ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගිය ටයිටන් සබ්මැරීනයේ බිහිසුණු ඉරණම

කි.මී. 3.8 ක් (අඩි 12,500 ක්) පමණ ගැඹුරු අඳුරු සාගර පත්ලේ තැන්පත්ව ඇති ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යන ටයිටන් නැමැති කුඩා සබ්මැරීනයක් පස් දෙනෙකු ද සමග බිහිසුණු අනතුරකට මුහුණ දීම මේ දිනවල සුවිසල් අවධානයක් දිනාගෙන ඇති සිදුවීමකි.

ටයිටැනික් නැවේ සුන්බුන් තිබෙන ස්ථානය කරා යාමට මෙම සබ්මැරීනය ගමන් ආරම්භ කළේ පසුගිය 18 වැනි ඉරිදා යි. ඒ කැනඩාවට නැගෙනහිර දෙසින් පිහිටි නිව්ෆවුන්ඩ්ලන්ඩ් දිවයිනේ වරායකිනි. එම චාරිකාව පැය 8 ක පමණ කාලයක් ගත වන චාරිකාවකි. නමුත් සබ්මැරීනය ගමනාරම්භ කර පැයකුත් විනාඩි 45 කට පසු එය සමග පැවැති සියලු සන්නිවේදන සබඳතා ඇණහිට තිබිණි. එයින් පසු සබ්මැරීනයට හෝ එහි ගමන් කළ පිරිසට හෝ සිදු වූයේ කුමක්ද යන්න දින කිහිපයක් ගතවනතුරුත් පැවතියේ අබිරහසක් ලෙසිනි. සබඳතා ඇණහිටින විට පැයකුත්, විනාඩි 45 ක් ගතව තිබූ නිසා ඒ වනවිට සබ්මැරීනය බොහෝ දුරට ටයිටැනික් නැව ආසන්නයට ගමන් කර තිබෙන්නට ඇතැයි යන්න ඇතැම් විශේෂඥයන්ගේ අදහස විය.

18 වැනි දින සබ්මැරීනය මේ ආකාරයෙන් අතුරුදන් වීමත් සමග එය සොයා ගැනීමට රටවල් සහ ජාත්‍යන්තර ආයතන රැසක් සම්බන්ධ වී දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය. මෙම සබ්මැරීනයෙහි ඔක්සිජන් තිබී ඇත්තේ දින හතරක (පැය 96 ක) කාලයකට සෑහෙන්නට පමණි. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවන් බ්‍රහස්පතින්දා (22) සවස වනවිට එහි ඔක්සිජන් අවසන් වීමට නියමිතව තිබිණි. මේ නිසා මෙම සෝදිසි මෙහෙයුම කාලයත් සමග කළ මහා සටනක් බවට පත් විය. කෙසේ නමුත් බ්‍රහස්පතින්දා වනවිටත් මෙම සබ්මැරීනයට සිදු වූයේ කුමක්ද යන්න ගැන කිසිදු හෝඩුවාවක් දැන ගන්නට ලැබී තිබුණේ නැත. මේ නිසා එහි ගමන් ගත් පස් දෙනා නිරුපදි්‍රතව බේරා ගැනීම පිලිබඳ බලාපොරොත්තු කෙමෙන් දිය වී යන්නට පටන්ගෙන තිබිණි.

අවසානයේ දී ටයිටන් ගැන නිශ්චිත තොරතුරක් ලැබුණේ ලංකාවේ වේලාවෙන් සිකුරාදා අලුයම් කාලයේ ය. එයින් පැවසුණේ සබ්මැරීනය සාගර පත්ලට ආසන්නව තිබිය දී පුපුරා යාමෙන් බිහිසුණු ඉරණමකට මුහුණ දී ඇති බවයි. එහි සුන්බුන් ටයිටැනික් නැවේ සුන්බුන් තැන්පත්ව ඇති ස්ථානයේ සිට මීටර් 480 ක් පමණ දුරින් පතිතව තිබෙනු දැකගන්නට ලැබී තිබිණි. මේ තොරතුරු සොයා ගන්නා ලද්දේ සාගර පත්ල වෙත යවන ලද දුර සිට ක්‍රියාත්මක කළ හැකි රොබෝ යාත්‍රාවක් විසිනි.

බ්‍රිතාන්‍යයේ සහ පාකිස්තානයේ ඉහළම ධන කුවේරයන් දෙදෙනකු ද සබ්මැරීනයේ ගමන් කළ කණ්ඩායමට අයත් විය. ඒ පිලිවෙලින් හාමිෂ් හාඩිංග් සහ ෂහ්සාදා ඩාවුඩ් ය. ඩාවුඩ්ගේ 19 හැවිරිදි පුත්‍රයා සුලේමාන් ද මෙම කණ්ඩායමට අයත් වූ තවත් කෙනෙකි. සබ්මැරීනය අයත් වූ OceanGate නැමැති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ් සහ සුප්‍රකට සාගර ගවේෂකයකු වූ පෝල්-හෙන්රි නාගියලට් එහි සිටි අනෙක් දෙදෙනායි. ස්ටොක්ටන් රෂ්ගේ බිරිඳ වන වෙන්ඩි රෂ් 1912 වසරේ අනතුරට පත් ටයිටැනික් නැවේ ගමන් කළ යුවළකගේ මී මිනිපිරියකගේ දියණියක බව සඳහන් වේ. සබ්මැරීනයෙහි ගමන් කළ පිරිස මුහුණ දුන් අත්දැකීම අතිශයින් බියජනක වන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ටයිටන් සොයා ගැනීමේ මෙහෙයුමෙහි නිරතව සිටි කණ්ඩායම් තුළ බලාපොරොත්තුවක් සහ කුතුහලයක් ඇති කළ සිදුවීමක් බදාදා සිදු විය. එනම් සාගරය තුළින් නැගුණු කිසියම් අබිරහස් ශබ්දයක් පිලිබඳ සංඥාවක් ඔවුන්ගේ තාක්‍ෂණික මෙවලම්වල සටහන් වීමයි. එය යම් රිද්මයකට අනුව නැගුණු හඬක් බව ද සඳහන් විය. සමහර විට මේ හඬ සබ්මැරීනයේ සිටින අය එහි බඳට යමකින් ගැසීම නිසා නැගුණු හඬක් විය හැකි බවට අදහසක් මතු වුවත් එය සියයට සියයක්ම නිශ්චිතව පැවසිය හැක්කක් නොවීය. දැන් මේ පිලිබඳ විශේෂඥයන් පවසන්නේ එම හඬ සාගරයේ යාත්‍රා කරමින් තිබූ වෙනත් නෞකාවලින් නැගුණු හඬක් වන්නට ඇති බවයි.

මේ අතර ඇමරිකානු නාවුක හමුදාව සිකුරාදා වැදගත් තොරතුරක් අනාවරණය කර තිබිණි. සබ්මැරීනය සමග පැවැති සන්නිවේදන සබඳතා බිඳ වැටී ටික වේලාවකට පසු කිසියම් පිපිරුමකට සමාන යයි පැවසිය හැකි අසාමාන්‍ය ශබ්දයක සංඥාවක් ඔවුන්ගේ උපකරණවල සටහන්ව තිබූ බවයි.

ටයිටන් සබ්මැරීනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වසර කිහිපයකට පෙර සිටම ඇතැම් පාර්ශ්ව අනතුරු ඇඟවීම් කර තිබූ බව වාර්තා වේ. එහි බඳ සාදා ඇති අමු ද්‍රව්‍ය සාගරයේ ඉතා ගැඹුරු තැන්වල පවතින අධික පීඩනයට ඔරොත්තු දෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂාවන් නොකෙරුණු බවක් ඩේවිඩ් ලොක්රිජ් නැමැත්තෙකු අනාවරණය කර තිබිණි. ලොක්රිජ් කලකට පෙර OceanGate සමාගමේ අධ්‍යක්‍ෂ ධුරයක් දැරූ කෙනෙකි. සබ්මැරීනයේ කුඩා අනුරුවක් මෙවැනි පරීක්‍ෂාවන්ට ලක් කළ බවත්, එහිදී යම් යම් ගැටලු පෙන්නුම් කළ බවත් ලොක්රිජ් වැඩි දුරටත් සඳහන් කර තිබිණි. පිටත නැරඹීම සඳහා ඇති වීදුරු කව්ළුව සම්බන්ධයෙන් ද අනතුරු අඟවා තිබූ බව වාර්තා වේ. ලොක්රිජ් සඳහන් කරන අන්දමට එම කව්ළුව නිශ්පාදනය කළ ආයතනය එය අනුමත කර තිබුණේ මීටර 1,300 ක (අඩි 4,300 ක) ගැඹුරක් සඳහා පමණි. යම් හේතුවක් නිසා ලොක්රිජ් පසුව එම ආයතනයෙන් ඉවත් කර තිබිණි.

සබ්මැරීනය පුපුරා ගොස් ඇති බව වාර්තා වීමෙන් පසු, ‘ටයිටැනික්’ චිත්‍රපටය නිර්මාණය කළ ජේම්ස් කැමරන් ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි. ඔහු ද 33 වතාවක් ටයිටැනික් සුන්බුන් ඇති ස්ථානයට ගමන් කළ කෙනෙකි. “මේ සිද්ධිය මගේ ඇටමිදුළුවලටම දැනුණු සිද්ධියක්” යයි ඔහු පවසා තිබේ. පසුගිය ඉරිදා සබ්මැරීනය අතුරුදන්ව ඇති බව දැනගැනීමෙන් ටික වේලාවකට පසු තමා මෙම ක්‍ෂේත්‍රයේ කිහිප දෙනෙකුට කතා කර විස්තර විමසූ බව ඔහු සඳහන් කර ඇත. සබ්මැරීනයේ සන්නිවේදන පද්ධතිය, ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඇතුළු පද්ධති කිහිපයක් එකවර බිඳ වැටී ඇති බව දැනගත් විගසම කිසියම් බියකරු සිද්ධියක් ගැන තමාට ඉව වැටුණු බව කැමරන් පවසයි. ‘එකවරම මගේ හිතට ආවේ පුපුරා යාමක් සිදු වූවා ද යන සිතිවිල්ලයි’ ඔහු සඳහන් කර තිබිණි.

සබ්මැරීනයෙහි සිදුව තිබුණේ ඇතුළතට පුපුරා යාමකි (implosion). එවැනි පුපුරා යාම් සිදුවන්නේ සාගරයේ ගැඹුරු තැන්වල ඇති අධික ජල පීඩනය නිසා ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර