කන්ද උඩරට යුවතිය කැන්ඩි ළමිස්සියක් කළ ජනප්‍රිය සංස්කෘතියේ ස්වර්ණමය සන්නාමය මරියසෙල් ගුණතිලක

ගීත කලාව පිළිබඳව කතා කරන ඇතැමෙක් ඒ අතරින් තෝරාගත් ඇතැම් ගී නිර්මාණ සඳහා විදග්ධ, සුභාවිත, සම්භාව්‍ය, ප්‍රබුද්ධ ආදී වදන්වලින් ඒවාට විශේෂිත අගයන් ලබා දෙති. ඒ, එම නිර්මාණකරුවන්ට ද ගෞරව බහුමානය පුද කරමිනි. එහෙත් ඒ කිසිදු වදනක් භාවිත කළ නොහැකි, සරල රසාස්වාදය සහ විනෝදය අරමුණු කොටගත් ගීත නාමාවලියක් ද අප රටේ ගීත කලාව හා සම්බන්ධ ය. ලොව බොහෝ රටවල එවන් ගී නිර්මාණ ද ඒවායේ අඩංගු විශේෂතා මත යම් යම් ඇගයීම්වලට ලක් වේ. ඒ, එම නිර්මාණකරුවන් ද සමඟිනි. 1960 දශකයේ සමාජ ශාලා ගායිකාවක ලෙස තම සංගීත දිවිය ආරම්භ කොට ඉන්දියානු පොප්, ජෑස් වැනි සංගීත සම්ප්‍රදායන් කෙරෙහි සාධනීය බලපෑමක් කළ ප්‍රවීණ ඉන්දීය ගායිකා ඌෂා උතුප්ට ඉන්දීය රජය විසින් පද්ම ශ්‍රී (2011), පද්ම භූෂණ (2024) යන ඉහළම සම්මාන ප්‍රදානය කිරීම ඒ සඳහා ආසන්නතම නිදසුනකි. එහෙත් ඉකුත් 10 වන දා අප අතරින් සදහටම වෙන්ව ගිය, 1960 දශකයේ සිට දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය ආලෝකමත් කළ මරියසෙල් ගුණතිලකට ඒ සියලුම ඇගයීම්වලින් තොරව සිය අවසන් ගමන යාමට සිදු ව තිබේ. අඩුම තරමින් ජීවත්ව සිටි කාලය තුළ තමන් සඳහා වූ එවැනි ඇගයීමක් ඇයට සිහිනයකින්වත් දකින්නට ලැබුණේ නැත.

දේශීය මෙන්ම විදේශීය ප්‍රසංග වේදිකාවේ තම සුවිශේෂී ප්‍රතිභාවන් පළ කළ මරියසෙල් ගුණතිලක මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨතම කලාකාරිනියකි. මරියසෙල්ගේ අනන්‍ය ප්‍රබල සජීවී ස්වරය සේම බටහිර සහ පෙරදිග මිශ්‍ර ගීත ශෛලිය මෙන්ම උද්‍යෝගිමත් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් නිසා ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංග වේදිකාවට නව ජීවයක් ලැබුණු අතර ඇය “කැන්ඩි ළමිස්සී” යන ආදරණීය නාමයෙන් රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූවා ය. විශේෂයෙන්ම බයිලා, පොප් සහ ජෑස් ධාරාවන් ඔස්සේ ඇය මෙරට සංගීත ක්ෂේත්‍රය පිබිදුවීමට දායක වූ අතර, ඇගේ නාමය ශ්‍රී ලාංකිකයන්ට අතීතය පිළිබඳ සොඳුරු ආවර්ජනයන් පුබුදුවන (Nostalgic Pop) ස්වර්ණමය යුගය සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතී. ඇයට වයස අවුරුදු දහනවයක් වූ 1977 වසරේදී පටිගත කරන ලද, සිංහල හා ඉංග්‍රීසි වදන් මුසු කොට ඇය විසින්ම පද රචනය කර තනුව නිර්මාණය කළ “කැන්ඩි ළමිස්සී” ගීතය මේ වන විට ඇගේ කලා ජීවිතයේ සදාකාලික සලකුණ බවට පත්ව තිබේ. උඩරට තරුණියකගේ රුව සහ ඇය පිළිබඳ සමාජමය ප්‍රතිරූපය උඩුයටිකුරු කෙරෙන මෙම ගීතය එවැනි තරුණියකගේ ප්‍රේමාරාධනාවක් මුල් කොටගත් සරල විනෝදාත්මක ගීතයකි. නමුත් එහි පද රචනය, තනුව හා ගායනය තුළ පැවති සුවිශේෂතා නිසා මෙම නව ආරේ සැහැල්ලු නර්තනීය ගීතය 70 දශකයේ අග භාගයේ ශ්‍රී ලාංකික සිංහල පොප් සංගීතයේ දැවැන්ත පෙරළියක් ඇති කළේ ය. ඒ, සමකාලීනව අප රටට හමා ආ සාම්ප්‍රදායිකත්වය අතික්‍රමණය කළ විවෘත ආර්ථිකය නමැති වසන්තයේ කෝකිල කූජනයක් ලෙසිනි.

