මිරිස් අක්කර භාගයකින් මිලියන 12 ක් ලද හැකි නම් ගොවියා දුගියකු වන්නේ කොහොමද?

තිරප්පනේ, පුලියන්කුලම ප්‍රදේශයේ ගොවි මහතකු මිරිස් අක්කර භාගයකින් මිලියන 12 ක ආදායමක් ඉපැයීමට සමත් වූ බවට පුවතක් පසුගිය දිනවල මාධ්‍යවල දක්නට ලැබිණි. මේ ගොවි මහතා ඇතුළු එම ප්‍රදේශයේ වගා කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත් තවත් ගොවි මහතුන් 80 දෙනෙකු අගැයීමේ කටයුත්තක් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක පවත්වන ලද බව ද එම පුවතේ සඳහන් විය. සැබවින්ම මෙය අප රටේ ගොවි මහතුන්ට ධනාත්මක සහ ඵලදායි පුවතක් වනු නො අනුමානය.

මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු යැයි කියමනක් ඇතත් අපට මතකයේ ඇති කාලයක සිට නිතරම ඇසෙන්නේ ගොවීන්ගේ දුක් අඳෝනාවන්ය. සිය කණකර උකස් කර ගොවිතැන් කටයුතු කිරීම, වලා පාලු වීම, අතරමැදියන් විසින් ගසා කෑම, මේ ආදී විවිධ දුක්කම්කටොලු අටෝරාශියක් නිසා ගොවීන් වස බී මිය යාම වැනි කරුණු අප බොහෝ කාලයක සිට අසන්නෙමු. ඉතා කුඩා බිම් ප්‍රමාණයකින් මිලියන ගණනින් ආදායම් උපයන ගොවීන් පිළිබඳ අසන්නට ලැබෙන්නේ මේ අතරවාරයේය. විවිධ දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය ආදිය පවා ගොවීන්ගේ අකල් මරණ, ඔවුන්ගේ දුක්බර කතා නිතර නිතර ජනතාව හමුවේ ගෙන හැර දක්වන්නට උත්සුක වනවා විනා මෙවැනි මිලියනපතියන් වන ගොවීන්ගේ කතා ජනතාව හමුවේ තබන්නට උත්සුක වනවා පෙනෙන්නට නැත. ගොවීන්ගේ ගැටලු පිළිබඳ කතා නො කළ යුතු බව මෙයින් අදහස් කරන්නේ නැත. ඒවා පිළිබඳ කතා කරන අතරේ ඔවුන්ට ජීවිතය ජය ගැනීම සඳහා මෙවැනි කාරණා පිළිබඳ ද ඔවුන්ව දැනුවත් කළ යුතුය.

දිනෙන් දින වර්ධනය වන ජනගහනය හමුවේ ලෝකයේ ආහාර අර්බුදයක් ඇතිවීම වලක්වාගනු පිණිස හරිත විප්ලවය ආරම්භ කළ දින සිට නවීන තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීමේ ප්‍රවණතාවක් ලෝකයේ ඇති වුණි. අප අසල්වැසි ඉන්දියාවේ පවා අපට වඩා ඉතා උසස් කෘෂිකාර්මික තාක්ෂණයක් පවතී. නමුත් අප රටේ තත්ත්වය එයට වඩා හාත්පසින්ම වෙනස්ය. එසේ හෙයින් මෙවැනි මිලියනපතියන් බවට පත් වන ගොවීන් පූර්වාදර්ශ කර ගනිමින් සිය වගා කටයුතු කර ගෙන යාමට අප රටේ සෙසු ගොවීන් දිරිමත් කළ යුතුය. ඇතැම් විට මේ පුවත පිළිබඳ උපහාසාත්මක ව බලමින්, “මොන පිස්සුද මිරිස් අක්කර භාගයකින් කොහේද ඔය තරම් ආදායමක් ගන්නේ. අපිත් පුරුදු වෙන්න ගොවිතැන් කරන මිනිස්සු නෙවෙයිනේ. අපි දන්නවානේ ඔහොම කරන්න පුළුවන්ද බැරිද කියන එක” වැනි අදහස් දරන බහුතරයක් අපේ රටේ සිටින බව කිව යුතුය. මුලින්ම කළ යුත්තේ ඔවුන්ගේ සැකය දුරු කිරීමය. එහි දී කෘෂිකර්මයට සම්බන්ධ රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවලටත්, ජනමාධ්‍යයටත් ඇත්තේ දැඩි වගකීමකි. මේ ගොවි මහතුන් හමු වී සැබවින්ම මේ පුවතේ සඳහන් කාරණය නිවැරදි ද, නිවැරදි නම් ඔවුන් අනුගමනය කළ ක්‍රමෝපායයන් මොනවාද ආදිය පිළිබඳ අනාවරණය කළ යුතුය.

මේ පුවතේම යම් පමණකින් මේ ගොවීන් අනුගමනය කළ තාක්ෂණික උපාය මාර්ග නාමිකව සඳහන් කොට තිබිණි. එනම් අධි ඝනත්ව වගා ක්‍රමය(High Density Planting), ඩබල් රෝ වගා ක්‍රමය (double row planting system), විසිරි හා ජල බිංදු තාක්ෂණය ආදියය. නිසැකවම මේ ක්‍රම පිළිබඳ එකී ගොවීන්ව දැනුවත් කරන්නට ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය හෝ කෘෂිකර්මයට සම්බන්ධ කුමන හෝ රජයේ ආයතනයක් විය යුතුය. එවිට පැන නගින ප්‍රශ්නය වන්නේ මේ සා දුක් ගින්නක් උසුලන ගොවීන් සිටින රටක එකී ගොවීන්ට ද මේ තාක්ෂණයන් හඳුන්වා දී ඔවුන්ට ජීවිතය ජයගන්නට රජයයක් ලෙස කටයුතු කිරීම පමා කරන්නේ මන්ද යන්නය.

මෙහි සඳහන් ඩබල් රෝ ක්‍රමය පිළිබඳ සොයා බැලීමේ දී පෙනී යන්නේ එය මහා හෝ සුළු පරිමාණ හෝ ඕනෑම අයෙකුට අනුගමනය කළ හැකි සරල තාක්ෂණයක් බවය. මෙය Paired-Row Planting නමින් ද හඳුන්වනු ලබයි. මෙය ඉතා සරල, කිසිදු වියදමක් නො දැරිය යුතු වගා ක්‍රමයකි. මෙහි දී යම්කිසි භෝගයක් අඟල් 8 ක පමණ පරතරයකින් යුක්තව පේළි දෙකක් ලෙස සිටුවීම සිදු කරයි. මෙවැනි පේළි දෙකේ ඒවා දෙකක් අතර තනි පේළියක් වෙනුවෙන් තැබිය යුතු ඉඩක් ඉතිරි කරයි. රූප සටහන බැලීමෙන් ඒ බව හොඳින් පැහැදිලි වෙයි. එහි දී එකම ඉඩක් තුළ එකවර දැමෙන පොහොර, ජලය ආදියෙන් එකී භෝග වර්ධනය වන අතර අස්වනු නෙළීමේ දී පේළි දෙකෙහි ඕනෑම පැත්තක සිට පහසුවෙන් එකී කාර්යය කර ගැනීමට ද පුළුවන.

අධි ඝනත්ව වගා ක්‍රමය ද එසේමය. එහි දී වැඩියෙන් ඵල දරන භෝග යම්කිසි ක්ෂේත්‍රයක ඉතා සමීපව සිටින සේ වගා කිරීම අදහස් කෙරේ. එය ද රූප සටහන බැලීමෙන් අවබෝධ කර ගත හැකිය. එහි දී සිදු වන්නේ එක් භූමි ප්‍රමාණයක් තුළ සාම්ප්‍රදායිකව සිටුවන්නේ ගස් 10ක් නම් එ් වෙනුවට ගස් පනහක් සිටුවීමය. එහි දී විශාල උඩුවියනක් ඇති වන සේ ගස් සිටුවීම සිදු වේ.

මේ කරුණු ඉදිරිපත් කරන්නේ මේ උපක්‍රමයන් අනුගමනය කිරීමට ඉතාමත් පහසු, අතිරේක වියදමක් නො දැරිය යුතු ඒවා බව තහවුරු කිරීම සඳහා පමණි. එබැවින් සැමදා දුකේ ගැලී සිටින ගොවීන්ව එක්කෝ මේවා පිළිබඳ දැනුවත් කළ යුතුය. ගොවි ජන සේවා මධ්‍යස්ථාන තිබෙන්නේ ඒ සඳහා ය. අනෙක් අතට ගොවීන් මේ සඳහා උනන්දු විය යුතුය. අප රටේ බහුතරයක් පුරුදු වී ඇත්තේ යමක් අතට ගෙනැත් කටට දමන තුරු බලා සිටීමටය. රට පාලනය කරන්නේ කවුරු වුව ද, තමන් උත්සාහ කරන්නේ නම් දියුණු වීම දුෂ්කර නොවන බව සඳහන් කළ යුතු දෙයකි. මෙවැනි නවීන ක්‍රම පිළිබඳ ගොවීන් සොයා බලා ඒ පිළිබඳ තොරතුරු අදාළ ආයතනවලින් ලබා ගත යුතුය. බොහෝ දෙනෙක් තමා මෙතෙක් අනුගමනය කර ගෙන ආ ක්‍රම අතහරින්නට කැමති නැත. නව උපක්‍රමයන්, තාක්ෂණයන් දෙස බලන්නේ වපර ඇසිනි. ඉන් පසු කුමන හෝ දේශපාලන පක්ෂයක්, ජනමාධ්‍යයක් ඔවුන් හමුවට පැමිණි පසු දුක් අඳෝනා පමණක් ගෙන හැර පෑම සිදු වෙයි. නව ලෝකයත් සමග ඉදිරියට ගමන් කරන්නට කැමැති සුළු පිරිසක් ගොවිතැන දියුණු කර ගනිමින් මිලියනපතියන් බවට පත් වෙති. රජය කළ යුත්තේ එවැනි ගොවි මහතුන් සොයා දිරිදීමය. නමුත් ඒ වෙනුවට ගොවීන් සිය උත්සාහයෙන් මිලියනපතියන් බවට වෙද්දී බදු ෆයිල් ඔසවාගෙන ඔවුන් පසුපස ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් හඹා යන්නට වුව ඉඩ තිබෙන බවය. අපේ රටේ එවැනි අමන ක්‍රියාවන් සිදුවුව ද එහි පුදුමයක් ද නැත.

සාම්ප්‍රදායිකත්වයෙන් මිදුණු, නව තාක්ෂණය සොයා යන්නට සිය ආකල්ප වෙනස් නොකරන තාක් ගොවියාට සිදු වන්නේ දුක් අඳෝනා නගමින් සිට අවසානයේ වස බොන්නටය. එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම කෘෂිකර්මය සම්බන්ධ ආයතනවල යුතුකම සේ තමා එවැන්නෙක් බවට පත් නොවී සිටීම ගොවි මහතුන්ගේ වගකීමක් ද වන්නේය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර