ලණු වලින් බැඳපු අලි සහ කුකුල් පැටව් වගේ රාජාලියෝ – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අලි ඇතුන් කියන්නේ සාමාන්‍යයෙන්  සද්දන්ත ශක්තිමත් සත්ත්ව කොට්ඨාශයක්නෙ නේද?
දවසක්  එක මිනිහෙක්  දැක්කලු ඇත්ගොව්වෙක්  හීනි ලණුවකින් බැඳලා විශාල අලි කීපදෙනෙකුම දක්කගෙන යනවා. මෙම යෝධ අලින්ව  ඉස්සරහා කකුලෙ  බැදපු    පොඩි ලණුවකින් තමයි ඇත්ගොව්වා පාලනය කරගෙන අරගන ගිහින් තියෙන්නෙ.
පුදුම වෙලා අර මිනිහා ඇත්ගොව්වාගේ මෙහෙම ඇහුවලු
“මේක නිකං  මටත් අතින්  ඇදලා  කඩන්න පුළුවන්  පොඩි ලණුවක්නෙ.
කොහොමද ඔබ  මෙච්චර හීනි  ලණුවලින් මේ  මේ තරම්  ශක්තිමත් අලින්ව පාලනය කරන්නේ? එක අලියෙකුවත් මේ ලණු කඩා දාලා   නිදහස්වෙන්න  හදන්නෙ නැද්ද..?”
එතකොට ඇත්ගොව්වා මෙහෙම  පිළිතුරු දුන්නලු
 ” මේ සත්තු පුංචි කාලේදි අපි  බඳින්නේ මේ වගේ   හීනි ලණුවලින්.  පොඩි කාලෙදී මේවා කඩාගන්න අලි පැටවුන්ට ශක්තියක් නැහැ. ..ඒත් ටික ටික වැඩෙනකොට ඒගොල්ලෝ හිතන්නේ ඒ ගොල්ලන්ට ඒ ලණුව කඩාගෙන යන්න බැහැ කියලා. .ඒගොල්ලන්ගෙ ශක්තිය ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ, ලණුවේ දුර්වලකම ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ. පුරුද්දට වගේ පුංචි  ලණුවට හිලෑ වෙලා ඉන්නවා.
මේ කතාව කිව්වෙ ඇයි දන්නවද?
 අපිත් සමහරවිට මේ අලි වගේ තමයි වැඩ කරන්නේ. අපි කොච්චර ශක්තිමත්ද කියලා අපිම දන්නේ නැහැ. මෝඩ විදිහට අපි අපේ දක්ෂකම් වලට, හැකියාවන් වලට, ශක්තීන් වලට  හිතෙන් මවාගත්තු සීමාවන් දාගෙන,  ඒවා බිඳ ගෙන කඩාගෙන දියුණු    වෙන්නේ නැතුව නිකං දුක් විඳිනවා. එක තැන පල් වෙනවා.
මේකට ප්‍රධාන හේතුව තමයි අපි පොඩි කාලේ අපේ යටි හිතට අපේ සමාජ වටපිටාවෙන් කවලා තියෙන සෘණාත්මක සිතුවිලි.
 ‘අපි ඉතින් දුප්පත්    මිනිස්සුනේ…  අපේ දෙමව්පියෝ එච්චර උගත් නෑනේ… අපිට ඉතිං දේපල   එහෙම ලොකුවට නෑනේ…අපි ඉතින් වැඩිදුර ඉගෙන ගත්තෙත් නෑ නේ..’  මෙන්න මේ වගේ කිසිම පදනමක් නැති ඍණාත්මක සිතුවිලි පුංචි කාලේ ඉඳලම  යටි  හිතට කැව්වා ම අපිට ඒවලින් ගැලවෙන්න හරි අමාරුයි. ඇත්තටම ඉතාම ලේසියෙන්  ඒ  නැති බැරිකම් ගැන කියන සෘණාත්මක  සිතුවිලි කඩා බිඳ දාලා    නිදහස් වෙලා   ධනාත්මක සිතුවිලි වලින් හිත පුරවා ගන්න   පුළුවන් කියලා අපි හිතන්නෙවත් නෑ.
අපිට හිතන්න බැරි තරම්   දියුණු වෙන්න පුළුවන්,  ඉතා උසස් ඉලක්කවලට  යන්න පුළුවන්, කියලා අපට මතොහොතකවත් හිතෙන්නේ නැත්තේ අපේ මේ යටිහිතේ ඉඳගෙන අපිව මෝඩ  කරල අපිවම පාලනය කරන අපගේ ම දුර්වල සිතුවිලි හින්දා.
අර අලින්ව බැඳල තිබුණු දුර්වල ලණු පොටවල් වගේ,  දියුණු වීමෙන් වළක්වා ඔබව  ඇද බැද තබා තිබෙන දුර්වල නැති බැරි මානසිකත්වය කඩා බිඳ දමන්න මේ මොහොතේ තීරණයක් ගන්න.     හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා තීරණය කරන්න. දුප්පත්කමවත්, නූගත්කමවත්, ලොකු ලොකු බලවතුන් සමග   හිතවත්කම් නෑදෑකම් කිසිම දෙයක් නැති   උනත්  ඔබට දියුණු වෙන්න බැරි කමක් නැහැ.   අවශ්‍ය වන්නේ ඔබේ සිතිවිලි වෙනස්  කරගැනීම විතරමයි.
