කායිකව සේම මානසිකවද පීඩාවක් විය හැකි අතේ පයේ දැවිල්ල සහ ඉන්නන්

අතේ පයේ දැවිල්ල ගතිය, විශේෂයෙන් ඇඟිලි තුඩුවලින් ගිනි පිට වෙන්නාක් වැනි ස්වභාවයක් දැනෙන බව පවසන අය සිටිති. සමහර අයට මෙය කලක් තිස්සේ තිබී, වයසට යාමත් සමග එය වැඩි වෙයි.
මේ ආකාරයේ දැනීමක් සමේ මතුවීමට බලපාන හේතු ගණනාවක් වේ. වැඩිපුරම මේ සඳහා බලපාන්නේ ශරීර අභ්‍යන්තරයේ පවතින කිසියම් රෝගී තත්ත්වයකි. විවිධ රෝගාබාධ නිසා ලේ නහරවලට, ස්නායුවලට සිදුවන බලපෑම මතින් මේ ආකාරයේ දැනීම් සමේ මතු විය හැකිය. නිදසුනක් ලෙස දීර්ඝකාලීනව පවතින අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග හේතුවෙන් ශරීරයේ කෙළවරේ තිබෙන පටකවලට (ඇඟිලි තුඩු, අත්ල, යටි පතුල් වැනි ස්ථානවල) රුධිර සැපයම අඩුවිය හැකිය.
එසේම විවිධාකාර රෝග නිසා ලේ නහරවල සිදුවන සිහින් වීම හේතුවෙන්ද, ශරීරයේ ඈතින්ම තිබෙන මෙවැනි ස්ථානවලට සැපයෙන රුධිර ප්‍රමාණය බොහෝ සෙයින් අඩුවීමට පුළුවන. එවිට මෙවැනි ස්ථානවල අධික ශීතලක් දැනීම හෝ අධික උණුසුමක් දැනීම වැනි අසාමාන්‍ය සංවේදීතාවයන් හටගත හැකිය.

පටක ආශ්‍රිතව පවතින ආතරයිටිස් වැනි රෝග නිසාද ස්නායුවලට විවිධ බලපෑම් ඇතිවේ. එවැනි අවස්ථාවලදීද මෙබඳු අසාමාන්‍ය සංවේදීතාවන් සමට දැනිය හැකිය.
එසේම මෙවැනි අසාමාන්‍ය සංවේදීතා හටගැනීමට බලපාන තවත් හේතුවක් වන්නේ ලාදුරු රෝගයයි. ඒ, එම රෝගය නිසා සමේ ස්නායුවලට හානිවීම හේතුවෙන් සංවේදනයේ ගැටලු ඇති කිරීම නිසා ය.
සමහර විට එම ස්ථානවල සංවේදනයේ අඩුවීමක් සේම, වැඩිවීමක් ද සිදුවන්නට ඉඩ තිබේ. සංවේදනයේ අඩුවීම යනු සමේ දැනීමේ අඩුපාඩු ඇතිවීමයි. මේ දැනීමේ අඩුපාඩුව සේම හිරි ගතිය නිසා බොහෝ ගැටලු මතුවේ. සමේ සංවේදනය නොමැති තැන් සහ අඩු තැන් විවිධ දේවල්වල ගැටීම, කැසීම් ආදිය නිසා තුවාල වීමට පුළුවන. රෝගියා තුළ සංවේදනයක් නොමැති නිසා මෙම තුවාල නොදැනීම වර්ධනය වීමේ ඉඩකඩක් පවතී. විශේෂයෙන් යටිපතුල්වල සංවේදීභාවය අඩු වුවහොත් ඉතාමත් කල්පනාකාරී විය යුතුය. එවැනි අය නිතරම යටිපතුල් ආවරණය වන ආකාරයට පාවහන් පැළඳිය යුතුවේ. එමෙන්ම නිතරම යටිපතුල්, ඇඟිලිකරු ආදිය පරීක්ෂා කිරීමද නොවැරදීම කළ යුතුය. එලෙස විමසිල්ලෙන් සිටීම තුළින් රෝගියාට විය හැකි විශාල ආපදාවක් වළක්වා ගත හැකිවෙයි.

රෝගියා වයස්ගත පුද්ගලයෙකු නම් බොහෝ විට ශරීරය නමා යටිපතුල් පරීක්ෂා කිරීම අසීරු විය හැකිය. එවිට කණ්ණාඩියක් ආධාරයෙන් හෝ තවත් කෙනෙකුගේ උපකාරය ලබාගෙන හෝ මේ ලෙස පරීක්ෂාවන් කර ගැනීම ඉතාමත් වැදගත් වේ.
ශරීරයේ මෙවැනි අසාමාන්‍ය සංවේදීතාවන් මතු කරලීමට බලපාන තවත් හේතුවක් වන්නේ විටමින් ඌනතාවයයි. නමුත් මෙහිදී විශේෂයෙන් කිව යුතු කරුණක් වන්නේ ශරීරයේ සෑම අත්පා දැවිල්ලකටම විටමින් වර්ග ලබා ගැනීමෙන් පලක් නොමැති බව ය. එය වෛද්‍යවරයකු විසින් නිසි ලෙස සිදුකරනු ලබන රුධිර පරීක්ෂාවකින් අනතුරුව තීරණය කළ යුත්තකි.
වයසට යාමත් සමඟ සම වියලීම, රෝම අඩුවීම, අධික ලෙස කැසීම් ආදිය මතුවිය හැකිය. ඊට වෛද්‍ය උපදෙස් මත කිසියම් ආලේපනයක් ගැල්වීම තුළින් ඒ තත්ත්වය පාළනය කර ගත හැකිය.
කොඳු ඇට පෙළෙහි සිදුවන ස්නායු තෙරපීම්වලදීද විවිධ ශරීරාංගවල කිසියම් කොටසක පමණක් මෙවැනි සංවේදනයේ ගැටලු මතුවීමට පුළුවන.
එනිසා මේ විස්තර කළ ආකාරයට සංවේදනයේ ගැටලු මතුවුවහොත් කළ යුත්තේ වෛද්‍යවරයෙකු හමු වීමය. එවිට ඊට බලපාන හේතුව සොයා බලා නිසි ප්‍රතිකාර ලද හැකිය.

ඉන්නන් හට ගැනීම

මේ සමෙහි ඇතිවන තවත් ගැටලුකාරී තත්ත්වයකි. නමුත් සමෙහි හටගන්නා විවිධාකාර ගැටිති ද සමහරු ඉන්නන් ලෙස වරදවා වටහා ගනිති. නිවැරදි ලෙස ඉන්නන් හඳුනා නොගෙන වෙනත් ගැටිති වර්ගවලට ඉන්නන්යැයි සිතමින් ප්‍රතිකාර කිරීමද සුලබ තත්ත්වයකි.
ඉන්නන් වර්ග දෙකක් වේ. ඒ, බෝවන ඉන්නන් සහ බෝ නොවන ඉන්නන් ලෙසිනි.
බෝවන ඉන්නන් හටගන්නේ වෛරසයක් හේතු කර ගෙනය. මතුපිට රළු ස්වභාවයක් ගන්නා ඉන්නන් ඉතා ඉක්මනින් බෝවන අතර අත් පා ආදියෙහි බහුල ලෙස මතුවෙයි.
ස්පර්ශය තුළින්ද මෙම වර්ගයේ ඉන්නන් බෝවන අතර එක් අවස්ථාවකදී ස්පර්ශ වූ පමණින් බෝ නොවුණත් කාලයක් එම ඉන්නන් ඇසුරේ සිටින විට බෝ වීමට ඉඩකඩ තිබේ. යටි පතුල්වල, අත්ල වැනි තැන්වලද මෙම බෝවන ඉන්නන් දැකිය හැකිය.
ගල්තැලුමක් වැනි පැතලි ස්වභාවයක් ගන්නා මේවා ගල්තැලුම් ලෙස ඇතමුන් වරදවා වටහා ගනී. එසේම මුහුණේ වඩා රළු නැති සිනිඳු ස්වභාවයේ ඉන්නන්ද මතුවිය හැකිය. ලිංගාශ්‍රිත ප්‍රදේශවල විශේෂයෙන් මේ බෝවන ඉන්නන් හට ගැනීමේ හැකියාව තිබේ.
මේ ඉන්නන් මතු වන්නේ වෛරසයක් නිසා බව ඉහත සඳහන් කළෙමු. විවිධ රෝගාබාධවලදී ලබාදෙන සමහර ඖෂධ වර්ග නිසා ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවන අයට විශේෂයෙන් මෙම ඉන්නන් වර්ගය බෝ වීමට තිබෙන ඉඩකඩ වැඩි ය. කෙසේ වුවද මෙය වෛරසයක් මගින් ඇති කරන නිසා කාලයත් සමඟ ඉබේම ශරීරයෙන් ඉවත් වී යා හැකිය. මෙසේ ශරීර ප්‍රතිශක්තිය යහපත් වන විට හැලී යන මේ ඉන්නන් ප්‍රතිශක්තියේ අඩුපාඩුවක් ඇතිවූ විට නැවතත් මතුවීමේ හැකියාව තිබේ.

කිරී ඉන්නන් ලෙස සමහරුන් හඳුන්වන කුඩා සුදු පාට රවුම් වැනි ඉන්නන්ද බෝ වෙන ඒවාය. ඒවා කැඩුණු විට ඒ තුළ ඇති ශ්‍රාවය ගෑවීම නිසා මෙවැනි ඉන්නන් තවත් කෙනෙකුට බෝ වීමට ඉඩ තිබේ.
ක්‍රමයෙන් වියපත් වන විට සමේ මතුවන කළු පැහැති කුඩා තිත් වැනි ඉන්නන් බෝ වන්නේ නැත. වයසට යාමත් සමඟම මෙම ඉන්නන් තව තවත් වැඩි වෙයි. වෛද්‍ය උපදෙස් මත මේවා ඉවත් කළ හැකිය. නමුත් මේවා සමෙන්ම මතුවන ඉන්නන් විශේෂයක් නිසා කාලයත් සමඟ නැවත මතුවීමට ඉඩ තිබේ.
ඉන්නකුගේ සීග්‍ර වර්ධනයක්, වෙනස්වීමක්, පැහැයේ වෙනසක්, ලේ ගැලීමක් වැනි දෙයක් ඇත්නම් ඒ සැක සහිත ඉන්නෙකු විය හැකිය. කලාතුරකින් ඇතිවිය හැකි මෙවැනි අවස්ථාවකදී ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ එය පිළිකාවක පෙර නිමිත්තක් වීමට බැරි කමක් නැති බැවිනි.

සමේ රෝග විශේෂඥ වෛද්‍ය හිරෝමල්ද සිල්වා

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය