දරුවන්ට නිදහසේ සාමාන්‍ය පෙළ ලියන්න වත් ඉඩ දෙන්න

මේ ගත වුණු මාස කීපය තුළ ඇති වූ අභියෝගාත්මක තත්වයන් අතරදී සිදු වුණු ඉතාමත් අභාග්‍ය සම්පන්න සිදුවීම් දාමයට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් වැඩිහිටියන් වගකිව යුතුයි. අපි සියලු දෙනාගේම හැසිරීම, කතිකාවන්, සංවාද, විසංවාද,ගැටුම්, අරගල මේ සියල්ලේම මහා පොදු සාධකයක් තියෙනවා. මේ කිසිම තැනකදී ගරු සභාපතිතුමනි අපි අවධානයක් ප්‍රමුඛත්වයක් දුන්නා ද අපේ දරුවන්ට.

ඉංග්‍රීසි ජාතික නවකතා කරුවෙක් හිටියා පී.ඩී. ජේම්ස් කියලා. ඔහු රචනා කළා අපූරු විද්‍යා ප්‍රබන්ධයක්.එහි නම Children of the men  ඒකෙන් කියවුණේ අනාගත ඩිස්ටෝපියානු ලෝකයක් ගැන අපූරු කතාවක්. ඒක පදනම් කර ගෙන චිත්‍රපටයකුත් නිර්මාණය වුණා. මොකක්ද එහි තිබුණෙ පෘථිවියේ මිනිසුන්ට දරුවන් ලැබී නැවතී මුළු ලෝකයම දරුවන් නැති ලෝකයක් බවට පත් වෙනවා. ඒක විද්‍යා ප්‍රබන්ධයක්. ගරු සභාපති තුමනි, මේ මෑත කාලයේ අපි සියලු දෙනාගේම හැසිරීමෙන් අපි දරුවන් නැති රටක ජීවත් වෙනවා වගේ නෙමේද? මේ තීරණ ක්‍රියාදාමයන් ගත්තේ.

මේ සියල්ලක් තුළ දරුවන් ගැන ඔවුන්ගේ සුභ සිද්ධිය ගැන කිසිම කෙනෙක් මොහොතකටවත් සිතුවාද? මතක තබා ගන්න; භෞතික සම්පත් අහිමි වුණත් නැවත ලබා ගන්න පුළුවන්. මං එදා ඒව අවතක්සේරු කරනවා නෙවේ. ඒත්,ජීවිත නැවත ලබා ගන්න බෑ. ඒ වගේම අපේ දරුවන්ට නැති වුණේ ජීවිතේ කවදාවත්ම ලබා ගන්න බැරි ළමා කාලය. වසංගතයෙන් වසර දෙකකට වඩා බැට කෑ ඔවුන් යම්තම් ඔළුව උස්සගෙන පාසල් ගිහින් නැවත ජීවිතය සාමාන්‍යකරණයට හැරෙන්නට පටන් ගත්තා පමණයි.
නැවතත් වැඩිහිටි අප විසින් ගන්නා ලද අමනෝඥ අසංවේදී අශිෂ්ටසම්පන්න අවිනීත අවර ගණයේ තීන්දු තීරණ නිසා නැවතත් එම ජීවිත කඩාකප්පල් බවට පත් වී තිබෙනවා.

මීට සති තුනකට පසුව තමයි ඔවුන් අලුත් පාසල් ජීවිතය ආරම්භ කළේ. වෙනදට ජනවාරි පටන් ගන්න ඒ අලුත් පන්තියට ඔවුන් ආවේ අප්‍රේල් මාසෙ අග. ඒ ගිහිල්ලත් නිවීහැනහිල්ලේ පාසල් යන්න තරම් ඉස්පාසුවක් ඒ අහිංසක දරුවන්ට අපි ඉතිරි කළාද? මං අහන්නෙ මුළු සමාජයෙන්ම. අපි ඉතිරි කළාද? මං මේ පාර්ලිමේන්තුවේ සහෝදර ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ද පාර්ලිමේන්තුවෙන් පිටතත් සියලුම ක්‍රියාකාරීන්ගෙන් ද සමස්තයක් ලෙස මේ රටේ වැඩිහිටි පුරවැසියන්ගෙන් ද බෑගෑපත් ඉල්ලීමක් කරන්න කැමතියි. ගරු
සභාපති තුමනි, ලබන සඳුදා අපේ දූ පුතුන් ලක්ෂ හයකට වඩා සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගි වෙනවා.ගරු සභාපති තුමනි, දවස් දහයක් මේ විභාගය තියෙනවා.

ඔවුන් එම විභාගයත් සමඟ පොර බදනවා. මතක තබා ගන්න සාමාන්‍ය පෙළ දරුවෙක්ගේ අනාගත දිශානතිය තීරණය කරන වැදගත්ම විභාගයක්. සාමාන්‍ය පෙළ කියල කියන්නෙ.
එම නිසා දරුවන්ගේ නාමයෙන් එම කාල සීමාව තුළදී වත් අප මේ පසුගිය කාලයේ පෙන්නුම් කළ හැසිරීම් රටාවන් ගෙන් මිදී ඔවුන්ට නිදහසේ නිරවුල් මනසකින් යුතුව තම ජීවිතයේ වැදගත්ම කඩඉම් විභාගයට මුහුණ දිය හැකි පරිසරයක් සකස් කර දෙන්නට මානුෂික වෙන්නැයි මම මේ සභාවෙන් සහ මේ රටේ සමස්ත සමාජයෙන්ම බැගෑපත්ව ආයාචනාවක් කරනවා.

ඩලස් අලහප්පෙරුම (මැයි 18 වන දා පාර්ලිමේන්තුවේ දී)

එතෙර - මෙතෙර