රජය භාරයට ගත් අලි ඇතුන් හත් දෙනෙක් නැවත මුල් හිමි කරුවන්ට

නීතිමය පදනමකින් තොරව ඇතැම් පුද්ගලයන් විසින් රඳවා ගෙන ඇති බවට වාර්තා වීමෙන් පසු අධිකරණ නියෝග මත ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට පත් කොට සිටි අලි ඇතුන් දාහත් දෙනෙකුගෙන් හත් දෙනෙකු ඊයේ(08)නැවත එම හිමි කරුවන් වෙත මුදා හරින ලදී.

වසර පහකට පමණ පසු ඔවුන් මෙසේ මුදා හරින ලද්දේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාර බලතල මත නිකුත් කරන ලද අධිකරණ නියෝගයක් අනුවය.

මෙම එක් අලියකු නඩත්තු කිරීම සඳහා දිනකට රුපියල් පහලොස් දහසක පමණ මුදලක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට සිදුවන බව ද පැවසෙයි.

2021.08 19 දින නිකුත් කරන ලද 2241/41 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව හීලෑ අලි ඇතුන් ලියා පදිංචිය විධිමත් කිරීම පිළිබඳ නියෝග නිකුත් කොට ඇති අතර එම නියෝගය අනුව මාස තුනක් ඇතුළත ශ්‍රී ලංකාවේ සියළුම හීලෑ අලි ඇතුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

මෙරට අලි ඇතුන්ට එල්ලවන හිංසනයන් සම්බන්ධයෙන් පසු ගිය කාලයේ නිරන්තරයෙන් තොරතුරු වාර්තා වූ අතර ජාත්‍යන්තර මාධ්‍ය ද එම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව පෙනෙන්නට තිබිණ

කාලීන පුවත්