“කොවිඩ් මුට්ටිය”හඳුන්වා දුන් ඒලියන්ත වයිට්ටත් කොවිඩ්

සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයක් වන වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට කොරෝනා වැළඳී ඇති අතර ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගන්නා බව දැනගන්නට ලැබී තිබේ. ඔහු මෑත භාගයේ මේ තරම් ආන්ෆ්දා්ලනයකට ලක් වූයේ අප රට කොවිඩ් පොකුරු වශයෙන් වර්ධනය වූ වැලිසර, කන්දකාඩු, මිනුවන්ගොඩ, පෑලියගොඩ යන ස්ථානවල එම තත්ත්වය මර්දනය කළේ තමන් සතු කුණ්ඩලීනී බලයෙන් බවත්, ඒ සියල්ල මර්දනයෙන් පසු ඉන්දියාවේ කොවිඩ් මර්දනය කිරීම සඳහා එරට රජයෙන් ද තමාට ඇරයුම් ලැබී ඇති බව ද පැවසීම සමඟය.

එයට අමතරව අප රටේ කොවිඩ් මර්දනය කිරීම සඳහා ප්‍රධාන ගංගාවන් කිහිපයකට ‘මහත් බලයක්’ ඇති මුට්ටි දැමීමේ සංකල්පයේ නිර්මාතෘ වූයේ ද ඔහු ය. මේ මුට්ටි දැමීමේ ක්‍රියාව සඳහා අප රටේ ප්‍රකට දේශපාලඥයන් කිහිපදෙනෙක්ම සහභාගී වූ අතර හිටපු සෞඛ්‍ය ඇමතිනිය වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද සිටියා ය. කෙසේ නමුත් ඇයට ද කොරෝනා වැළඳුණේ ය. ඇය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කය ද කොවිඩ් අධි අවදානම් කලාපයක් බවට පත් වූයේ ඇගේ මුල්වීමෙන් ඒලියන්ත වයිට් මහතාගේ මුට්ටියක් කළු ගඟට දැමීමේ පසුබිමක් ද පවතින අතරේ ය. පවිත්‍රා වන්නිආරච්චි, හිටපු සෞඛ්‍ය ඇමතිනිය වෛද්‍ය විද්‍යාත්මක පුරුදුවලට වඩා අභිචාරත්මක ක්‍රියාවන් මත විශ්වාසය තබා කටයුතු කරන බවත්, ඒ අතරේ ඇයට ද කොවිඩ් රෝගය වැළඳුණු බවත් විශේෂයෙන් සඳහන් කරමින් බීබීසී, අල්ජසීරා, ඉන්සයිඩර් වැනි ජාත්‍යන්තර මාධ්‍ය ද පුවත් පළ කර තිබිණ.

මේ මුට්ටි දැමීමේ ක්‍රියාවේ නිර්මාතෘ ඒලියන්ත වයිට් මහතා ‘වෛද්‍ය’ යන ගෞරව නාමය නමට මුලින් සඳහන් කරගත්ත ද ඔහු කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචියක් ඇති අයෙකු නොවේ. අනෙක කිසිදු වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය විද්‍යාව හදාරා පාරම්පරික හිමිකමක් යටතේ දේශීය වෛද්‍ය වෘත්තියට පිවිසුණු අයෙක් නොවේ. ඔහු අප රට වඩාත් ප්‍රසිද්ධියට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා අප රට ජනපති ධූරය දරණ සමයේ ඔහුගේ සහ ඔහුගේ පවුලේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීම නිසාය. මේ නිසා ඔහු ‘රාජකීය වෛද්‍ය’ යන අනවර්ථ නමින් ද බොහෝ තැන්වල දී හඳුන්වනු දැකිය හැකි විය. ඔහු සිය ෆේස්බුක් පිටුවේ ද මේ බව පළකොට තිබුණු අතර එයට අමතරව තමා සේවය සළසන්නේ “ප්‍රභූවරයන්ට පමණක්” බවත් සඳහන් කොට තිබිණි.

අවසානයේ සිදුවූයේ ඔහු විසින් නිර්මාණය කරන ලද මුට්ටි සංකල්පය ක්‍රියාත්මක කළ හිටපු සෞඛ්‍ය ඇමතිනියටත්, එය නිර්මාණය කළ ඔහුටත් කොවිඩ් වැළඳීමත් ය. ඔහු ප්‍රතිකාර කළේ ප්‍රභූවරයන්ට පමණක් වුවත් අද ඔහුට ප්‍රතිකාර කරන්නට සිටින්නේ ප්‍රභූ වෛද්‍යවරු නොව සාමාන්‍ය වෛද්‍යවරු ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර