මඳ සරු කතුන් ගැබ් ගන්වන ‘ගරා යකා’

‘‘ගරා යකා මිනිස්සුන්ට බොහොම හිතවත් යකෙක්. පවුල් ජීවිත වලට යහපත උදා කරන්න වගේම දරුවන් නැති බවලතුන් ගැබ්බර කරන්නත් ගරා යකාට පුළුවන් යන්න මෙරට පොදු ජන පිළිගැනීමකි.’’ සමාජයට වින කරන බව පැවසුණ ද අපට හිඳින යකුන් අතුරින් මිනිසුන්ට යහපත සලසන අමනුෂ්‍යයකු වශයෙන් ගරා යකා හැඳින්විය හැක. එමෙන්ම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සතුටට පත් කළ හැකි ගරා යකු වෙතින් මිනිසුන්ට පුද්ගල, පවුල්, ප‍්‍රජා සහ සමාජ වශයෙන් එල්ල වන සියලූ දොස් සමනය කරවාගෙන මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයේ සිට සමාජගත ජීවිතය දක්වා සතුට, සොම්නස, සෞභාග්‍යය උදාකර ගත හැකි බව ද ජන සම්මතයේ තිබේ. විශේෂයෙන් ගෘහ ජීවිතයට බලපාන වස් දොස් සේම කිලි කුණු ද ගරා යකු විසින් කා දමන බවට විශ්වාසයක් ද අප සමාජයේ ඇත. කතරගම සුරිඳුන් වල්ලී නම් ගැමි තරුණිය විවාහ කරගැනීමට පෙර ‘‘ගමනා’’ ලෙසින් වැදි මඟුල් මඩුවට පිවිසි ගරා යකු එහි තිබූ කිළි වශයෙන් ගත හැකි සියලූ සත්ව කොටස් කා දමා එම විවාහයට පාරිශුද්ධත්වය උදාකර දුන් බවට ජනශ‍්‍රැතියක් ඇතැයි ජයසේන කෝට්ටේගොඩ සූරීහු පවසති. එමෙන්ම මෙම ‘ගරා’ යන ශබ්දය ගෘහ යන සංස්කෘත වදන ‘ගරහ’ ලෙස ලිහිල් වී පසුව ගරා බවට පත්වන්නට ඇතැයි ද සමහරෙක් අදහස් දක්වති. ජන වහරට අනුව මෙම ගරා යකු වෙනුවෙන් සිදුකරන ගරා යකුම ශාන්ති කර්මය ‘‘කරා තොට’’ (ධීවර බිම්) සහ ‘‘රදා තොට’’ (රෙදි පිළි සෝදන ස්ථාන) ආදියේ නැටීමට කැප වීම තුළින් ගරා යකා සාමාන්‍ය ‘‘පොඩි මිනිහා’’ ගේ ද හදවත් දිනා ගත්තෙකු බව පෙනේ.
ඒ කෙසේ හෝ මෙරට ශාන්ති කර්ම අතුරින් ලිංගිකත්වය සහ ශෘංගාරය මුසුවූ මෙම ගරා යකුම ශාන්ති කර්මය කාන්තාවන්ගේ වඳ දෝෂ පවා දුරලීමට සමත් වන බවට ජන විශ්වාසයක් තිබේ. කාන්තාවන් තුළ කාමරාගය හෙවත් ලූබ්ධතාව (Libido) ප‍්‍රවර්ධනය වීම ශරීරයේ හෝමෝන කි‍්‍රයාවලිය හා සෘජුවම සම්බන්ධ වෙයි.
මෙම ගරා යක් ශාන්ති කර්මයේ දී වේගවත් ව පිබිදෙන හැඟීම් ආවේග අතරට බිය සේම ලිංගික සංවේදීතා ද අයත් වෙයි. ගරා යකුගේ කායික ශක්තිය මත පදනම් වූ රංගන විලාසයෙන් ඔහුගේ පුරුෂ ශක්තිය සංකේතනය වෙයි. එමෙන්ම ඔහුගේ ‘‘අයිලය පැදීම’’ නම් චලන කි‍්‍රයාවලිය ලිංගික සම්භෝගයක් සංකේතය කර වන්නකි. ගරා යකා ගේ කාය බලය, රංගනය සේම ඔහු ගේ ලිංගිකත්වය මුසු අසභ්‍ය සන්නිවේදනයන් ද මනැස තුළට ග‍්‍රහණය කරගන්නා කාන්තාවන් තුළ මනෝ ජෛවමය ප‍්‍රබෝධයක් හට ගැනීමටත් එමඟින් එතෙක් පැවැති හෝමෝන විෂමතා බිඳවැටී ඊස්ට‍්‍රජන් වැනි ලිංගික හෝමෝන කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමටත් යම් හැකියාවක් තිබේ. මඳ සරු කතුන් ගැබ් ගැන්වීමට ගරා යකාට ඇති හැකියාව පිළිබඳව අපගේ අවධානය යොමු විය යුත්තේ ඒ අනුවය. මඳ සරු භාවය ජෛවමය සංසිද්ධියක් වුවද ඇතැම් විට ඊට මනෝමය සාධක ද ඉවහල් වෙයි. නමුදු මෙබඳු යාතු කර්ම මඟින් ලිංගිකත්වය මුසු හාස්‍යයන් එළිදැක්වීම මුල්කොට එවන් මනෝමය ව්‍යාකූලතා දුරුවේ නම් එමඟින් එම කාන්තාවන්ගේ ලිංගික හෝමෝන කි‍්‍රයාකාරීත්වය යථාවත් කිරීමට ඇති හැකියාව තර්කානුකූලව බැහැර කළ නොහැක.
ඇතැම් විට බුරුල්ල අතු ද ආවරණ සේ යොදා ගනිමින් පොල් ලී ආදිය ද ආධාරක කොට සිටුවා ගන්නා ගොරොක් අතු දෙකක් මත හරස් ලීයක ආධාරයෙන් තනන ‘අයිලය’ මත නැඟී සිදුකරනු ලබන ගරා යකුගේ රැ`ගුම් පෑම එක් අතකින් ත‍්‍රාසයෙන් යුක්ත වූවකි. එමෙන්ම ශාන්ති කර්මය මෙහෙයවන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේ සමඟ අතිශය විනෝදමත් සංවාදයක යෙදෙන ගරා යකු ලෙස සමාරෝපණය වන නළුවා අනියමින් ලිංගිකත්වය හුවා දැක්වෙන වාගාලාප ඉදිරිපත් කිරීම මෙම ගරා යකුම ශාන්ති කර්ම වල සාමාන්‍ය සංසිද්ධියකි. මීට කලකට ඉහත ගණේමුල්ල ප‍්‍රදේශයේදී මා දුටු ගරා යකුමකින් මතුවූ මෙම දෙබස් ඛණ්ඩය ඒ සඳහා ගත හැකි කදිම සාක්ෂියක් වනු ඇත.

