රිලවුන් චීනයට යවන්න ඉඩ දෙන්න අකමැති නම් ගෙවල් වලට අරන් යන්න කියන කතාව සාධාරණ ද?

 

ජනතාව අතර කතාබහට ලක්වන මාතෘකා දවසින් දවස අලුත් වී පැරණි මාතෘකා යට ගොස් ඒවා අමතක වී ගිය ද ගැටලුව අවසන් වූ බව එයින් පැවසෙන්නේ නැත. අප රටේ රිළා ප්‍රශ්නය ද එසේ ය. පසුගිය කාලයේ ඉතා ඉහළින් කතාබහට ලක් වුණු එය දැන් කිසිදු හඬක් නොමැති දෙයක් බවට පත්වෙමින් තිබෙන බැව් පෙනේ. එසේ වී ඇත්තේ රිළවුන් නිසා අප රටේ ඇතැම් පළාත්වල මිනිසුන්ට විඳීන්නට සිදු වී ඇති කරදර අවසන් වීම නිසා නොවේ. ගැටලුව තවමත් එසේම ය. මේ ගැටලුවෙන් මිදීම සඳහා විසඳුමක් ලෙස ලක්ෂ ගණනින් රිළවුන් පිටරටකට පිටුවහල් කිරීම එකම විසඳුම සේ පෙනෙන්නට පටන් ගෙන තිබේ. මේ නිසා රිළවුන්ගේ අයිතිවාසිකම් කප්පාදුවට ලක් වන බව පැහැදිලි ය. මෙය වලක්වාලමින් වන සත්ත්ව මණ්ඩලයට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සත්ත්ව ආරක්ෂණ සංවිධාන පෙත්සමක් ගොනු කරනු ලැබිණි. මේ සම්බන්ධයෙන් ලබන 19 වැනිදාට අධිකරණයේ කරුණු දැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලයට එරෙහිව නොතිසීයක් පසුගිය 11 වැනිදා නිකුත් කරනු ලැබිණි.

රිළවුන් වෙනත් රටකට යැවීමට එරෙහිව සත්ත්ව ආරක්ෂණ සංවිධාන ඇතුළු තිස්දෙනෙක් පෙත්සම් ගොනු කොට ඇති අතර එහිදී අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා නොතිසී නිකුක් නිරීම කරනු ලැබිණි. පෙත්සම්කරුවන් අතර ලංකා වනජීවී ආරක්ෂණ සංගමය, පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන, මාතර මහින්ද හිමියන්, ඔටාරා ගුණවර්ධන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. වගඋත්තරකරුවන් ලෙස නම්කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිිනේෂ් ගුණවර්ධන ඇතුළුව අමාත්‍ය මණ්ඩලයයි.

මේ පෙත්සම්වලින් රිළවුන් වෙනත් රටකට පිටුවහල් කිරීමට එරෙහි යම් නෛතික බාධාවක් ඇති කරන්නට සමත් වුව ද එයින් ගැටලුව සහමුලින්ම විසඳේ යැයි සිතන්නට පුළුවන් කමක් නැත. රිළවුන් මේ සා ගැටලුවන් බවට පත්කරන්නට තරම් බලපෑ හේතු අප සොයා යා යුතුය.

