.චීන සමාගමේ පොහොර එපා කීවොත් දෙරටේ හොඳ හිත පළුදු වෙතැයි චීන තානාපති කියයි

චීන සමාගමේ පොහොර එපා කීවොත් දෙරටේ හොඳ හිත පළුදු වෙතැයි චීන තානාපති කියයි. චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බවට සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාට ලිපියක් එවා ඇතැයි අනාවරණය වේ.අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට බලපාන ලද කාරණා පිළිබඳවත්, මෙවැනි කටයුතු මගින් දෙරට අතර මිත්‍රත්වයට ගැටලු ඇතිවන තත්ත්වය පිළිබඳවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ. එමෙන්ම, දෙරට අතර විශ්වාසය නොබිඳෙන ලෙස කටයුතු කරන ලෙස ද එම ලිපියේ සඳහන් කර තිබේ.නමුදු මෙම ලිපිය රාජ්‍ය තාන්ත්‍රක සීමාවන් ඉක්මවා සිදු කෙරෙන අනියම් බලපෑමක් බව ඒ සම්බන්ධ විචාරක මතයයි.ඒහෙත් එම ලිපියට පිළිතුරක් යැවූ බව සඳහන් කළ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලපෑ තාක්ෂණික කාරණා පිළිබඳව චීන තානාපති කාර්යාලය දැනුවත් කළ බව ද කීය.
කෙසේ නමුත්,එම චීන සමාගමෙන් තවත් පොහොර සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.එම සමාගමෙන් මීට පෙර ගෙන්වන ලද පොහොර සාම්පල දෙකක් ශාක නිරෝධායන සේවය පරීක්ෂා කිරීමෙන් පසු ඒවා වගාවන් සඳහා භාවිතයට නුසුදුසු බව තහවුරු කෙරුණි. ඊට හේතුව වූයේ ඒවා ජීවානුහරණය නොකර තිබීමත්, අහිතකර බැක්ටීරියා අඩංගුව තිබීමත් නිසා ය.

කාලීන පුවත්