ගුරුන්නාන්සේ :දැන් ඔක්කෝම බලාගෙන ඉන්න හින්දා මෙතන වැදගත් විදිහට හැසිරෙන්ඩ ඕනෑ තේරුණාද?
ගරා යකු :(දුකින් මෙන්) මෙතන ඔක්කොම කට බලියං හිටියට මට ඉතින් ඔක්කොම පේන්නේ
නැහැනේ ගුරුන්නාන්සේ.
ගුරුන්නාන්සේ :ඒ මොකද ඔක්කොම පේන්නේ නැත්තේ? ඇස් කණ වෙලාද?
ගරා යකු :(සිනාසී) ඇස් කොහොමද තන වෙන්නේ? ඇස් තියෙන්නේ මෙහේ. (අනතුරුව පපුව ද
දක්වා) තන තියෙන්නේ මෙහේ.
ගුරුන්නාන්සේ :මම ඇහුවේ ඇස් තනවෙලාද කියලා නෙවෙයි. ඇස් කණවෙලාද කියලා. එහෙම නැත්නම්
ඉතින් මේ ඔක්කොම හොඳට පේන්න එපායැ.
ගරා යකු :(ලජ්ජාවෙන් සිනාසී) ඔක්කොම පේන්නේ කොහොමද ගුරුන්නාන්සේ, මේ හැමෝම ඇඳුම්
ඇඳලනේ ඉන්නේ. (කාන්තාවන් දක්වමින්) මේ … මේ ….

ගුරුන්නාන්සේ :එහෙම නම් දැන් තමුන්ට ඕනේ ඇඳුම් ඇඳලා නැති කෙනෙක් ද? එහෙම අය යක්කු අතරේ
මිසක් මේ මනුස්ස ලෝකේ නෑ තේරුණා ද?
ගරා යකු :ගුරුන්නානසේ දන්න ඉටිගෙඩිය තමයි. මොකද නැත්තේ? ඕනේ තරම් ඉන්නවා. හැබැයි
සමහර වෙලාවල්වලදී (කාන්තාවන් දෙසට හැරී) නැද්ද මෙයා?
ගුරුන්නාන්සේ :තමුන්ටත් ගෑනු පරාණයක් දැක්කම ඉන්නම බැහැ වගේ. ඉබේටම ඇඟ නලියනවා නේද?
ගරා යකු :ඇඟ කිවවේ මොන ඇඟ ද ගුරුන්නාන්සේ? නලියනවා විතරක් නෙවෙයි මට එක එක ඒවා
හිතෙනවා.
ගුරුන්නාන්සේ :මොනවද ඔය කියන එක එක ඒවා?
ගරා යකු :(ලැජ්ජාවෙන් මුහුණ සඟවා ගනී) කියන්න ලැජ්ජයි.
ගුරුන්නාන්සේ :එහෙනම් ලැජ්ජා හිතෙන කොටහා අයින් කරලා අනික් කොටහා විතරක් කියනවා හොඳයි.
මොකද මෙතන ඉන්නේ බොහොම වැදගත් අය.
ගරා යකු :එහෙනම් මං කවියෙන්ම කියන්න ද?
ගුරුන්නාන්සේ :එහෙනම් කියමු බලන්න.
ගරා යකු :කොස්සින්නේ ඉඳන් ගණෙමුල්ලට පැමිණි
බස් එකේ උන්නු ඒ සුදු නාඹර තරුණි
(ලැජ්ජාවෙන් ඇඹරෙයි)
ගුරුන්නාන්සේ :ඔය යස අගේට කියැවෙන්නේ, හා … හා… කමක් නෑ කියමු ඉතුරු ටිකත්.
ගරා යකු :ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ ගිලිණි
බස් එක පිටින් උස්සන් යන්නට සිතුණි

එමෙන්ම මෙම ගරා යකු ඉදිරියේ තබන ලද ගරා තටුවේ ඇති කැවුම් සහ කෙසෙල් ගෙඩි මුල්කර ගනිමින් ස්තී‍්‍ර සහ පුරුෂ ලිංගේන්ද්‍රියන් සම්බන්ධ දෙපිට කැපෙන කතා කීම ද මෙම ගරා යකුමේ ප‍්‍රධාන අංගයකි.
කෙසේ හෝ ලොව බොහෝ සංස්කෘතීන්හි සේම අප ජන සංස්කෘතියේ ද ලිංගිකත්වය යනු සශී‍්‍රකත්වය සහ සෞභාග්‍යය සංකේතය කෙරෙන්නක් බැවින් ගරා යකුමේ ඇති මෙබඳු අංග කෙරෙහි පොදු ජන විරෝධයක් එල්ල වන බවක් ද නොපෙනෙයි.
එහෙත් මිනිසුන්ගේ චිත්තභ්‍යන්තරයන් හි නිදි ගැන්වී ඇති ලිංගිකත්වය, ප‍්‍රචණ්ඩත්වය සහ භීතිය යන මූලික සත්ව ආවේගයන් පුබුදුවා පෞරුෂ, පවුල්, ප‍්‍රජා සහ සමාජ යන සාධක මත භාව විෂමතාවයනට පත් වූවන්ගේ භාවයන් සමතුලිත කෙරෙන මෙබඳු ශාන්තිකර්ම නැරඹීම බාලයන් විසින් නොකළ යුතු බවට ආකල්පයක් මෙරට බටහිර අධ්‍යාපනය ව්‍යාප්ත වීමත් සමඟ පැතිර යන්නට විය. කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල්. සිල්වා නම් ගුරුභවතෙකු විසින් 1885 රචනා කරන ලදුව 1909 වසරේ සිට ප‍්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව මගින් පාසල් සිසුන්ගේ භාවිතයට ගෙන ඇති ‘සිරිත් මල්දම’ කාව්‍ය සංග‍්‍රහයෙහි එන 17 වන මෙම පද්‍යය ඊට කදිම නිදසුනකි.

නාඩගම් බැලූමට
විහිළු කෝලම් බැලූමට
යක් තොවිල් බැලූමට
නොයෙන් නොහොබින එවැනි තැනකට

මෙම සිරිත් මල්දම පාසල් සහ පිරිවෙන් සිසුන්ගේ අතිරේක කියැවීම් පොතක් ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලදුව එය අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයක් ලෙස 1995 වසරේ සිට 2015 තෙක් පස් වතාවක්ම මුද්‍රණය කොට ප‍්‍රකාශයට පමුණුවා ඇත.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය