දෙව්දත් බුදුන්ට ගල් පෙරලන කොට දෙවිවරු හිටියේ කොහේද?

බුදු දහම යනු චිත්ත දමනය මුල් කොට ගත් සාදාචාර මාර්ගයක් පිළිබඳ ශාස්තෘ දේශනාවකි. එහි න්‍යෂ්ටිය ලෙස සැලකෙනුයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය ආදී ගැඹුරු ධර්ම කොටස් ය. එහෙත්, ඒ කිසිදු ධර්ම කොටසක් තුළ දෙවියෙකු, බ‍්‍රහ්මයෙකු දක්නට නැත.

ඊට හේතුව මිනිසා තම විමුක්තිය තමන් විසින්ම සලසා ගත යුතු බවට බුදු දහමේ දැඩිව අවධාරණය කොට තිබීම ය. නමුත් බුදු දහමේ එම කේන්ද්‍රය න්‍යෂ්ටිය වෙත මිනිසුන් ආකර්ෂණය කරන බෞද්ධ සාහිත්‍යය තුළ දෙවිවරුන්, බ‍්‍රහ්මයන් පිළිබඳව සඳහන්ව තිබේ.

අද ශී‍්‍ර ලාංකීය බෞද්ධයෝ තමන්ට හිතෙන හිතෙන දෙවිවරුන් ඇදහීමටත් ඔවුන් සඳහා පුද පූජා කිරීමටත් පෙළඹී සිටිති. එහෙත්, බෞද්ධ සාහිත්‍යයේ ප‍්‍රමුඛතම දෙවියා වන ශක‍්‍ර දේවේන්ද්‍රයන් හට නිකමටවත් පූජා වට්ටයක් දිගු කරන බෞද්ධයෙකු ගැන අප කිසිදා අසා නැත.

ඊට හේතුව අපේ බෞද්ධයන් අතර අතිශය ජනපි‍්‍රය හින්දු දෙවිවරුන් මෙන් ශක‍්‍රයා අසරණයන්ට පිහිට නොවීම යැයි කීමට ද නොපුළුවන.

මක්නිසාද මෙලොව සත්පුරුෂයන් හට විපත් සිදුවන අවස්ථාවන් හිදී කඩුපුල් ආසනය උණුවීම මත මහල්ලෙකුගේ වේශයෙන් මෙලොවට පැමිණෙන සක් දෙවිදුන් ගැන බෞද්ධ සාහිත්‍යයේ ඕනෑ තරම් කරුණු ඇති බැවිනි. සක් දෙවිදුන් එලෙස පිහිට වනුයේ සත්පුරුෂයන්ට පමණක් බැවින් අපේ බෞද්ධයන් අන්‍ය දෙවිවරුන් ඇදහීමට යොමු වීමේ හේතුව අපට අනියමින් සිතා ගන්නට පුළුවන.

යේ, ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තෝ උපාසකා
ධම්මේන දාරං පෝසෙන්ති
තේ නමස්සාමි මාතලී’

ඉහතින් දැක්වූයේ සංයුක්ත නිකායෙහි සක්ක සංයුක්තයෙහි එන ගාථා පාඨයකි. මෙය ශක‍්‍ර දේවේන්ද්‍රයා විසින් සිය රථාචාර්යයා වු මාතලී දිව්‍ය පුත‍්‍රයන් අමතා කියන ලද්දකි.

මෙහි අදහස මෙසේය.

‘යම් ගිහියකු පින් කරයිද, සිල්වත් උපාසකයෙක් ලෙස පංචශීලය ආරක්ෂා කරයිද, දැහැමෙන් අඹු දරුවන් පෝෂණය කරයිද මම ඒ සීලවන්ත උපාසකයාට නමස්කාර කරමි‘ යන්න ය.

ඉහත සඳහන් කරුණු සලකා බලන විට අද අපේ බෞද්ධ සමාජය මහත් විපතක සහ ලොකු අවුලක වැටී තිබෙනු පෙනෙයි. මෙය අදක ඊයේක ආරම්භ වූ තත්ත්වයක් නොවේ. කාලාන්තරයක් තිස්සේ පැවතෙමින් ආ පරිහානීය තත්ත්වයක ප‍්‍රතිඵලයකි.

බුද්ධ ධර්මය කුමක්ද? බෞද්ධ සංස්කෘතිය කුමක්ද? යන්න ගැන අද බොහෝ දෙනෙකුට වැටහීමක් නැත. අද අපේ බෞද්ධයන් සිටින්නේ මේ දෙක පටලවා ගෙනය. ඒ අනුව ඔවුහු බුදු දහම හා හින්දු දහම ද පටලවා ගෙන හිඳිති. ආගම් දෙකක් එකට පටලවා ගෙන අදහන්නේ කෙසේද?

අපේ රටේ දළදා පෙරහැරට පැහැදිලි ඉතිහාසයක් තිබේ. මුල් කාලයේ එයට මේ හින්දු දේවතා සංකල්ප එකතු වී තිබුණේ නැත. සම්මත වර්ෂ පස්වන සියවසේ මෙරටට පැමිණි පාහියන් භික්ෂුන් වහන්සේ ගේ දේශාටන වාර්තාවල දැක්වෙන අන්දමට එකල අනුරාධපුරයේ දළදා පෙරහැර පැවැත්වුණු අතර පන්සිය පනස් ජාතකය ඉතා විචිත‍්‍රවත් අන්දමට චිත‍්‍රවලට නඟා පෙරහැරේ ගෙන ගොස් ඇත.

දළදා පෙරහැරට මෙම හින්දු දෙවිවරුන් සම්බන්ධ අංග ඇතුළත් වුණේ මහනුවර යුගයට එන විට ය. මහනුවර යුගයේ රජ කළ නායක්කර් වංශික රජවරුන්ගේ සහ එම බිසෝවරුන්ගේ වුවමනාවට මේවා මෙසේ සිදුවිණි. එම නායක්කර් වංශික රජවරුන් විවාහ කටයුතු සිදුකර ගත්තේ ඉන්දියාවෙන්ම ගෙන් වූ කාන්තාවන් සමඟය. ඊට හේතුව වූයේ පිරිසිදු නායක්කර් රාජ වංශික පරම්පරාවක් ඇති කිරීම ය.

මෙම සටහන ආරම්භයේදීම මම එක ගාථා පාඨයක් පිළිබඳව සඳහන් කළෙමි. එහි දැක්වෙන අන්දමට පන්සිල් රකින සිල්වත් උපාසකයාට ශක‍්‍ර දේවේන්ද්‍රයනුත් නමස්කාර කරයි. ඒ තමන්ගේ ශක‍්‍ර සම්පත්තියටත් වඩා සීල සම්පත්තිය උතුම් බැවිනි. ශක‍්‍ර දෙවියන් යනු දෙදෙව් ලොවට අධිපතිය.

දෙදෙව් ලොව අධිපතියාත් සීලවන්ත මනුෂ්‍යයන්ට නමස්කාර කරද්දී, අපේ බෞද්ධයෝ ශක‍්‍ර දෙවියන් නොතකා හැර අන්‍යාගමික දෙවිවරුන්ගේ පිළිරූ වලට වැඳ වැටෙමින් යාඥ කරති. ඇත්තෙන්ම මේ තරම් විහිළුවක් තවත් තිබේද? අපේ බෞද්ධයන්ට මේ සිදුවී ඇති විපත කුමක්ද?

සතරවරම් දෙවිවරුන් (මේ අපේ බෞද්ධයන් දැන් සතර මහා දෙවිවරුන් ලෙස නම් කරගෙන සිටින හින්දු දෙවිවරුන් නොවේ.

ලෝකය සිසාරා යන අතරේ පංචශීලය ආරක්ෂා කරන, පෙහෙවස් සමාදන් වන, මාපියන්ට උපස්ථාන කරන සිල්වත් පුද්ගලයන් විසින් අනුමෝදන් කරන පින් අනුමෝදන්වී පෙරළා ඒ අයට ආශිර්වාද කරන බව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ.

බුදු දහමේ මේ තරමටම ශීලයෙහි ඇති වැදගත්කම විස්තර කරද්දී අපේ බෞද්ධයන්ට මේ සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් අන්‍යාගමික දෙවිවරුන් පසු පස යන්නේ තම දුසිල්වත් බව නිසා නොවේද? මෙය සමාජයේ විවෘත කතා බහට ලක් විය යුතුය.

සතර වරම් දෙවිවරුන්ගෙන් එක් දෙවි කෙනකු වන වෛශ‍්‍රවණ දිව්‍යරාජයා සම්බන්ධව කියැවෙන පාරායන සූත‍්‍ර දේශනාවල තිබෙන මේ සිද්ධිය දෙස බලන්න.

වෛශ‍්‍රවන දෙවියන් ලෝකය සිසාරා යමින් සිටියදී නන්දමාතා නමැති සිල්වත් උපාසිකාව ඉතා සුමධුර හඬින් පාරායන සූත‍්‍රය ගායනා කරමින් හිඳ ඇත.

ඒ පිළිබඳ වෛශ‍්‍රවණ දෙවියන් කොයි තරම් පැහැදුනි දැයි කිවහොත් ඔහු එළිවෙන තුරු නොසෙල්වී හිඳ පාරායන සුත‍්‍ර දේශනාව ශ‍්‍රවණය කොට අන්තිමේ ‘සාදු සාදු’ යනුවෙන් පවසමින් එය අනුමෝදන් වී ඇත.

‘මා කලෙකින් මෙතරම් මිහිරි හඬක් ඇසුවේ නෑ’ යනුවෙන් වෛශ‍්‍රවණ කියා ඇති බව සඳහන් ය, බෞද්ධ සාහිත්‍යයට අනුව දෙවිවරුන්ට අවශ්‍ය වන්නේ ඔබේ පළතුරු වට්ටි නොව තෙරුවන් සරණ ගොස් ඔබ විසින් අනුමෝදන් කරවන කුසලයයි. ඔබේ කුසල් අනුමෝදන් කරගන්නා දෙවියන්ගෙන් ඔබට යහපත සැලසෙන්නේ ඒ අනුව ය.

අප සැම කෙනෙකු වටාම එක්තරා රශ්මි ධාරාවක් බල පැවැත්වෙයි. අපේ ශරීරයේ රුධිරය පිරිසිදු වන විට එම රශ්මිධාරාව ද බලවත් වෙයි. අලෝබ, අදෝස, අමෝහ යන යහපත් සිතුවිලි වලින් අප කුසල කර්ම සිදුකොට ඒවා දෙවියන්ට අනුමෝදන් කරන විට දෙවියන් තුළත් අලෝබ, අදෝස, අමෝහ, කුසල චේතනා පහල වෙයි.

එවිට දෙවියන්ගේ සිත් ද ප‍්‍රසන්න වෙනු ඇත. එවිට අප වටා තිබෙන ප‍්‍ර‍්‍රසන්න රශ්මි ධාරාව දෙවියන් විසින් ද ආකර්ශනය කරනු ලබයි. පන්සිල් රකින තැනැත්තාට මනුෂ්‍යයෝත් පි‍්‍රය වෙත්. (මනුස්සානං පියෝ හෝති) අමනුෂ්‍යයෝත් පි‍්‍රය වෙත්. (අමනුසානං පියෝ හෝති) යනුවෙන් බුදුරදුන් දේශනා කළේ එබැවිනි. ඒ අනුව දෙවියන් විසින් ඒ සිල්වත් මනුෂ්‍යයන්ව ආරක්ෂා කරනු ඇත.

නමුදු මෙය පූර්ණ ආරක්ෂාවක් ලෙස සැලකිය නොහැක්කේ බුදු දහමට අනුව දෙවියන් ද අප මෙන් ම සාංසාරික සත්ත්ව විශේෂයක් වන බැවිනි. ඒ අනුව දෙවියන්ගේ පිහිට මත යැපීමට බෞද්ධ අපට නියමයක් නැත. ඒ මක් නිසා ද අපට මෙන්ම දෙවියන්ට ද අනේක විධ පරාජයන් පසුබෑම් ආදිය සිදුවන බැවිනි.

මේ සම්බන්ධ තවත් විශේෂයෙන් කිව යුත්තක් තිබේ. ඔබට යස ඉසුරු දෙන්නට, මනුෂ්‍යයන්ට සහ තිරිසන් සතුන්ගෙන් වෙන විපත් වළක්වන්නට, ඔබව රෝග වලින් සුව කරන්නට දෙවියන්ට බැරිය. දෙවියන් යනු අමනුෂ්‍ය කොට්ඨාශයකි.

ඔබට පහත් පෙලේ අමනුෂ්‍යයන්ගෙන් සිදුවිය හැකි විපත් වළක්වන්නට නම් දෙවියන්ට යම් තරමකට පුළුවන. ‘‘දිවාච රත්තෝච භරන්තියේ බලිං තස්මා හි නේ රක්ඛත අප්ප මත්තා’‘ යනුවෙන් රතන සුත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දේශනා කළේ දිවා රැ පුන්‍ය කි‍්‍රයා කොට ඔබලාට කුසල් අනුමෝදන් කරන මනුෂ්‍යයන්ව අප‍්‍රමාදව ආරක්ෂා කරන ලෙසයි. මෙහි එන දේවතා බලි යනු හුදෙක් පින් අනුමෝදන් වීම් පමණි.

දෙවියන්ට අප සම්බන්ධයෙන් ඊට වඩා වැඩි යමක් කළ හැකි නම් බුදුරදුන්ට දෙව්දතුන් ගලක් පෙරළන විට මුගලන් මහා රහතන් වහන්සේට ඇට බිඳෙන තුරු සොරුන් පහර දෙන විට දෙවියන්ට ඉදිරිපත් වී එය වලක්වන්නට තිබුණා නොවේද? ‘ඔය පාරෙන් යන්න එපා දෙව්දතුන් ඔබ වහන්සේට ගලක් පෙරළන්න බලාගෙන ඉන්නවා‘ යැයි කියන්නටවත් දෙවියන්ට හැකි වුණාද?

බුදුරදුන්ටත් මෙසේ නම් අපට වෙන විපත් වලට දෙවියන් මොනවා කරන්නද? නමුත් මේ දෙවියන්ගේ වරදක් නොවේ.

මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන්ගෙන් වෙන උවදුරු දෙවියන්ට වැළැක්විය නොහැකි නිසා ය. මේ සම්බන්ධයෙන් අවසන් වශයෙන් කිව හැක්කේ මිනිසෙකුට තමන්ගේ දෙලොව යහපත උදාකර ගැනීම පිණිස දෙවියන්ගේ උපකාර අවශ්‍යම නොවන බවකි.

මා එසේ සඳහන් කරනුයේ බුදු පසේ බුදු මහ රහත් ආදී බෞද්ධ පරමාදර්ශයන්ට ළඟා වූ කිසිවෙක් ඒ සඳහා දෙවියන්ට කන්නලව් කළ බවත් බෞද්ධ සාහිත්‍යයේ කිසිම තැනක සඳහන් නොවන නිසා ය.

එනිසා ඔබ යළිත් සිහියට නංවා ගත යුත්තේ ලොව ප‍්‍රඥාවන්තම දර්ශනයක් වන බුදු දහම තුළ කිසිදු දේව වන්දනයක් අගැයුමට ලක් නොමැති බවය.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