මිනිසුන් කියන තරම් කපුටා බුද්ධිමත් ද?

කලයක පතුලේ රැදී තිබූ දිය පොදක් බීමට ගැනීම සදහා කලය තුළට ගල් කැට දැමූ කපුටෙකු පිලිබද කතාවක් ද, නරියෙකු විසින් තමන්ගේ ලස්සන වර්ණනා කිරීම නිසා රැවටී සිය හොටයේ තිබූ කේජු කෑල්ල පවා බිම වැටෙන ලෙස කට ඇර ශබ්ද නැගූ මෝඩ කපුටෙකු පිළිබද කතාවක් ද අපි බාල කාලයේ අසා ඇත්තෙමු. ඒ කපුටන් එතරම් මෝඩ වුව ද අපට නිතර දෙවේලේ දක්නට ලැබෙන කපුටන් සාමාන්‍යයෙන් මෝඩ නැත. එක්තරා කපුටෙකුට මොල හතක් ඇති බවට වූ කතාවක් ද මෑත කාලයේ කනින් කොනින් ඇසිණි.

අපේ රටේ සුලභව දැකිය හැකි පක්ෂියෙකු බවට පත්ව ඇති නිසා අප එතරම් ගණන් නොගන්නා සත්වයෙකු වුව ද කපුටා යනු ස්වභාවයෙන්ම බුද්ධිමත් පක්ෂියෙකි. එපමණක් ද නොව කපුටන් දක්ෂතම කුරුල්ලන්ගෙන් එකෙකු ලෙස ද සැලකේ. බොහෝ විද්‍යාඥයන් පවසන්නේ මෙම පක්ෂීන්ට යමක් වටහා ගත හැකි සහ මතකයේ ගබඩා කර ගත හැකි මට්ටමේ බුද්ධියක් ඇති බවයි. මෙම කරුණ තහවුරු කිරීම සදහා විවිධ කාලවල කපුටන් යොදා විවිධ පර්යේෂණ පවා සිදු කළ තිබිණි.

ඉහතින් සදහන් කරනු ලැබූ කලයක පතුළේ ඇති ජලය පානය කිරීම සදහා කපුටෙකු විසින් යොදනු ලබන උපක්‍රම පිලිබද පර්යේෂණයක් ද ඒ අතර විය. සිහින් ජොග්ගුවකට අඩක් ජලය පුරවා එය පානය කිරීමට සැලැස්වීමේ දී කපුටා එම ජොග්ගුව තුළට විවිධ ද්‍රව්‍ය ඇතුළු කර තිබිණි. එමගින් ජල මට්ටම යම්තාක් මට්ටමකින් ඉහළ ගොස් තිබූ අතර කපුටා ඉතා අපහසුවෙන් දිය බිදු කීපයක් පානය කරන්නට සමත් වී තිබිණි. මේ අනුව පෙනී යන්නේ කපුටන්ට භෞතික විද්‍යාවේ සරලම නීති පිලිබද යම්තාක් දුරක දැනීමක් පවතින බවයි.

මීට අමතරව, විද්‍යාඥයන් කියා සිටින්නේ කපුටන් විවිධ අභිනයන් භාවිතා කරන ආකාරය පිලිබද මනා දැනීමකින් යුතු පක්ෂියෙකු බවයි. මෙය කුරුළු ලෝකයේ ඉතා දුර්ලභ උපක්‍රමයකි. කුඩා දරුවන් තමන් කැමති සෙල්ලම් බඩුවක් අනිත් දරුවන්ට පෙන්වා ඔවුන්ගේ අවධානය දිනා ගනිමින් පොළඹවා ගන්නාක් මෙන් කපුටා ද තම හොටයෙන් යමක් ගෙන අනිකුත් පක්ෂීන් පොළඹවා ගෙන ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට අති දක්ෂය.

මීට අමතරව කපුටා යනු ඉවසීම ඉතා හොදින් ප්‍රගුණ කළ පක්ෂියෙකි. තමන්ට හිරිහැරයක් වූ ඕනෑම සතෙකුගෙන් පලි ගැනීම සදහා සුදුසුම වේලාව පැමිණෙන තුරු ඉවසා බලා සිටීමට කපුටාට පුළුවන. එය දින ගණනාවක් හෝ මා ගණනාවක් වුව ද විය හැකිය.

කපුටන් හීලෑ කිරීමට පහසු පක්ෂියෙකු වන අතර ඔවුන් නඩත්තු කරන ඕනෑම කෙනෙකුට ඉතා යටහත් පහත් සහ පක්ෂපාතී ය. මිනිසාගේ මෙන්ම අනිකුත් සත්වයින්ගේ කටහඩ වෙන් වෙන් වශයෙන් හදුනා ගැනීමට තරම් දක්ෂ කපුටන් තම ස්වාමියාගේ හඩ මීටර් 40 ක පමණ දුරකදී වුවද හදුනා ගනී. එමෙන්ම පුද්ගලයන්ගේ කටහඬ අනුකරණය කිරීමට ද ඔවුන්ට විශේෂිත හැකියාවක් තිබේ. සාමාන්‍ය ජීවිතයේදී එකිනෙකට වෙනස් හඩ 8 -12 අතර ප්‍රමාණයකින් ශබ්ද කළ හැකි අතර විවිධ අයගේ කටහඩ 50 කට වැඩි ප්‍රමාණයක් අනුකරණය කිරීමේ හැකියාව ද කපුටා සතු ය.

කපුටන් පිළිබද අධ්‍යයයන කරන සත්ව විශේෂඥයින් පවසන්නේ කපුටන් පුහුණු කිරීමට සහ හීලෑ කිරීමට සුදුසු පක්ෂියෙකු නමුත්, ඒ සමඟම නිසැකවම ඇතිවිය හැකි දුෂ්කරතා සඳහා ඔබ සූදානම් විය යුතු බවය. එනම් කපුටන් තරමක් කෝපාවිෂ්ට හා ආක්‍රමණශීලී පක්ෂීන් වන හෙයින් ඔවුන් පළිගැනීමේ හා ඕනෑවට වඩා ඊර්ෂ්‍යා කිරීමේ හැගීම්වලින් පෙලෙන හෙයිනි.

සාමාන්‍යයෙන් ඔබ කපුටෙකු පුහුණු කළහොත් එකී කපුටා කපුටු ජීවිත කාලය පුරාම ඔබ අතහැර යන්නේ නැත. ඌ එලවා දමා වෙනත් කපුටෙකු පුහුණු කිරීමට හෝ වෙනත් වර්ගයක සතෙකු සුරතල් කිරීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ ද නැත. කපුටා එතරම් ඔබට බද්ධ වී සිටියි. මේ නිසාම කපුටන් කුඩා දරුවන් කෙරෙහි අධික වෛරයකින් පසු වෙති. මන්ද යත් වැඩිහිටියන් විසින් දරුවන් හුරතල් කරනු දැකීම කපුටාට ඊර්ෂ්‍යාව දනවන හැගීමක් වන බැවිනි.

දුලංජලී මුතුවාඩිගේ

අරුමැසි පුවත්