එම ගීතයට අනුව එය සාම්ප්‍රදායිකත්වය හා දේශීය සංස්කෘතිය සමඟ අවියෝජනීය සම්බන්ධයක් සහිත කන්ද උඩරට යුවතියක තම හද දිනූ තැනැත්තාට කරන ප්‍රේමාරාධනයකි. එහිදී ඇය තමන් “කැන්ඩි ළමිස්සි”යක ලෙස හඳුන්වා ගැනීම ශ්‍රී ලාංකික සම්ප්‍රදායට සපුරාම පටහැනි වූවකි. නමුත් එම ගී පද රචනය සමාජමය විකෘතියක් සේ එකල කිසිවකු දුටු බවක් අපගේ මතකයේ නැත. 1970 දශකයේ අග භාගයේ නාගරික සහ උපනගරික තරුණ පරපුර වැළඳගත් බටහිර විලාසිතා, සැහැල්ලු චින්තනය සහ විනෝදාස්වාදය මේ ගීතයෙන් නිරූපණය වේ. ඒ අනුව මෙම ගීතය ගැඹුරු සමාජ විග්‍රහයකින් තොර, පොදු මහජනතාවට එකවර රසවිඳිය හැකි (Mass Consumption) සරල, සැහැල්ලු ආකෘතියකින් යුතු වූවක් බව අතිශයින් පැහැදිලි ය.

විකල්ප සංගීතය/රචනය යනු පවතින වාණිජ රැල්ලට සෘජුවම අභියෝග කරමින්, වඩාත් අඳුරු, දේශපාලනික, දාර්ශනික හෝ වියුක්ත (Abstract) තේමාවන් කතා කරන ගීත ප්‍රවර්ගයකි. නමුත් “කැන්ඩි ළමිස්සී” යනු එකල බිහි වූ ප්‍රධාන ධාරාවේ වාණිජ රැල්ලේ (Mainstream Pop) නව එළිදැක්වීමක් මිස ඉහත කී විකල්ප ධාරාව නියෝජනය කරන්නක් නොවේ. එහි අරමුණ ශ්‍රාවකයා කුල්මත් කිරීම සහ නර්තනයට පොළඹවා ගැනීමයි. මෙය විකල්පවාදී නොවුණත්, එකල ප්‍රවර්ධනය වෙමින් තිබූ සරල හා ශාස්ත්‍රීය ගීත සම්ප්‍රදායට අභියෝග කළේය. නමුත් එය උඩරට සාම්ප්‍රදායික අනන්‍යතාවක් ඇති “නුවර කෙල්ලක” බටහිර තාලයේ බයිලා රිද්මයක් පදනම් කොට සංස්කෘතික වශයෙන් දූෂණය කිරීමක් ලෙස කිසිවෙක් නොදුටුවහ. තවදුරටත් පැහැදිලිව කිවහොත් “කැන්ඩි ළමිස්සී” යනු විකල්පවාදී දේශපාලන හෝ දාර්ශනික නැඹුරුවක් සහිත නිර්මාණයක් නොව, ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය සංස්කෘතිය (Mainstream Pop Culture) විසින් බිහිකරන ලද, භාෂාමය වශයෙන් සැහැල්ලු සහ අසම්ප්‍රදායික හැඩයක් ගත්, වාණිජමය වශයෙන් අතිසාර්ථකත්වයක් ලැබූ ගීතයක් ලෙස එවක ජනතාව වටහා ගත්හ. ඒ අනුව එකල මෙම ගීතයට හිමි වූ අතිමහත් ජනප්‍රියත්වය නිසා ඇයට දේශීයව පමණක් නොව නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි ‘සෝල්ටී ඔබරෝයි’ (Soaltee Oberoi) වැනි ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පෙළේ හෝටල් සහ ප්‍රසංග වේදිකාවල වෘත්තීය මට්ටමින් වසර කිහිපයක් ගායනා කිරීමට ජාත්‍යන්තර දොරටු විවෘත විය. නමුත් එකල අද මෙන් සමාජ ජාල ව්‍යාප්තියක් තිබිණි නම් එම ජනප්‍රියත්වයේ නිම් වළලු කෙතරම් ප්‍රසාරණය වනු ඇත්ද? “කැන්ඩි ළමිස්සී” ගීතයේ මතු දැක්වෙන පද රචනය විමසා බලන ඔබට එය ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් ඉලක්ක කොටගත් අතිශය විනෝදාත්මක, නිර්මාණාත්මක ගීතයක් බව මනාව පසක් වනු ඇත.

