පේරාදෙණි වෛද්‍ය පීඨයේදී මනෝ වෛද්‍යවරයකු “ආතුරයකු” කළ ගරායකා

Shanthikarma pdf Shanthikarma wikipedia kohomba kankariya shanthikarma udarata shanthikarma

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය යනු එවක සිංහලෙන් කතා කරන වදනක් වුව නිතර අසන්නට නොලැබුණු බටහිර වෛද්‍ය විද්‍යා තක්සලාවක් බඳු අධ්‍යාපන නිකේතනයකි.යුරෝ කේන්ද්‍රීය චින්තනය මත ව්‍යාප්ත වන බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ උණුසුම ඒ සතර දිග්භාගයේ පැතිර යාම මත ඊට කිසිදු සබැඳියාවක් නැති දේශීය සංස්කෘතියට එහි තැනක් නැති වීම පුදුමයක් නොවේ.නමුදු 2004 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා දෙපර්තමේන්තුවේ දී ‘ගරායකුම’දේශීය ශාන්ති කර්මයක් සංවිධානය කිරීමට මට හැකි විය. එවක එහි මනෝ වෛද්‍ය විද්‍යා අංශාධිපතිව සිටි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් චින්තකයකු වන විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහයන් සමඟ කරන ලද සුහද පිළිසඳර කිහිපයක ප්‍රතිඵල වශයෙනි. අපගේ දේශීය බලි තොවිල් ශාන්තිකර්මවල ඇතැම් මනෝ චිකිත්සක අංග නොවිධිමත් ලෙස ගැබ්ව ඇති බවත් එවැනි ගණයේ ශාන්තිකර්ම නිරූපණයක් මඟින් එම මනෝ චිකිත්සක අංග මොනවා දැයි පේරාදෙණිය විශ්විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා දෙපර්තමේන්තුව හා සම්බන්ධ විද්වත් ප්‍රජාවට විද්‍යාත්මක ද්‍රශ්ඨි කෝණයෙන් වටහා ගත හැකි බවත් මම ඔහුට කීවෙමි.

සාමාන්‍යයෙන් එවන් ශාන්ති කර්මයකට ඇදුරකු අනිවාර්යෙන් උවමනා ය.එම ගරායකුමේ ඇදුරා ලෙස අප රටේ සිංහල භාෂා ශාස්ත්‍ර සහ මානව විද්‍යා විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විපුල මෙහෙවරක් ඉටු කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියක් හෙබ වූ විභාවි විජයශ්‍රී වර්ධනයන් සම්බන්ධ කර ගැනීමට මට හැකි විය. අප ශ්‍රී ලාංකේය ජන සමාජය බටහිරින් ආ වික්ටෝරියානු සුචරිතවාදය උස්මුරුත්තාවටම අනුභව කොට ඇති බවක් තරයේම කියා සිටි විභාවි තම එදිනෙදා කතා ව්‍යවහාරයේ දී වුව සමහරුන් ගේ දෑස නළළේ ඉන්දවෙන දේශීය ගැමි සම්ප්‍රදායේ නිදහස් වාග් මාලාවක් අනුගමනය කළ අපූරු ගණයේ අති සොඳුරු මිනිසකි.ඒ අතර අප “සුද්ද සිංහල” නමින් හඳුන්වන වචන ද තිබිණ.ඒ බව මීට වසර දා හතකට එපිට පේරාදෙණිය සරසවියට සම්බන්ධ වී සිටි ගුරු සිසු ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් දැන සිටිනවාට සැක නැත එදිනෙදා ජීවිතයට අමතර තම ශාස්ත්‍රීය ජීවිතයට ද එම විෂය පථය ආරෝපණය කර ගත් මෙම විද්වතා 1997 ලියා පළ කරන ලද සිංහල “කැළෑ පත්තරය” කෘතියට එම වසරේ විශිෂ්ඨතම පර්යේෂණ කෘතියට හිමි රාජ‍‍ය සම්මානය ද හිමි විණි. නමුදු සිය ශාස්ත්‍රීය ජීවිතයේ ස්වර්ණමය යුගය එළඹීමත් සමඟ 2006 වසරේ මෙම මහඟු විද්වතාට; සොඳුරු මිනිසාට අකාලයේ මෙලොවින් සමු ගැනීමට සිදුවිය.එය මෙරට භාෂා ශාස්ත්‍ර සාහිත්‍යය සහ මානව විද්‍යා විෂය පථයට පිරිමැසිය නොහැකි පාඩුවක් වූ බව නොකියාම බැරි ය.ඒ වන විට විභාවි විජයශ්‍රී වර්ධනයන් හතලිස් අට වන වියේ පසුවිය.

එම ගරායකුම ශාන්තිකර්මය නැරඹීම පිණිස විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයන,අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේම පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් උපාධි ලබා ඒ වන විට මනෝ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි සුදුසුකම් සපුරමින් සිටි මහනුවර, කුරුණෑගල, කෑගල්ල ආදී රෝහල්වල සේවය කරමින් සිටි තරුණ මනෝ වෛද්‍ය වරුන් වරියන් කිහිප පලක්ම එක්ව සිටියහ. එම ශාන්තිකර්මයේ ගරායකුගේ භූමිකාව සඳහා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයකු පේරාදෙණියට ගෙන්වා ගත් අතර ඔහු පහතරට ශාන්තිකර්ම කලාව හා සම්බන්ධ පරපුරක වත්මන් නියෝජනයක් වීම එහි සාර්ථකත්වයට වඩාත් හේතු විය.

විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ආලින්දයේ සංවිධානය කර තිබූ එම ගරායකුම සඳහා “ආතුරයකු” නොමැති අඩුව අවසන් මොහොතේ ඉස්මතු වූයේ අප කිසිවකුත් නොසිතූ ලෙසිනි.ඒ සමඟ එහි ආතුරයා වශයෙන් පෙනී සිටීමට එවක පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී මනෝ වෛද්‍යවරයකු සිය කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඒ දැනට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය වරුන් ගේ ආයතනයේ සභාපති පදවිය ද හොබවන අංගොඩ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ ය.

කෙසේ හෝ සැබෑ ගරායකුමක ඇති මල් යහන, යක් බෙර, අයිලය, දුම්මල කට්ටකුමන්ජල් ආදී සියලු අංගයන්ගෙන් පිරී තිබූ මෙම ශාන්ති කර්මයේ දී ගරායකු ලෙස පෙනී සිටි අයෝමය කාය ශක්තියක් පෙන්නුම් කෙරෙන සිරුරින් යුත් තරුණ සරසවි ශිෂ්‍යයා එහි තනවන ලද අයිලයට නැග එහි රැඟුම් පාන්නට වූයේ රැස්ව සිටින්නවුන් තුළ ත්‍රාසය ජනිත කරවමිනි. ඉන්පසුව එහි දී ශාන්තිකර්මයේ ඇදුරා වන විභාවි විජයශ්‍රී වර්ධනයන් සහ එම ගරායකු අතර පැවති සංවාදය මෙලෙසිනි.

ඇදුරා : තමන් මේ ඇවිත් තියෙන්නේ කොහාටද කියලා දන්නවද?
ගරායකු : ඇත්තටම මේ කොහෙද ගුරුන්නාන්සේ, මේ අර කන ගෙඩි ජාතිය තියෙන හරිය නේද?
ඇදුරා : මොන ගෙඩි ජාතියක් ගැනද? තමුන් ඔය කියන්නේ?
ගරායකු : මොනවද මේ මේ අඹ, නෑ ඇපල් නෑ මුද්දරප්පලම් නෑ නෑ පැපොල් ඒත් නැ අන්නාසි හත්වලාමේ ඒත්,නැහැ නොවැ හරි හරි ගුරුනාන්සේ මට මතක් වුණා
ඇදුරා: මතක් වුණා නම් කියමු බලන්න
ගරායකු : පේර පේර හැබෑට මම මේ ඉන්නේ පේර ගහකද? ගුරුන්නාන්සේ
ඇදුරා : ඇන්නෑවේ පේර ගහක නෙවෙයි, තමුන් මේ ඉන්නේ පේරාදෙණියේ
ගරායකු : හරි, හරි ගුරුන්නාන්සේ දැන් මට මතක් වුණා. මම මේ ඉන්නේ පේරාදෙණියේ නම් මට මෙහෙන් මලක් දෙකක් නෙළාගන්න බැරි වෙයිද?
ඇදුරා : මල් තියෙන්නේ අතන පේරාදෙණිය මල් වත්තෙනේ. මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. මෙහේ කොහේද මල්?
ගරායකු : (ලැජ්ජාවෙන් සිනා සී එම ගරුයකුම නරඹමින් සිටි තරුණ වෛද්‍යවරියන් පෙන්වා) මොකද?ගුරුන්න්සේ  මෙහේ මල් නැත්තේ? මේ තියෙන්නේ රතුපාට, කොළපාට, නිල්පාට, කහපාට මල්නේ. මේ මලක් දෙකක් නෙළා ගන්න මට බැරිවෙයිද ගුරුන්නාන්සේ.

ඇදුරා: එහෙම නෙලන්නෙ කොහොමද?තමුන් යකෙක් නේ.

ගරායකු :යකෙක් වුණත් මොකෙක් වුණත් නෙළන්න දන්න එකා නෙළනවාමයි ගුරුන්නාන්සේ
ගරායකුගේ මෙම ප්‍රකාශයත් සමඟ මුළු තොවිල්පොළම එකම සිනා හඬකින් ගිගුම් දෙන්නට විය.බලි තොවිල් ශාන්ති කර්ම වල යකා සහ ඇදුරා අතර සිදුවන සංවාද මාලාවේ නොවැරදීම දක්නට ලැබෙන අංග දෙකක් තිබේ.එනම් වචන පටලවමින් ඇදුරා අසන ප්‍රශ්න වලින් මඟ හැර යාම සහ ඇදුරා ගේ ප්‍රශ්න වලට ලිංගිකත්වය මුසු දෙපිට කැපෙන පිළිතුරු දීම ය. මෙය මානසික අර්බුද වල දී අපගේ මනෝ භාවයන් ගේ විෂම ක්‍රියාකාරිත්වය කදිමට සංකේතනය කරන්නකි.එහෙත්, ඊට හාස්‍යය සහ ලිංගිකත්වය මුසු කොට දැක්වීම මා දකිනුයේ අධි බලැති බෝම්බ නිශ්ක්‍රිය කොට පුපුරුවා හැරීමක් සේ ය.එය යමකුගේ මානසික විශෝධනයට හේතු වන කදිම නොවිධිමත් මනෝ චිකිත්සාවකි. හුදු මානසික ගැටළු අර්බුද ලෙස හඳුනා ගත හැකි තත්වයන් අතීත සමාජය දැක ඇත්තේ මිනිසාට බාහිරින් එල්ල වන වස් දොස් ආදී වශයෙන් හැඳින්වෙන ගුප්ත බලවේග ලෙසිනි.එහි දෘෂ්ඨිමය අවුලක් ඇතත් ශාන්තිකර්ම නම් වන නොවිධිමත් මනෝ චිකිත්සාව ඊට ගැලපෙන ලෙස සැකසී තිබේ.
‘වරදවා හිතන්න එපා, එහෙම තමයි මේ ගරායකාගේ හැටි, මෙයා කියන සමහර කතාවලට අහගෙන ඉන්න අයට පොළොව පලාගෙන යන්න හිතෙනවා”.

එම ගරායක් ශාන්ති කර්මයෙන් පසු ඒ පිළිබඳ කළ ශාස්ත්‍රීය විවරණයේ දී විභාවි විජයශ්‍රී වර්ධනයෝ එසේ කීහ.එමෙන්ම එම ගරායකුම නිමා කළ පසු ඊට එක් වූ තරුණ මනෝ වෛද්‍ය වරියන් ඒ රංගන ශිල්පියාට අතට අත දෙමින් උනුසුම් ලෙස සුබ පතනු දුටු මනෝ වෛද්‍ය කපිල රණසිංහ කී දෙයක් මට තාමත් මතක ය.”කොහොමත් ගෑනු අය යක්කු එක්ක ටිකක් හුරතල් වෙන්න කැමතියි.මොකද යක්කු අපේ සංස්කෘතියෙන් පිට නිසා” මගේ විශ්වාසය අනුව මනෝ වෛද්‍ය කපිල රණසිංහ ගේ කතාව විහිළුවක්මත් නොවේ.පුරුෂ පක්ෂයට සාපේක්ෂව ශිෂ්ඨාචාර ලක්ෂණ ආරක්ෂා කිරීමේ වැඩි කාර්ය භාරයක් ගෙන හිඳන කාන්තාවන් තම සංස්කෘතික ධාරාවෙන් බැහැර විදේශයන් හිදී හා විදේශිකයන් හා සුහද වීමේ දී පවා තරමක් දුරට හෝ තම සංස්කෘතික අනන්‍යතාවයෙන් බැහැරව නිදහස් ස්වරූපයක් පළ කරන බව නොරහසකි.මනෝ වෛද්‍ය කපිල රණසිංහ කීයේ යකකු ඉදිරියේ ඔවුන් ගේ පාරාසය තවත් පුළුල් විය හැකි බවක් ද?
“ඒකා මහ වල් යකෙක්” ඇතැම් අශ්ලීල පිරිමින් සම්බන්ධයෙන් කන්තාවන් එසේ කියනු අපි අසා ඇත්තෙමු. එහෙත්,මෙහිදී ‘වල්’ යන වදන යෙදෙනුයේ අශිෂ්ට අසභ්‍ය, අශීලාචාර යන අරුත් හැඟවීමට වන අතර යකුන්ට ඒ වල් කම අදාල නොවේ.මක් නිසා ද යකුන් යනු ශිෂ්ඨාචාරගත සත්ව විශේෂයක් නොවන බැවිනි.එහෙත් යරා යකා කලු කුමාරයා ඇතුළු සමස්ත යක් සේනාව දෙස බැලුව ද ඒ කිසිවකුත් ශිෂ්ඨාචාරගත මිනිසුන් තරම්‘වල්’ නොමැති බව ඒකාන්ත සත්‍යයකි.

දළ කුමාර නමින් දේවත්වයක් ද හිමි ගරායකුගේ උප්පත්ති කතාවට ඔහුගේ මිනිසත් බව ලැබ සිටි සමයේ සමාජය විසින් දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින ම්ලේච්ඡ දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ය. එම කතා ප්‍රවෘත්තිය සැකෙවින් මෙසේ ය. දඹදිව දන්තපුරයේ රජකම් කළ බඹදත් රජුගේ පුත් සිංහ කුමාර රජුට සහ හංසවතී දේවියට ‘දළ’ නම් පුත් කුමරකු සහ දූ කුමරියක සිටියහ. නමුත් කෙදිනක හෝ මෙම දළ කුමරා තම එකම සොයුරිය, සංවාසයට පොළඹවා ගන්නා බව රාජකීය නිමිති බලන්නවුන් කී බැවින් එම මාපියෝ කුඩා කාලයේදීම එම කුමරිය මහ වනයේ ගල් ගුහාවක සිරකොට තැබූහ. එහෙත්, කෙමෙන් වයසින් වැඩෙන දළ කුමරුන්හට තම එකම සොයුරිය ගැන දැන ගන්නට ලැබී ඇය දැක ගැනීමට තමන් තුළ පවතින දැඩි ආශාව දෙමාපියන් හමුවේ කියා සිටියේය.නමුත් ඔවුන්ගෙන් ඒ සඳහා කිසිදු අවසරයක් හිමි නොවිණ. පසුව උපායශීලී ලෙසින් බොරු ලෙඩක් මවා පෑ දළ කුමරු තම දෙමාපියන් රවටා සිය නැගණිය හමුවූ අතර අතර නිමිති බලන්නවුන් පළ කළ අනාවැකිය ලෙසින්ම එම කුමරිය එවර දළ කුමරුන් වෙතින් දූෂණයට ලක් වූවා ය.

