
මේ වසර මැද භාගයේ සිට සිදු විය හැකි මහා බරපතළ කාලගුණික විපර්යාසයක් පිළිබඳ මේ වන විට මුළු ලොවම කතා කරන්නට පටන් ගෙන තිබේ. කෙසේ නමුත් රජය පාර්ශ්වයෙන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පාර්ශ්වයෙන් හෝ මේ පිළිබඳ තවමත් සැලකිය යුතු කිසිවක් ප්‍රකාශ කර නොමැති බව නම් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. පැසිෆික් සාගර කලාපයේ ඇති වන සුවිශේෂී සාගර-වායුගෝලීය විපර්යාසයක්, එනම් විද්‍යාත්මක බසින් එල් නිනෝ (El Niño) ලෙස හඳුන්වන තත්ත්වය, මේ වසරේ (2026) මැද භාගයේ සිට වර්ධනය වෙමින් පවතී. මේ තත්ත්වය සරල බසින් කිවහොත් අප මුහුණ දෙන්නට යන්නේ හුදෙක් වැසි නොලැබී යාමකට එහා ගිය, වසර ගණනාවකින් උදා නොවූ, දීර්ඝ වූ දරුණු නියං තත්ත්වයකට සහ මහා පරිමාණ දේශගුණික ආපදාවකටය. ලෝක දේශගුණ විද්‍යා සංවිධානය (WMO), ඇමරිකාවේ NOAA ආයතනය (National Oceanic and Atmospheric Administration – ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය) මෙන්ම ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම (2026 ජූනි) දත්ත සහ අනාවැකිවලට අනුව, මෙම තත්ත්වය ඇති වීමේ හැකියාවේ ප්‍රතිශතය 80% – 98% තරම් ඉතාමත් ඉහළ අගයක පවතී. ලොව පුරා රටවල් රැසක් මේ වන විටත් මෙමඟින් ඇති විය හැකි බරපතළ බලපෑම් වළක්වා ගැනීමට පූර්ව සූදානමක නිරත වෙමින් සිටියද, ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන පෙර සූදානම කෙබඳුද යන්න සහ ජනතාව ලෙස අප පෞද්ගලිකව ගත යුතු පියවර මොනවාද යන්න ගැඹුරින් විශ්ලේෂණය කළ යුතුව තිබේ.

අප රටේ බහුතරයක් ජනතාව සිතන්නේ නියඟය යනු මාස කිහිපයක් වැසි නොලැබී යාම සහ අව් රශ්මිය අධික වීම පමණක් කියාය. නමුත් මෙවර පැමිණීමට නියමිත දරුණු නියං තත්ත්වය ඊට වඩා බෙහෙවින් වෙනස්ය. එය සමස්ත දේශගුණික රටාවම උඩුයටිකුරු කරන්නකි. මෙමඟින් පානීය ජල මූලාශ්‍ර සිඳී යාම, කෘෂිකාර්මික වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශ වීම සහ අවසානයේ රටේ ජාතික ආහාර සුරක්ෂිතතාව බිඳ වැටීම වැනි එකිනෙකට සම්බන්ධ ප්‍රතික්‍රියාවක් සිදු වේ. තවද, මෙවැනි දීර්ඝ නියං කාලයකින් පසු, වායුගෝලීය පීඩන වෙනස්වීම් හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිතව දරුණු සුළි කුණාටු වර්ධනය වීමේ අවදානමක්ද පවතී. දීර්ඝ කාලයක් තිස්සේ වේලී, බුරුල් වී පවතින පස මතට, එවැනි සුළි කුණාටුවක් මඟින් එකවරම මහ වැස්සක් වැටුණහොත් ක්ෂණික ගංවතුර සහ දරුණු නායයෑම් ඇති විය හැකිය. එබැවින්, අප මුහුණ දෙමින් සිටින්නේ සරල කාලගුණික වෙනසකට නොව, දිගුකාලීන මහා විනාශයකට මඟ පාදන උවදුරකටය.

අප රටේ බහුතරයක් ජනතාව සිතන්නේ නියඟය යනු මාස කිහිපයක් වැසි නොලැබී යාම සහ අව් රශ්මිය අධික වීම පමණක් කියාය. නමුත් මෙවර පැමිණීමට නියමිත දරුණු නියං තත්ත්වය ඊට වඩා බෙහෙවින් වෙනස්ය. එය සමස්ත දේශගුණික රටාවම උඩුයටිකුරු කරන්නකි. මෙමඟින් පානීය ජල මූලාශ්‍ර සිඳී යාම, කෘෂිකාර්මික වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශ වීම සහ අවසානයේ රටේ ජාතික ආහාර සුරක්ෂිතතාව බිඳ වැටීම වැනි එකිනෙකට සම්බන්ධ ප්‍රතික්‍රියාවක් සිදු වේ. තවද, මෙවැනි දීර්ඝ නියං කාලයකින් පසු, වායුගෝලීය පීඩන වෙනස්වීම් හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිතව දරුණු සුළි කුණාටු වර්ධනය වීමේ අවදානමක්ද පවතී. දීර්ඝ කාලයක් තිස්සේ වේලී, බුරුල් වී පවතින පස මතට, එවැනි සුළි කුණාටුවක් මඟින් එකවරම මහ වැස්සක් වැටුණහොත් ක්ෂණික ගංවතුර සහ දරුණු නායයෑම් ඇති විය හැකිය. එබැවින්, අප මුහුණ දෙමින් සිටින්නේ සරල කාලගුණික වෙනසකට නොව, දිගුකාලීන මහා විනාශයකට මඟ පාදන උවදුරකටය.

මෙවැනි දීර්ඝ වූ දරුණු නියඟයකදී මිනිසාට වඩා දරුණු ලෙස පීඩාවට පත්වන තවත් කොටසක් සිටින අතර, ඒ අපේ වනාන්තරවල වෙසෙන වනජීවීන්ය. ජල මූලාශ්‍ර සිඳී යාම සහ වනාන්තර වියළී යාම නිසා සතුන් දැඩි විජලනයට සහ සාගින්නට ලක්වන අතර, මෙය වනඅලි සහ අනෙකුත් සතුන්, වතුර සහ ආහාර සොයා ගම්වැදීමට ප්‍රධානතම හේතුවක් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස්-අලි ගැටුම අතිශය දරුණු මට්ටමකට වර්ධනය වේ. ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් මෙවැනි දරුණු වියළි කාලගුණයක් පැමිණීමට මාස කිහිපයකට පෙර සිටම, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ වනාන්තරවල තත්ත්වය නිරීක්ෂණය කර, වනෝද්‍යාන ඇතුළත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ළිං පද්ධති මඟින් කෘත්‍රිම දියකඩවල් නිරන්තරයෙන් ප්‍රතිපූරණය කරයි. එමඟින් සතුන්ට වනාන්තරයෙන් පිටතට පැමිණීමට ඇති අවශ්‍යතාව වළක්වයි. නමුත් ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ සැලසුම් සමඟ ඒකාබද්ධ වී නොමැති අතර, නියඟය දරුණු වූ පසු වනාන්තරවලට බවුසර් මඟින් වතුර ඇදීම වැනි ප්‍රාථමික සහ අකාර්යක්ෂම ක්‍රමවේදවලට පමණක් සීමා වෙයි.

මෙම පසුගාමීත්වයට මූලිකම හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ පවතින “පසුවිපරම්” ආපදා කළමනාකරණ සංස්කෘතියයි. ඕනෑම රටක ආපදා කළමනාකරණය යනු විද්‍යාත්මක, සැලසුම්සහගත සහ පූර්ව සූදානමකින් යුත් ක්‍රියාවලියකි. එයට ප්‍රධාන අවධීන් හතරක් ඇති අතර, ආපදාවන් කල්තියා වළක්වා ගැනීම, හානිය අවම කිරීමට පියවර ගැනීම, ඊට මුහුණ දීමට සූදානම් වී සිටීම සහ ආපදාව සිදු වූ පසු සහන සැලසීම හා ප්‍රතිසංස්කරණය ඒ අතර වේ. සැබවින්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කළ යුත්තේ කාලගුණ අංශවලින් දරුණු නියඟයක් පිළිබඳ අනාවැකි ලැබුණු වහාම, කෘෂිකර්ම, වාරිමාර්ග, ජලසම්පාදන සහ බලශක්ති අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ජාතික පෙර සූදානම් මෙහෙයුමක් දියත් කිරීමයි. බිම් මට්ටමේ ජනතාවට සහ ගොවීන්ට තේරෙන සරල බසින් පූර්ව අනතුරු ඇඟවීම් ලබා දීම, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ක්‍රමවේද හඳුන්වා දීම සහ හදිසි ජල හා ආහාර සංචිත කලින්ම සූදානම් කිරීම ඔවුන් සතු ප්‍රධාන වගකීමක් වුවද ලංකාවේ වත්මන් යථාර්ථය දෙස බැලීමේදී පෙනී යන්නේ, අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ආපදා කළමනාකරණයක් නොව, ආපදා සන්නිවේදනයක් සහ පසු සූදානමක් පමණක් බවයි. රාජ්‍ය ආයතන සතුව කඩදාසි මත විශාල සැලසුම් සහ ෆයිල් තිබුණද, ඒවා බිම් මට්ටමේ ක්‍රියාත්මක වන්නේ නැත. අපේ බලධාරීන් පුරුදු වී සිටින්නේ නියඟය පැමිණ, කුඹුරු පාළු වී, ජනතාව බීමට ජලය නොමැතිව පීඩා විඳින විට “අච්චර පිරිසක් පීඩාවට පත් වුණා, මෙච්චර වගා හානි වුණා” කියමින් සංඛ්‍යාලේඛන එකතු කිරීමට සහ බවුසර් මඟින් වතුර බෙදීමටය. විපතක් වීමට පෙර වළක්වා ගැනීම වෙනුවට, විපත වූ පසු පසුපසින් ගොස් පිළියම් සෙවීමේ අසාර්ථක ප්‍රතිපත්තියක් අප රට තුළ තවමත් ක්‍රියාත්මක වේ.

දීර්ඝ නියං කාලයකදී රටේ විදුලි නිෂ්පාදනයටද මාරාන්තික පහරක් එල්ල වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශ සිඳී යන විට, රජයට ජලවිදුලි උත්පාදනය සීමා කිරීමට සිදු වේ. එහිදී ඇති වන ප්‍රධානතම ගැටලුව වන්නේ, කෘෂිකර්මාන්තයට ජලය මුදා හැරීම සහ විදුලිය නිපදවීම අතර සමතුලිතතාවක් පවත්වා ගැනීමට නොහැකි වීමයි. බොහෝ දෙනෙක් සිතන්නේ, දරුණු නියං කාලයට සූර්ය බලශක්තිය උපරිමයෙන් ලබාගෙන ගල් අඟුරු, ඩීසල් සහ තාප බලාගාර භාවිතය නතර කළ හැකි බවයි. න්‍යායාත්මකව එය නිවැරදි වුවද, ප්‍රායෝගිකව ශ්‍රී ලංකාවට එය කළ නොහැකි වීමට බලශක්ති ක්ෂේත්රයේ බරපතළ තාක්ෂණික බාධාවන් පවතී. ලංකාවේ වැඩිම විදුලි ඉල්ලුමක් පවතින්නේ පස්වරු 6.00 ත් රාත්‍රී 10.00 ත් අතර කාලයේදී වන අතර, එම අවස්ථාවට සූර්යාලෝකය නොමැති වීමත්, දහවල් කාලයේ නිපදවන සූර්ය විදුලිය රාත්‍රියට භාවිත කිරීම සඳහා ගබඩා කර තැබිය හැකි මහා පරිමාණ බැටරි පද්ධති ලංකාව සතු නොවීමත් මෙහි ප්‍රධානතම ගැටලුවයි.

මීට අමතරව ලංකාවේ පවතින සාම්ප්‍රදායික විදුලි පද්ධතිය සහ ට්‍රාන්ස්ෆෝමර් නිර්මාණය කර ඇත්තේ බලාගාරයේ සිට නිවසට විදුලිය සැපයීමටය. අධික හිරු එළිය පවතින දහවල් කාලයේදී නිවාස වහල මත ඇති සූර්ය පැනල මඟින් එකවර විශාල විදුලි ධාරිතාවක් පද්ධතියට මුදාහරින විට, වෝල්ටීයතාව අධික වී පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් මතු වන බැවින්, විදුලිබල මණ්ඩලය විසින් ඇතැම් අවස්ථාවල සූර්ය පද්ධති විසන්ධි කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. මෙයින් සිදු වන්නේ, පරිසරයෙන් නොමිලේ ලැබෙන වටිනාම සූර්ය බලශක්තිය නිපදවිය හැකි උපරිම වෙලාවේදීම අපතේ යෑමයි. මේ සියලු තාක්ෂණික දෝෂ හේතුවෙන්, නියඟය උච්චතම අවස්ථාවට පැමිණෙන විට, අධික පිරිවැයක් දරා ඩීසල් සහ දැවි තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වන අතර එය රටේ ආර්ථිකයට තවත් බරපතළ බරක් එක් කරයි.

ඕනෑම දේශගුණික විපතකදී ලෝකයේ අනෙක් රටවල් ක්‍රියා කරන ආකාරය සහ අප රට ක්‍රියා කරන ආකාරය අතර ඇත්තේ දැවැන්ත පරතරයකි. ඕස්ට්‍රේලියාව, වියට්නාමය සහ පිලිපීනය වැනි රටවල් මෙවැනි දරුණු නියං අවදානමකදී ක්‍රියා කරන්නේ අපට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. ඕස්ට්‍රේලියාව මාස කිහිපයකට පෙර සිටම නියං ඇඟවීම් නිකුත් කර, ලැව්ගිනි මර්දන බලකායන් සීරුවෙන් තබා, ජල සලාක ක්‍රමවේද ක්‍රියාත්මක කරයි. වියට්නාමය සහ පිලිපීනය වැනි ආසියානු රටවල්, නියඟය පැමිණීමට පෙරම ගොවීන්ට ජලය අඩුවෙන් අවශ්‍ය විකල්ප බෝග සහ බීජ වර්ග නොමිලේ ලබා දී, ඔවුන්ගේ වගා දිනදර්ශනය කලින්ම වෙනස් කරයි. අප රටේ එවැනි පූර්ව සූදානමක් නැති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් තීරණ ගන්නේ වසර 5ක ඡන්ද කාලය මුල් කරගෙන වීමයි. දේශගුණික විපර්යාස සඳහා අවශ්‍ය වසර 10-20ක දිගුකාලීන ව්‍යාපෘතිවලට ඔවුන් ප්‍රමුඛතාව දෙන්නේ නැත. එමෙන්ම කාලගුණ, වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ක්‍රියාත්මක වන්නේ එකිනෙකින් වෙන් ව හුදෙකලා ආකාරයකින් වන අතර, ඔවුන් අතර දත්ත සහ සැලසුම් හුවමාරුවක් නිසි කලට සිදු නොවේ. පවතින දැඩි මූල්‍ය හිඟය හේතුවෙන්, විදුලි පද්ධති නවීකරණය කිරීමට හෝ නවීන තාක්ෂණයන් මිලදී ගැනීමට රජයට ප්‍රායෝගිකව ප්‍රාග්ධනයක් නොමැති වීමත්, රටක් ලෙස අප පුරුදු වී සිටින “ප්‍රශ්නයක් ආවාම බලමු” යන සමාජ මානසිකත්වයත් මෙම පසුගාමීත්වයට ප්‍රධාන හේතු වේ.

රාජ්‍ය මට්ටමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන තෙක් බලා සිටියහොත්, මෙම දීර්ඝ දරුණු නියඟය හමුවේ අප අසරණ වීම වැළැක්විය නොහැක. එබැවින් පෞද්ගලික සහ පවුල් මට්ටමින් අප වහාම පූර්ව ආරක්ෂණ පියවර වෙත යොමු විය යුතුය. එහිදී නළ ජලය සහ ළිං ජලය පරිහරණය කිරීමේදී උපරිම අරපිරිමැස්මෙන් කටයුතු කළ යුතු අතර, ගෙවතු වගාවලට සහ වාහන සේදීමට පානීය ජලය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නතර කර, වැසි ජලය එකතු කර තබාගැනීමේ සරල පද්ධති නිවෙස්වල ස්ථාපිත කර ගැනීම ඉතා වැදගත් වේ. ඉදිරියේදී එළවළු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යා හැකි බැවින්, තම ගෙවත්තේ කුඩා ඉඩක හෝ ජලය අඩුවෙන් අවශ්‍ය, නියඟයට ඔරොත්තු දෙන අල වර්ග, මිරිස්, තක්කාලි වැනි බෝග වර්ග බඳුන්වල හෝ වගා කිරීම වහාම ආරම්භ කළ යුතුය.
එමෙන්ම වියළි කාලගුණයත් සමඟ විදුලි බිල ඉහළ යාම සහ විදුලි කප්පාදු ඇති වීමේ අවදානමක් පවතින බැවින් නිවසේ විදුලි පාරිභෝජනය සීමා කළ යුතු අතර, නිවසේ සූර්ය පැනල පද්ධතියක් තිබේ නම්, පද්ධතිය විසන්ධි වන අවස්ථාවන් කළමනාකරණය කරගැනීමට කුඩා බැටරි පද්ධතියක් එකතු කරගත හැකිනම් වඩාත් යෝග්‍ය වේ. මෙම කරුණුවලට අමතරව අධික උෂ්ණත්වය නිසා වැළඳෙන සරම්ප, වසූරිය වැනි බෝවන රෝග, විජලනය සහ සමේ රෝගවලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් පරිදි පිරිසිදු උණුකර නිවාගත් ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
ඉදිරියේදී පැමිණීමට නියමිත දීර්ඝ වූ දරුණු නියං තත්ත්වය යනු අපට මඟහැර යා නොහැකි, නමුත් නිසි සැලසුමකින් මුහුණ දිය හැකි ස්වාභාවික අභියෝගයකි. විපතක් සිදු වූ පසු මියගිය සංඛ්‍යාලේඛන ලේඛනගත කරන පසුවිපරම් සංස්කෘතියෙන් බලධාරීන් වහාම මිදිය යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය වන තැන, පුරවැසියන් ලෙස අප පෞද්ගලිකව සූදානම් වීම හැර වෙනත් විකල්පයක් නැත. එසේ නොමැතිව අප “බකං නිලාගෙන සිටීමෙන්” පලක් වන්නේ නැත. බිම් මට්ටමේ සාමූහික පෙර සූදානම සහ සම්පත් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම පමණක්ම මෙවැනි මහා දේශගුණික ආපදාවකින් අවම හානියකින් බේරීමට ඇති එකම මඟයි.
ඉදිරියේදී පැමිණීමට නියමිත දීර්ඝ වූ දරුණු නියං තත්ත්වය යනු අපට මඟහැර යා නොහැකි, නමුත් නිසි සැලසුමකින් මුහුණ දිය හැකි ස්වාභාවික අභියෝගයකි. විපතක් සිදු වූ පසු මියගිය සංඛ්‍යාලේඛන ලේඛනගත කරන පසුවිපරම් සංස්කෘතියෙන් බලධාරීන් වහාම මිදිය යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය වන තැන, පුරවැසියන් ලෙස අප පෞද්ගලිකව සූදානම් වීම හැර වෙනත් විකල්පයක් නැත. එසේ නොමැතිව අප “බකං නිලාගෙන සිටීමෙන්” පලක් වන්නේ නැත. බිම් මට්ටමේ සාමූහික පෙර සූදානම සහ සම්පත් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම පමණක්ම මෙවැනි මහා දේශගුණික ආපදාවකින් අවම හානියකින් බේරීමට ඇති එකම මඟයි.
නිරංජන් චාමින්ද කරුණාතිලක