මෙයට පළමු හේතුව වන්නේ අතීතයට සාපේක්ෂව ඔවුන්ගේ ස්වාභාවික වාසභූමි අවප්‍රමාණ වීම ය. දෙවැනි කාරණය වන්නේ ඊට සාපේක්ෂව මානව ජනාවාස වැඩිවීම ය. අඩු වනගහනයක් තුල වැඩි මානව ජනාවාස අතරේ මොවුන් අතරමංවීමක් දක්නට ලැබිණි. මේ හේතුව නිසා රිළා ගහනයන්ගේ දුරස්තරභාවය අඩුවීම තුළ, නොඑසේ නම් රිළා ගහන ඝනත්වය වැඩිවීම තුළ ඔවුන්ගේ ප්‍රජනනය වැඩි විය. මෙය ස්වභාවිකවම සිදුවන දෙයකි. රිළවුන්ට පමණක් නොව හැම සතෙකුටම බලපාන දෙයකි. කලින් දකින්නට නොලැබුණු ඉත්තෑවුන්, මොණරුන් වැනි වගාවන්ට හානි කරන සතුන් මිනිස් ජනාවාස අතර ශීඝ්‍ර වර්ධනයක් වීම දක්නට ලැබීම සුලභ දෙයක් බවට පත්ව තිබේ. එසේ වර්ධනය වීම ඔවුන්ගේ සාධනීය ලක්ෂණයක් නොව එය ඔවුන්ගේ වඳවී යාමට ආසන්න ලක්ෂණයකි. ‘සොබා දහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය’ හෙවත් IUCN (International Union for Conservation of Nature) සංවිධානයට අනුව මැකේක් වර්ගයට අයත් රිළවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වූ විශේෂයක් බවට නම්කොට තිබෙන අතර රතු දත්ත ලැයිස්තුවේ ද මෙය අන්තර්ගත ය. ඔවුන් මේ දත්ත ඉදිරිපත් කරනුයේ හුදෙක් හිතලුවක් ලෙස නොව වඩාත් විධිමත් ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි. අනෙක රිළවුන් බෝ වීමේ සියලු සාධක එසේම තිබිය දී මොවුන් ලක්ෂයක පමණ ප්‍රමාණයක් එකවර පිටුවහල් කිරීම රිළවුන්ගෙන් සිදුවන හානියට විසඳූමක් ලෙස සඳහන් කළ නොහැකි ය. එය සැරව සහිත තුවාලයකින් සැරව ඉවත්කිරීමකට වඩා හොඳ විසඳූමක් නොවේ. සැරව ඉවත් කළ ද තුවාලය එසේම පවතී. රිළා ගැටලුව ද එසේම ය.

රිළවුන් මෙසේ වෙනත් රටකට යැවීම සත්ව හිංසා පනතට සහ වන සහ වෘක්‍ෂලතා පනතට පටහැණි මෙන්ම නීතීවීරෝධී ක්‍රියාවක් බව ද පෙත්සම්කරුවෝ කියා සිටිති.

මේ නිසා මෙයට කල් නොයවා ක්‍රියාත්මක කළ යුතු විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුව තිබේ. විද්‍යුත් කම්පන තරංග යොදා රිළවුන්ගේ පැමිණීම වැළැක්වීම වැනි කෙටි කාලීන උපක්‍රම මෙන්ම ඔවුන්ගේ බෝ වීම අඩුකිරීම සඳහා දිගුකාලීන විද්‍යාත්මක ක්‍රමවේදයන් ද ඇති කළ යුත් වේ. ඒ හැර මොවුන් වෙනත් රටතට පිටුවහල් කිරීම ස්වාභාවික යුක්තියට එකඟ වන්නක් ද නොවේ. රිළවුන් ද අප ද අයත් සත්ත්ව සංහතියේම කොටසකි. ඔවුන්ගේ ජනගහනය මේ සා ප්‍රමාණයක් වැඩිවන සේ කටයුතු කළෝ මිනිසුන් වූ අපම ය. එසේ කොට ඔවුන්ව පිටුවහල් කිරීමට තීරණ ගැනීම තුළ ඇත්තේ යුක්ති සහගත තත්ත්වයක් නොවේ.

රිළවුන් වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ට එරෙහිව සමාජ මාධ්‍ය සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ යම් යම් පහර ගැසීම් සිදුවන බව පෙනෙන්නට තිබේ. බොහෝ දෙනෙකු පවසන්නේ රිළවුන් චීනයට යවන්නට අකැමැති නම් ඔවුන් වෙනුවෙන් කතා කරන අයගේ නිවෙස්වලට ඔවුන්ව බෙදා දීමට කටයුතු කරන ලෙස ය. මෙය වූ කලී හුදෙක් මිනිස්කම් නොහඳූනන, අඥාන සහ අනුවණ කතාවක් මිස වෙන කිසිවක් නොවේ. එය අනුවණ කතාවක් බව මේ මිනිසුන්ට වැටහෙන්නේ තව වසර ගණනාවක් ඉදිරියට ලෝකයට කළ පසුව ය. එවිට පෙරහැර ගොස් හමාරය. එබැවින් රිළවුන් චීනයට යැවීමට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරමින් මිනිසුන්ගේ පාර්ශ්වයෙන් මේ සතුන් වෙනුවෙන් කතා කරන්නට දිරියක් තිබූ ඔවුන්ට අපගේ ගෞරවාදර ස්තුතිය හිමි විය යුතු ය. රිළවුන් ද සතෙකි. මිනිසා ද සතෙකි. මිනිසාගේ වෙනස ඔහුට උසස් මනසක් තිබීම ය. උසස් මනසක් තිබූ පමණින් තමන්ගේම වර්ගයාගෙන් එකෙක් පිටුවහල් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර