දශක පහකට පසු සඳ කරා මිනිසුන් රැගෙන ගිය ඓතිහාසික ‘ඇර්ටෙමිස් II’ මෙහෙයුම සාර්ථකව නිමා කරමින්, නාසා ආයතනයේ ඔරායන් යානය අද (11) අලුයම ආරක්ෂිතව පෘථිවියට පැමිණියේය. මෙහෙයුම් නායක රීඩ් වයිස්මන් සමඟ වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් සිවුදෙනා රැගත් මෙම යානය, මෙරට වේලාවෙන් අද අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් 6 වනදා සිය චන්ද්‍ර ගවේෂණ චාරිකාව ආරම්භ කළ මෙම පිරිස, දින 10ක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිටිමින් කිලෝමීටර 406,771ක (සැතපුම් 252,756) දුරක් ගමන් කරමින් මිනිසෙකු අභ්‍යවකාශයේ ගමන් කළ උපරිම දුර ප්‍රමාණය වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත් වූහ.
යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ පැයට කිලෝමීටර් 40,000කට වඩා වැඩි අධික වේගයකින් වන අතර, එහිදී හටගත් සෙල්සියස් අංශක 2,760ක පමණ දැඩි උෂ්ණත්වයෙන් ගගනගාමීන් ආරක්ෂා කර ගැනීමට යානයේ සවිකර තිබූ විශේෂ තාප පළිහ සමත් විය. තැඹිලි පැහැති ගගන ඇඳුමින් සැරසී සිටි ගගනගාමීන් පිරිස රැගත් කැප්සියුලය, පැරෂූට් ආධාරයෙන් සිය වේගය පාලනය කරමින් සාගරයට පතිත වූ මොහොතේ, නාසා බලධාරීන් සහ ඇමරිකානු නාවික හමුදාව විසින් ඔවුන්ව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. මෙම ‘ඇර්ටෙමිස් II’ මෙහෙයුමේ සාර්ථකත්වය, ඉදිරියේදී මිනිසුන් නැවතත් සඳ මත පය තැබීමට නියමිත ‘ඇර්ටෙමිස් III’ මෙහෙයුම සඳහා තැබූ තීරණාත්මක මෙන්ම දැවැන්ත පියවරක් ලෙස විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.