ඉන් මහත් චිත්ත පීඩාවට පත් කුමරිය ඇසල ගසක ගෙල වැළලා මිය ගිය මුත් එම ඛේදවාචකය දුටු සක් දෙවිඳුන් ඇගේ මළකඳ ශක්‍ර භවනයට ගෙන ගියේය. ඒ ඇය තම බඹසර වෙනුවෙන් කළ ජීවිත පූජාවට දක්වන උපහාරයක් ලෙසිනි. පසුව තම සොයුරියට කුමක් වූයේද? යන්න නොදත් දළ කුමරුන් මුළු සක්වළ පීරමින් ඇය සොයන්නට විය. අවසානයේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් කුමරියගේ මළ සිරුර දළ කුමරුන්ට පෙනෙන්නට සැලැස්වීය. ඉන්පසු ඉන් හටගත් චිත්ත පීඩාවෙන් මියගිය දළ කුමරුන් දේවත්වට පත් විය.එමෙන්ම එදා මෙදා තුර ඔහු ‘ගරා’ යන නමින් මිනිසුන්හට මුහුණ පෑමට සිදුවන ගෘහාශ්‍රිත ගැටලු, අර්බුද සමනය කරන්නට වූ බවද පැවසෙයි.ගරා යන වදන ගෘහමය යන්න හා සම්බන්ධ බව ද කියනු ලැබේ. ගරායකු පෙර මෙන් කාමාතුරයකු නොවී කාමුකත්ව ලෝලී යකකු වීමට හේතුව හේතුව ඔහු තුළ වූ එම දෝෂය දළ කුමර ආත්ම භාවයේදීම පහව ගිය නිසා බව ද සඳහන් ය. විශේෂයෙන් ඇස්වහ, කටවහ, දෝෂ දුරලීම, ගෙදර දොර සාමය, සතුට, සංහිඳියාව ඇති කිරීම පිණිස මෙම ගරායකුගෙන් මහත් මෙහෙවරක් සිදුවන බව පොදු ජන වශ්වාසයයි. පුරාණ භාරතයේ පැවැති යාග හෝම පරමාදර්ශ කරගත් ගම්මඩුව ඇතුළු ශාන්තිකර්ම සිදු කිරීම පිණිස සුදුසු විශේෂිත ප්‍රදේශවල ශුද්ධ භූමි සකසා ගැනෙන නමුදු ගරායකුම නම් ශාන්තිකර්මය සිදු කිරීම පිණිස එවන් ශුද්ධ භුමි සැකසීම අවශ්‍ය නොවේ.

ඒ යම් භූමි භාගයක ඇති කිළිකුණු කා දැමීමට ගරායකු හට සුවිශේෂ හැකියාවක් ඇතැයි යන ජන විශ්වාසය පෙරදැරිව ය. “ගරායකුම අනික් ශාන්තිකර්ම වගේ නෙවෙයි රදා තොටක, පිළීතොටක වුණත් නටන්න පුළුවන්”ගරායකුම සම්බන්ධයෙන් අතිශය ප්‍රසිද්ධියට පත්ව තිබූ අහංගම, කතළුව ප්‍රදේශයේ සාම්ප්‍රදායික යකැදුරෝ එසේ කියති.
“ගරායකා කුණුහරුප දෙපැත්ත කැපෙන වචන කියන එක වළක්වන්න මෙලෝ ජගතකුට බැහැ. නමුත් ගරායකා කියන්නේ වල් යකෙක් නම් නෙවෙයි. ඒකගේ වල්කම් තියෙන්නේ වචනවල විතරයි” ගරායකුගේ නිර්දෝෂීත්වය පළ කිරීම පිණිස කැපවී සිටින ඔවුන් වැඩිදුරටත් එලෙස පවසනුයේ අසත්‍යයක් නොවේ. එහෙත්, කැවුමක් සහ කෙසෙල් ගෙඩියක් අතින් ගෙන අයිලයට නගින ගරායකා ඒවා එකි`නෙක ගටමින් පවසන ස්ත්‍රී පුරුෂ කාම සම්භෝගය සම්බන්ධ කතා ප්‍රසිද්ධියේ අසා සිටීමේ අසීරුවක් ඇතත් ඒවා දැක බලාගනිමින් අසා ගන්නා ස්ත්‍රී පුරුෂ සැමගේ සියොළඟ කිති කැවීම මත ඔවුන් තුළ පවත්නා මොළයේ ජෛව රසායනික විෂමතා පහවී එමඟින් එතෙක් පැවති මානසික අර්බුද දුරු වීමේ පහසු අවකාශයක් තිබේ. ඒ කෙසේ හෝ ගරා යනු හුදු අහිංසකයකු මිස වල් යකකු නොවන බවත්, මෙරට ජනතාව තුළ ගරා සම්බන්ධයෙන් යම් ආදරයක්,අනුකම්පාවක් ඇති බවත්, වර්තමාන මධ්‍යම පාන්තික නිවාස ඉදිරියේ එල්ලා ඇති ගරායක් මුහුණුවලින් මනාව සනාථ වෙයි.

ඒ කෙසේ හෝ කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල්. සිල්වා නම් ගුරු භවතකු විසින් 1885 වසරේ රචනා කරන ලදුව 1909 වසරේ සිට ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව මඟින් පාසල් සිසුන්ගේ භාවිතය පිණිස නිර්දේශ කොට ඇත.සිරිත් මල්දම’ නම් උපදේශනාත්මක කාව්‍ය සංග්‍රහයෙහි එන 17 වන පද්‍යය මෙලෙසිනි.

නාඩගම් බැලුමට
විහිළු කෝලම් බැලුමට
යක් තොවිල් බැලුමට
නොයන් නොහොබින එවැනි තැනකට

එසේ වුවද, වචනයට පමණක් සීමාවූ ගරායකුගේ ඇතැම් ප්‍රකාශ මඟින් ගරායකුම ශාන්තිකර්මය නරඹන්නවුන්ගේ සිත් පිරිසිදු වන බවට ජන විශ්වාසයක් පවතී. එමෙන්ම නවීන මනෝ විද්‍යාවේ එන හාස්‍ය චිකිත්සාව(Humor Therapy) නම් මනෝ චිකත්සක ක්‍රමය හා යම් සබැඳියාවක් මෙම ගරායකුම තුළ ඇති බව එහි ව්‍යුහය සහ සනදර්භය සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. දරුපල අහිමි කතුන්ට දරුපල ලබා දීමට ද මෙම ගරායක් ශාන්තිකර්මය ඉවහල්වන බව පැවසෙනුයේ ඉන් පැවසෙන කාම රාගය පුබුදුවන ප්‍රජනනය සම්බන්ධ කාන්තාවන්ගේ මොළයේ ඇති ජෛව සායනික ව්‍යුහයට යම් සාධනීය බලපෑමක් සිදුවිය හැකි නිසා ද විය හැක.
මීට වසර කිහිපයකට පෙර ගණේමුල්ල ප්‍රදේශයේදී මා දුටු ගරායකුමක ඇදුරා සහ යක්ෂයා අතර පැවැති මේ දෙබස් ඛණ්ඩය කෙතරම් රසවත් දැයි බලමු. මෙය මා ලියූ ‘ඇස්වහ කටවහ’ කෘතියට ද ඇතුළත් කොට තිබේ.

ඇදුරා : තමුන්ටත් ගෑනු පරාණයක් දැක්කම ඉන්නම බැහැ වගේ. ඉබේටම ඇඟ නළියනවා නේද?
ගරායකු : ඔය ඇඟ කිව්වේ මොන ඇඟද ගුරුන්නාන්සේ (ලජ්ජාවෙන් මුහුණ සඟවමින්) අර…අර ඇඟද? ඒක නළියනවා විතරක් නෙවෙයි මට එක එක ඒවා හිතෙනවා.
ඇදුරා : මොනවද ඔය හිතෙන එක එක ඒවා.
ගරායකු : (ලජ්ජාවෙන් මුහුණ සඟවාගෙන) කියන්න ලැජ්ජයි.
ඇදුරා : එහෙනම් ලැජ්ජා හිතෙන කොටස අයින් කරලා අනික් කොටහ විතරක් කියනවා හොඳයි. මොකද මෙතැන ඉන්නේ බොහෝ වැදගත් අය.
ගරායකු : එහෙනම් මම කවියෙන්ම කියන්නද ගුරුන්නාන්සේ
ඇදුරා : එහෙනම් කියමු බලන්න.
ගරායකු : කොස්සින්නේ ඉඳන් ගණෙමුල්ලට පැමිණී-බස් එකෙ උන්නු ඒ සුදු නාඹර තරුණී
ඇදුරා : ඔය යස අගේට කියැවෙන්නේ හා හා කමක් නෑ කියමු බලන්න ඉතුරු ටිකත්
ගරායකු : ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ ගිලුණී-බස් එක පිටින් උස්සන් යන්නට හිතුණී

ඒ අනුව අද අපගේ කතා නායක ගරායකා අප ජන සමාජයේ වෙසෙන එවැනි ක්‍රියාවල යෙදෙන මිනිස් වෙස්ගත් අමනුෂ්‍යයන්ට වඩා සැබැවින්ම සොඳුරු අහිංසක යකෙකු බව පිළිගන්නට අපට සිදුවෙයි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය