“මන්චි” සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගමක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ (මන්චි) සභාපති, ප්‍රවීණ ව්‍යවසායක රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතා ඊයේ (06) අභාවප්‍රාප්ත විය. මියයන විට දේශීය මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමක් දිනා සිටි ඒ මහතා, මෙරට ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් සැපයූ සුවිශේෂී චරිතයකි. 1930 දශකයේදී ‘විලියම්ස් කොන්ෆෙක්ෂනරි’ සමාගම ආරම්භ කළ සයිමන් ආතර් වික්‍රමසිංහ මහතාගේ බාල පුත්‍රයා වූ රම්‍ය වික්‍රමසිංහ මහතා, 1961 වසරේදී පියාගේ අභාවයෙන් පසු සිය සහෝදරයන් තිදෙනා සමඟ එක්ව ව්‍යාපාරයේ වගකීම් භාරගනිමින් වර්තමාන දැවැන්ත සීබීඑල් සමූහ ව්‍යාපාරයට මූලික අඩිතාලම දැමීය.විශේෂඥ ආහාර තාක්ෂණවේදියෙකු වූ වික්‍රමසිංහ මහතා, නිෂ්පාදනවල පෝෂණ අගය සහ ගුණාත්මකභාවය නැංවීමට සිය ජීවිතයම කැප කළ අයෙකි. ඒ මහතා 1973 වසරේදී රජය සහ ‘කෙයාර්’ සංවිධානය එක්ව ගැබිනි සහ කිරිදෙන මව්වරුන් වෙනුවෙන් හඳුන්වා දුන් ‘ත්‍රිපෝෂ’ නිෂ්පාදනයේ වට්ටෝරුව සකස් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. මීට අමතරව 1960 දශකයේ අගභාගයේදී පාසල් දරුවන්ගේ මන්දපෝෂණය පිටුදැකීම වෙනුවෙන් ප්‍රෝටීන් බහුල බිස්කට් නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් 1968 වසරේදී පන්නිපිටියේ සීබීඑල් සමාගම නිල වශයෙන් ස්ථාපිත කිරීමටද ඔහු පුරෝගාමී විය. එම වැඩසටහන හරහා දශක දෙකකට ආසන්න කාලයක් පුරා මෙරට පාසල් දරුවන් මිලියන 1.3 කට පමණ පෝෂණ සත්කාරය සැලසීමට එම සමාගමට හැකි විය.දීර්ඝ කාලයක් සමාගමේ නියෝජ්‍ය සභාපති ධුරය දැරූ ඒ මහතා, 2015 වසරේදී සීබීඑල් සමූහයේ සභාපති ධුරයට පත් විය. ඔහුගේ දූරදර්ශී නායකත්වය යටතේ මෙරට බිස්කට් වෙළෙඳපොළෙන් සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සමාගම සමත් වූ අතර, මන්චි, රිට්ස්බරි, ටියාරා, ලංකාසෝයි, සමපෝෂ සහ නියුට්‍රිලයින් වැනි ජනප්‍රිය සන්නාම රැසක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට නිකුත් කෙරිණි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ අනුබද්ධ ආයතන නවයක් පවත්වාගෙන යන සීබීඑල් සමූහය ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය සහ ඝානාව වැනි රටවලද සිය නිෂ්පාදන කටයුතු ව්‍යාප්ත කරමින් සාර්ථක ගෝලීය සමාගමක් බවට පරිවර්තනය වී ඇත.ගුණාත්මකභාවය මෙන්ම දේශීය ගොවීන් සවිබල ගන්වමින් දේශීය අමුද්‍රව්‍ය භාවිතයට මුල්තැන දුන් වික්‍රමසිංහ මහතා, සේවක සුබසාධනය ද ඉහළින්ම අගය කළ නායකයෙකි. ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් සීබීඑල් ආයතනය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ, ඔහු තම ජීවිතය කැප කළේ හුදෙක් ව්‍යාපාරයක් ගොඩනැගීමට පමණක් නොව රැකවරණය, අඛණ්ඩතාව සහ නවෝත්පාදනය පදනම් කරගත් සමස්ත ප්‍රජාවක්ම නිර්මාණය කිරීමට බවයි. ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළින්ම සනිටුහන් කිරීමට මඟ පෑදූ, කරුණාවන්තකමින් සහ මානුෂීය ගතිගුණවලින් පිරිපුන් මේ විශිෂ්ට නායකයාගේ මතකය සදාකාලිකව සැමරුමට ලක්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කාලීන පුවත්