“You are my one and only one and you’re my ever loving one I’m your one and only Kandy ළමිස්සී එතකොට What මයියොක්කා I am your සුදු බෝනික්කා I’m your one and only Kandy ළමිස්සී Sweet Mary come to me you are my one and only Kandy ළමිස්සී එතකොට Don’t say පලයන් I’ve got ten acres ගොයම් I’m your one and only Kandy ළමිස්සී You are my one and only one and my ලපටි කෙසෙල් කැන් I’m your one and only Kandy ළමිස්සී You are my ඇටසැකිල්ල and you’re ලස්සන කෙල්ල Oh I’m your one and only Kandy ළමිස්සී Sweet Mary come to me you’re my one and only Kandy ළමිස්සී අයියියෝ Don’t say පලයන් I’ve got ten acres ගොයම් I’m your one and only Kandy ළමිස්සී You are my Alistair MacLean and you are my James Hadley I’m your one and only Kandy ළමිස්සී.. I’m your හෙලන් කුමාරී and you are my Elvis Presley Oh I’m your one and only Kandy ළමිස්සී Sweet Mary come to me you are my one and only Kandy ළමිස්සී එතකොට Don’t say පලයන් I’ve got ten acres ගොයම් I’m your one and only Kandy ළමිස්සී You are my one and only one and you’re my ever loving one I’m your one and only Kandy ළමිස්සී… You are my වැටේ මුරුංගා and I’m your කතුරුමුරුංගා Oh I’m your one and only Kandy ළමිස්සී Sweet Mary come to me you are my one and only Kandy ළමිස්සී අයියියෝ Don’t say පලයන් I’ve got ten acres ගොයම් I’m your one and only Kandy ළමිස්සී Sweet Mary come to me you are my one and only Kandy ළමිස්සී එතකොට Don’t say පලයන් I’ve got ten acres ගොයම් I’m your one and only Kandy ළමිස්සී I’m your one and only Kandy ළමිස්සී Oh I’m your ever loving Kandy ළමිස්සී I’m your one and only Kandy ළමිස්සී”

කොළඹ නුගේගොඩදී උපත ලැබූ මරියසෙල් ගුණතිලක සංගීතයට පිවිසියේ ඉතා කුඩා අවධියේදී ය. ඇගේ මව්පියන් වූයේ රාජා විජේභද්‍ර ගුණතිලක සහ සෙල්වියෝ මොරීන් තෙරේස් ක්වින් ය. නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය, වයස අවුරුදු හතේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (එවක රේඩියෝ සිලෝන්) ළමා පිටිය වැඩසටහන් හරහා සිය කුසලතා එළිදැක්වූවා ය. දස හැවිරිදි වියේදී, එනම් 1968 වසරේදී “සිලෝන් ඔබ්සර්වර්” (Ceylon Observer) සමස්ත දිවයින කුසලතා තරඟයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම ඇගේ සංගීත ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය විය. මෙම ජයග්‍රහණයත් සමඟ ඇයට එවකට අතිශය ජනප්‍රිය නව රැල්ලේ තරුණ සංගීත කණ්ඩායමක් වූ ‘ජූනියර් රිදම්ස්’ (Junior Rhythms) සමඟ එක්වීමට මාවත විවර විය. සිය සංගීත ඥානය තවදුරටත් ඔප්නංවා ගැනීම සඳහා ඇය ප්‍රවීණ සම්භාව්‍ය ගිටාර් වාදක වින්ස්ටන් ජයවර්ධන යටතේ ගිටාර් වාදනය ද, ප්‍රවීණ සංගීත ගුරුවරියක වූ එස්ටෙල් ද නීස් යටතේ හඬ පුහුණුව හා බටහිර ගායනය ද ප්‍රගුණ කළා ය.

1960 දශකයේ අග භාගයේදී ‘ජූනියර් රිදම්ස්’ කණ්ඩායම සමඟ රේඩියෝ සිලෝන් හරහා ගීත ගායනා කිරීම හේතුවෙන් මරියසෙල්ගේ නාමය දිවයින පුරා ප්‍රසිද්ධියට පත් විය. එකල “සන්ඩේ ඔබ්සර්වර්” පුවත්පත ද ඇගේ කුසලතා ඇගයීමට ලක් කර තිබූ අතර, මෙම ප්‍රසිද්ධිය නිසා ඇයට එවකට බටහිර සංගීත රටාවේ ප්‍රමුඛ කණ්ඩායම් වූ ‘එමරල්ඩ්ස්’ (The Emeralds) සහ ‘මිඩ්නයිට් මිස්ට්’ (Midnight Mist) වැනි කණ්ඩායම් සමඟ ද ප්‍රසංග ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවිය. ඇයට වයස අවුරුදු දහනවයක් වූ 1977 වසරේදී පටිගත කරන ලද, ඇය විසින්ම පද රචනය කර තනුව නිර්මාණය කළ “කැන්ඩි ළමිස්සී”
ගීතය ඇගේ කලා සහ වෘත්තීය ජීවිතයේ සදාකාලික සලකුණ බවට පත් විය.

කෙසේ වෙතත්, 1977 වසරේ දීම නුවරඑළිය ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් මරියසෙල්ගේ කොඳු ඇට පෙළට සහ උර ඇටයකට බරපතල තුවාල සිදුවීම නිසා ඇගේ සංගීත ජීවිතයට තාවකාලික බාධාවක් එල්ල විය. එම අසීරු අවස්ථාවේදී ඇගේ සමීපතම මිතුරියක වූ ක්‍රිස්ටීන් නඩරාජාගෙන් ලැබුණු ආගමික දිරිගැන්වීම් සහ තමන් සතු වූ දැඩි ආත්ම විශ්වාසය හේතුවෙන් ඇය සුවය ලබා නැවතත් සාර්ථකව වේදිකාවට අවතීර්ණ වූවා ය. ඉන් අනතුරුව ක්ලැරන්ස් විජේවර්ධන, එම්. එස්. ප්‍රනාන්දු, ස්ටැන්ලි පීරිස්, ආචාර්ය අජන්තා රණසිංහ සහ ජිප්සීස් කණ්ඩායමේ සුනිල් පෙරේරා වැනි ලංකාවේ බිහිවූ අග්‍රගණ්‍ය කලාකරුවන් රැසකගේ අවධානය ඇය වෙත යොමු විය. විශේෂයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත අධ්‍යක්ෂණය ඇගේ ගායන ප්‍රතිභාවට නව ජීවයක් එක් කළ අතර, ඔහු අතින් නිර්මාණය වූ “යොවුන් සිහින ලෝකේ”, “ගැයූ ගී” සහ චන්ද්‍රල් ෆොන්සේකා සමඟ ගැයූ “වත්සලා” වැනි ගීත අදටත් රසික හදවත් තුළ ජීවමාන වී තිබේ. බයිලා චක්‍රවර්තී එම්. එස්. ප්‍රනාන්දු සමඟ මරියසෙල් ගැයූ “නෙළුම් මලේ පෙති කඩලා” ගීතය ප්‍රවීණ පද රචක කරුණාරත්න අබේසේකරයන්ගේ පදමාලාවකට පී. එල්. ඒ. සෝමපාලයන් සංගීතවත් කළ සර්වකාලීන ජනප්‍රිය ගීතයකි. එමෙන්ම ආචාර්ය අජන්තා රණසිංහයන් ලියා රොෂාන් ද සිල්වා සංගීතවත් කළ “සිහින නෙළුම් මල්” ගීතය ඇය සිය එකම පුත් ටේෂාන් වෙනුවෙන් ගායනා කළා ය.

මරියසෙල් ගුණතිලක සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම එක ලෙස දක්ෂතා දැක්වූ අතර, බටහිර සංගීත කණ්ඩායම් සමඟ එක්ව සිංහල පොප්, ජෑස් සහ බයිලා සංගීතය මුසු කරමින් සුවිශේෂී ශෛලියක් සිංහල ගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන් පුරෝගාමී ගායිකාවකි. “කැන්ඩි ළමිස්සී”, “සිහින නෙළුම් මල්”, “නෙළුම් මලේ පෙති කඩලා”, “වත්සලා” සහ “රන් මොනරා වැතිර සිටින” වැනි ඇගේ ගීත පරම්පරා ගණනාවක් තිස්සේ අදටත් එක සේ ජනප්‍රියව පවතී. 1985 දෙසැම්බර් මාසයේදී ලන්ඩන් නුවරදී ක්ලැරන්ස් විජේවර්ධන සමඟ පැවැත්වූ ප්‍රසංගයෙන් ඇගේ ජාත්‍යන්තර කීර්තිය තවදුරටත් තහවුරු විය. මෙකී සියලු තත්ත්වයන් යටතේ තෝරාගත් ගී නිර්මාණ කොටසක් සඳහා විදග්ධ, සුභාවිත, සම්භාව්‍ය, ප්‍රබුද්ධ ආදී වදන්වලින් විශේෂිත අගයන් ලබා දෙමින් එම නිර්මාණකරුවන්ට ද ගෞරව බහුමානය පුද කරන සමාජමය වටපිටාවක් තුළ, ශ්‍රී ලාංකික ගීත ශ්‍රාවකයන්ට අතීතය පිළිබඳ සොඳුරු ආවර්ජනයන් පුබුදුවන ස්වර්ණමය යුගය සමඟ අවියෝජනීය ලෙස බැඳුණු මරියසෙල් ගුණතිලක නාමය, ඊට ඉඳුරාම පටහැනි එච්.ආර්. ජෝතිපාලයන් වරක් ස්වයං උපහාසාත්මක භාෂණයක් ලෙස යොදා ගත් “පීචං” යන කුලකයට ඇද දැමීම ශ්‍රී ලාංකික ගීත ක්ෂේත්‍රයට, පොදුවේ ශ්‍රී ලාංකික කලාවට සේම මානුෂීයත්වයට ද කරනු ලබන ප්‍රබලතම අසාධාරණයකි. එච්.ආර්. ජෝතිපාලයන්ගේ ජීවිත කාලය තුළ ඔහුට මානසික පීඩනයක් ගෙන දුන් මෙම “ප්‍රබුද්ධ-පීචං” නිසරු බමුණු මතවාදයේ කොඳු නාරටිය ජෝතිපාලයන්ගේ මරණයත් සමඟ බිඳ වැටුණු බව අපට මතක ය. ඒ, ආචාර්ය සරත් අමුණුගමයන් විසින් “ජෝති සංස්කෘතික බල කණුවක්” සේ හඳුන්වාලීමෙන් පසුව ය. ඒ අනුව මරියසෙල් ගුණතිලක යනු ද ශ්‍රී ලාංකික ජනප්‍රිය සංස්කෘතියේ නව කඩඉමක් සංකේතනය කෙරෙන ස්වර්ණමය සන්නාමයක් බව මෙම සුවිශේෂී කලාකාරිනියගේ අවසන් ගමනට සමගාමීව මෙසේ සටහන් කොට තබමි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, හිටපු මානව විද්‍යා මහාචාර්ය

එතෙර - මෙතෙර