තවත් පුංචි  කතන්දරයක් තියෙනවා  , මේකත් මතක තියාගන්නකෝ.
 දවසක් එක ගොවිපලක ගොවියෙකුට ගහකින් වැටිච්ච කුරුලු කූඩුවක් හමුවුණා .ඒකෙ බිත්තරයක් තිබුණා.ඒ  බිත්තරය රාජාලියෙකුගේ   බිත්තරයක්.
මේ ගොවියා ඒ බිත්තරය අරගෙන ගිහින් බිත්තර රකින කිකිලියකගේ උණුසුම් යටින් තිබ්බා.
දින කිහිපයකට පසුව  රාජාලියෙකුගේ පැටියෙක්   බිත්තරෙන් එළියට ආවා.
ඊට පස්සේ අනිත් කුකුල් පැටවුන් සමග මේ     රාජාලි   පැටියා ටික ටික වැඩුණා.
දිගින් දිගටම කුකුල් පැටවුන් ඇසුරේ හිටපු නිසා රාජාලි පැටියත් කුකුල් පැටවුන්ගේ  ජීවන රටාවට පුරුදු වුණා . පොළොව දිහා බලාගෙන අහුල කන්න පුරුදු වුණා. අහස දෙසට නෙත් යොමු වුණේම නැහැ.
ඒත් එක දවසක් අහම්බෙන් වගේ අහස බැලුවම  මේ පැටියා දැක්කා රාජාලියෙක් පියාඹනවා.
ඒක දැකලා මේ පැටවා හිතුවා අනේ අර රාජාලියා මොනතරම් තේජවන්ත ද.. මොන තරම් ශක්තිමත් ද.. මොන තරම් බලවත්ද ! අනේ මමත් රාජාලියෙක් වුනා නම් කොච්චර දෙයක්ද කියලා..
 බලන්න! තමන් රාජාලියෙක් බව ඒ පැටියට තේරුන් නැත්තේ ඔහු හිටපු පරිසරය රාජාලින්ගේ පරිසරයක් නොවන නිසා. මහපොළොව දෙස බලනවා මිසක් අහස දිහා බලන්නට තරම් අවශ්‍යතාවයක් දක්ෂතාවක් ඔහු ඇසුරු කළ කුකුල් පැටවුන්ට නොතිබුණ නිසා.
ඔබ තුළලත් රාජාලියෙක් ඉන්න බව තේරුම් ගන්න.මහපොළොව  මත සිටියත් ඈත අහසේ පියාඹන්නට හැකි ශක්තිමත් දක්ෂ පුද්ගලයෙක් ඔබ තුළ සැඟව ඉන්න බව අවබෝධ කරගන්න.
සමහරවිට ඔබේ ජීවිත ගමන කටුක වෙන්න ඇති. අභියෝග වලින් පිරිල  තියෙන්න ඇති.ඔබ බොහෝ දුක් විඳලත් ඇති. ඒ නිසාම   ඔබටම  නොදැනී රාජාලියෙකුගේ,   පන්නරය ඔබ ලබා ඇති. ඔබ අතීතයේ කෙතරම් අසාර්ථකත්වයන් අත්විඳ ඇතත්, නොපසුබටව සිටීම සහ කිසිදා අත් නොහැරීම ගැන සතුටු වෙන්න…
දුෂ්කරතා මැදින් මෙතෙක් ආ ජීවිත ගමන ජය ගැනීමට තරම් ශක්තිමත් වීම ගැන  ඔබට ආඩම්බර විය හැකියි.
ඔබ ඔබේම ජීවන සැලැස්මක් සැලසුම් නොකරන්නේ නම්,
ඔබ වෙනත් කෙනෙකුගේ සැලැස්මට වැටෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ නිසා අර දුර්වල ලනු වලින්  බැඳපු අලි වගේ සීමිත අදහස්වලින් සෘණාත්මක අදහස්වලින් ඔබේ දැවැන්ත ජීවිතය අපරාදේ බැඳ තබන්න එපා.
 රාජාලියෙක් වගේ දැවැන්ත දියුණුවක් ලබන්න  පුළුවන්කම,  අහස අල්ලන්න පුළුවන්කම තියෙද්දි, කුකුල් පැටියෙක් වගේ සීමිත සෘණාත්මක සිතුවිලි  තුළ ජීවත් වෙන්න එපා.  බැහැ බැහැ කියලා සෘණාත්මක සිතිවිලි සහිත පුද්ගලයින් කියන කිසිවකට සවන් දෙන්න එපා .ඔබ  තුළ දක්ෂ රාජාලියෙක්, දැවැන්ත හස්තියෙක් ඉන්න බව  මතක  තියාගෙන  ක්‍රියාත්මක වෙන්න.
ඔබට පුළුවන්!
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
ඉරා අදුරුපට