ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය රුසියාව දෙසට, ශ්‍රී ලංකාවට යන්න එපා ඇමරිකන් වැසියන්ට”රතු එළියක්”

කොවිඩ් ව්‍යාප්තිය පවතින අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා රුසියාව යුක්රේනය සහ කසකස්තානය යන රටවල් දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා හොඳම කලාපය ලෙස එම කලාපයේ රටවල් තෝරා ගැනුණු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලද්දේ රුසියාවේ ර්‍එඩිස්සොන් රොයල් ෆ්ලොටිල්ල යාත්‍රාවේ පැවැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වෙමිනි.

රුසියානු සංචාරකයන් මුල් කොට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා රුසියානු සංචාරක නියෝජිතයින් හා ශ්‍රී ලාංකේය සංචාරක නියෝජිත හමුවක් ලෙස මෙම වැඩසටහන පැවැත්විණි..

මේ අතර ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන්සිව් වන මට්ටමේ එනම් ඉහළම අවදානම් රටවල් අතරට නම් කරමින් ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට ජනතාවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෘනායි යන රටවල් ද අමෙරිකාව විසින් ඉහළ අවදානම් රටවල් අතරට ඇතුළත් කර තිබේ.

අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු විය යුතු බව එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට ද වෛරසය ආසාදනය වීමේ හැකියාව මෙන්ම පැතිරවීමේ හැකියාව ද පවතින බව ඔවුන් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්