ඇති වේ.

ගිනි පෑගීම් සිදුවන්නේ අප රටේ පමණක් නොවේ. ඉන්දියාව, ටිබෙටය, ජපානය, පිලිපීනය, මැලේසියාව වැනි රටවලින් මේවා වාර්තා වේ. එය යම්කිසි ආගමකට පමණක් සීමා වූ දෙයක් නොවන බව එයින් පැහැදිලි ය.

බයිබලයේ පැරණි ගිවිසුමේ නෙබුචඩ්නැසර් රජුගේ අණින් කිහිප දෙනෙකු ගින්නට පිළිස්සෙන්නට දමන කතාවක් අසන්නට ලැබෙන අතර ඔවුන් ඒ ගින්නෙන් පිළිස්සෙන්නේ නැත. රාමායනය කතාවේ දී සීතා ද ගින්න මැදින් ඇවිද යයි. එයින් පැහැදිලි වන්නේ ගින්නට නොදැවී එය මැදින් ඇවිද යාම පිළිබඳ සංකල්ප අනාදිමත් කාලයක සිටි මිනිසුන් අතර පැවති බවයි.

අප රටේ දේවාලවල මේ කාර්යය සඳහා මුල්තැන ගන්නේ ප්‍රධාන කපු මහතාය. ඔහු මේ අපූරු විස්මය ජනක ක්‍රියාව කරන්නේ හොඳින් පේ වී දෙවියන්ගේ පිහිට ද ඇතිව ය. වෙනත් අයුරකින් පැවසුවහොත් දෙවියන් මෙයට පිහිට වන බව ඔහු පෙන්වයි. ඉන් පසු ඔහු ගිනි අඟුරු මතින් ඇවිද යයි.

ගිනි අඟුරු මතින් ඇවි ගිය පුද්ගලයන් පිළිබඳ කතා ඕනෑතරම් සොයා ගත හැකිය. අන්තර්ජාලය පිරික්සූ විට අපට මේ පිළිබඳ බොහෝ තොරතුරු ලැබේ. සැබවින්ම ගිනි පැගීම සඳහා අසාමාන්‍ය මිනිස් හැකියාවක් අවශ්‍ය ද? මෙ සඳහා දෙවියන් වැනි නොපෙනෙන බලවේගයක පිහිට ලැබෙනවාද? එසේත් නැත්නම් දෙපා නොපිළිස්සීම පිණිස යම් රසායනික වර්ගයක් භාවිත කරනවාද? මේ දෙස මැදිහත් සහ විමසිලිමත් සිතින් බලන කෙනෙකුට ඇතිවන ගැටලු මේවාය. මේවා ලෝකයේ බොහෝ දෙනෙකුට ඇති වී තිබේ. ඒවාට පිළිතුරු ද සොයා ගෙන තිබේ. ඒ පිළිතුරු දෙස බැලීමේ දී පෙනී යන්නේ ගිනි පෑගීම විස්මයජනක, දෙවියන්ගේ පිහිටෙන් සිදු කළ යුත්තක් නොවන බව ය.

භෞතික විද්‍යාඥයකු වන ඩේවිඩ් විලී ඒ පිළිබඳ දක්වා ඇත්තේ මෙවැනි අදහසකි. තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරන ක්‍රම තුනකි. ඒවා නම් සන්නයනය, සංවහනය සහ විකිණයයි. තාපය සන්නයනය වීම යනු යම්කිසි ද්‍රව්‍යයක් හරහා තාපය ගමන් කිරීමය. සංවහනය යනු වාතය හෝ ජලය හරහා ගමන් කිරීමය.

විකිරණය යනු එක් මධ්‍ය ස්ථානයක ඇතිවන තාපය සරල රේඛා මාර්ගයක් ඔස්සේ සෑම අතටම පැතිර යාමය. තාපය හොඳින්ම සන්නයනය වන්නේ ලෝහ හරහාය. දැව යනු හොඳ සන්නයනයක් නොවේ. ගිනි අඟුරු තැනීම සඳහා ගන්නේ දැවමය කොටස් ය. එබැවින් දැව හරහා අප සිතන තරම් තාපයක් සන්නයනය වන්නේ නැත. අනෙක ගිනි මතින් ඇවිද යන්නෙකු එක තැන නතර වී සිටිනන්නේ නැත. ඔහු එක දිගට ගමන් කරයි. එහිදී යටිපතුල ගිනි අඟුරු මත පවතින කාලය තත්පරයකටත් අඩු ය. එය පිළිස්සෙන්නට තරම් ප්‍රමාණවත් කාලයක් නොවේ.

අනෙක යටිපතුල් සිරුරේ අනෙක් ස්ථානවලට වඩා ඝනකමය. එබැවින් දැව හොඳ සන්නයනයක් නොවීම, යටිපතුල් ගිනි අඟුරු මත තත්පරයකටත් අඩු කාලයක් පැවතීම සහ යටිපතුල් ඝනකම වීම යන කාරණා නිසා දෙවිපිහිටක් හෝ අසාමන්‍ය මිනිස් හැකියාවක් නොමැතිව ගින්නට නොදැවී ඕනෑම අයෙකුට ගිනි මතින් ඇවිද යා හැකිය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගිනි මතින් ඇවිද ගියේ මේ කාරණාව දැන සිටි නිසා විය හැකි ය.

කෙසේ නමුත් ඉහතින් සඳහන් නොකළ විශේෂ බලයක් ඔබ තුළ තිබීම අත්‍යවශ්‍යය. ඒ ගිනි අඟුරු මතින් ඇවිද යන්නට ඔබ තුළ ඇති අධිෂ්ඨානශීලී කැමැත්තයි. ඒ කැමැත්ත සහ නිර්භීත බව නොමැති නම් ඔබට ගිනි මතින් ඇවිද යා නොහැකිය. ඒ මානසික ශක්තිය නොමැති පුද්ගලයන් ගිනි මතින් ඇවිදින විට දෙවියන්ගේ පිහිට අයදින්නේ ඒ නිසාය.

ඔබ සැබෑ මානසික තත්ත්වයක පසුවන පුද්ගලයෙකු නම් ඔබට ද පහසුවෙන්ම මේ ක්‍රියාව සිදුකළ හැකිය. ඒ හැර ගිනි පෑගීම පසුපස අසාමාන්‍ය මිනිස් හැකියාවක් හෝ දේව බලයක් පවතින්නේ නැත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්