කාන්තාවන් අතර සුලබ උරහිසේ වේදනාව

උරහිස එහා මෙහා කරන්නටත් බැරි තරමට වේදනා ගෙන දෙන තත්ත්වයකට ඔබත් කවදා හෝ මුහුණ දී තිබේද ? එසේ නම් එය බොහෝ විට ෆ්රොසන් ෂෝල්ඩර් ( frozen shoulder) නම් රෝග තත්ත්වය විය හැකිය. මෙය වයස අවුරුදු හතලිහ ඉක්මවූ කාන්තා පාර්ශවය අතර සුලභ රෝගී තත්ත්වයකි.

ඇඩිසිව් කැප්සුලයිටිස් ( adhesive capsulitis ) යන නමින් ද හැඳින්වෙන මෙම රෝගය වැළඳීමට නිශ්චිත හේතුවක් හඳුනා ගෙන නැත. නමුත් දියවැඩියා රෝගීන්ට මෙය වැළඳීමේ වැඩි හැකියාවක් ඇති බව සොයාගෙන තිබේ. මේ හැරුණු විට දීර්ඝකාලීනව අතේ චලනය සීමා කරන්නට සිදු වූ sholder immonilization රෝගීන් අතර මෙන්ම සන්ධි ඉදිමීමකට හෝ ශල්‍යකර්මයකට ලක් වීමෙන් පසුවද කෙනෙකුට frozen shoulder වැළඳීමේ යම් හැකියාවක් පවතින බව හඳුනාගෙන ඇත.

මෙම රෝගයෙහි ප්‍රධාන ලක්ෂණ වන්නේ උරහිසේ දැඩි බව, වේදනාව සහ උරහිසේ චලන පරාසය අතිශයින් සීමා වෙමින් එය 25 % ක් හෝ ඊට වඩා වැඩි වීම යන මේවාය.
උරහිසේ වේදනාව නොයෙකුත් හේතු මත ඇති විය හැකිය. එම වේදනාවට හේතුව frozen shoulder රෝගය ද, නැතහොත් rotater cuff injury, bursitis වැනි රෝග තත්ත්වයක් ද, නොඑසේ නම් අස්ථි බිඳීමක්, අස්ථි පැනීමක් හෝ වෙනත් උරහිසේ ආබාධයක්දැයි නිශ්චිතවම හඳුනාගත යුතු වීම ඉතා වැදගත් වේ. ඊට හේතුව frozen shoulder රෝග තත්ත්වයේ දී සිදුකරන ප්‍රතිකාර ක්‍රමවේදයන් උරහිසේ වේදනාව පවතින අනෙකුත් රෝගී තත්ත්වයන්හිදී කරනු ලබන ප්‍රතිකාරවලට වඩා හාත්පසින්ම වෙනස් වන නිසා ය.

Frozen sholder රෝගයට වඩාත් ඵලදායි වන්නේ භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම යි. මෙම රෝගයේදී චලන පරාසය ඉක්මනින් වර්ධනය කිරීමේ ව්‍යායාම සහ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවේදයන් මුල සිටම ක්‍රියාත්මක කෙරේ. එසේම උරහිසේ අනෙකුත් රෝග අවස්ථාවන් හිදී ප්‍රධාන තත්ත්වය සහ ආබාධය පාලනය වන තෙක් සමහර චලනයන් සීමා කිරීමක් සිදුකරනු ලබයි. රෝග විනිශ්චය වඩාත් නිවැරදි විය යුතු යැයි ඉහත සඳහන් කළේ එනිසාය. වරදවා වටහා ගෙන ප්‍රතිකාර කිරීම තුළින් frozen shoulder රෝගය මෙන්ම අනෙකුත් රෝග තත්ත්වයන්ද උත්සන්න වීමට හැකියාවක් පවතී.

frozen shoulder රෝගය ක්‍රමයෙන් වැඩි වී නැවත අඩුවේගන යන රෝගයක් ලෙස හඳුනාගෙන ඇත. එය අදියර තුනකින් මේ ආකාරයට දැක්වීමට පුළුවන.

1. අදියර – freezing stage

ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගන්නා උරහිසේ වේදනාව උරහිස චලනය කරන විටදී ඉතා තද වේදනාවක් බවට පත්වේ. සමහර චලනයන් ඉතාමත් වේදනාකාරී වන අතර සමහර අවස්ථාවලදී උරහිසේ වේදනාව රාත්‍රියේ නින්දට බාධා කාරී වන අයුරින් පවා පැවතිය හැකිය. චලන පරාසය සීමා වීම ආරම්භ වන්නේ මෙම අදියරේ දී ය .

2. අදියර – frozen stage

මුලින් පැවති තදබල වේදනාව අඩු වන්නට පටන් ගනී. උරහිස චලනය තව තවත් සීමා වන අතර උරහිස් සන්ධිය තව තවත් තද වීම සිදුවේ. මෙම අදියරේ දී චලනය උපරිම සීමාවට පැමිණෙයි.

3. අදියර – thawing stage

චලන පරාසය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගනී. මෙහිදී ප්‍රතිකාර වශයෙන් වේදනානාශක පෙති සහ cortico steroid ඉන්ජෙක්ෂන් ලබාදීම සිදුකෙරේ. Frozen shoulder ඉතා සංකීර්ණ තත්ත්වයට පත් වුවහොත් ශල්‍යකර්මයකට යොමු කරවන්නට සිදු වන අවස්ථා කලාතුරකින් යෙදිය හැකිය.
උරහිස් සන්ධිය චලනය කිරීම තදබල වේදනාවක් වීම හේතුවෙන් එය චලනය කිරීම සීමා කරවන මෙම රෝගී තත්ත්වයට භෞත චිකිත්සක ප්‍රතිකාර අත්‍යවශ්‍ය ය. frozen Shoulder රෝග තත්ත්වය සඳහා භාවිතා කරන භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මෙසේ ය.

චලන පරාසය වැඩි කිරීම සඳහා manuel therapy සහ join manipulation technique , ඇදීමේ සහ චලන පරාසය වර්ධනය කරවන ව්‍යායාම චිකිත්සාව, වේදනාව සමනය කිරීමට සහ ස්නායු හා ඒ ආශ්‍රිත මාංශපේශීන් උත්තේජනය කරවන TENS , IFT වැනි විද්‍යුත් චිකිත්සක ක්‍රම, ප්‍රදාහ සමනයට සහ පාලනයට ක්‍රයෝ තෙරපි, චලනය වැඩි කිරීමට පෙර ස්නායු සහ ඒ අවට මාංශ පේශීන් ලිහිල් කරවන heat therapy, දුර්වල වූ මාංශ පේශීන් සඳහා මාංශපේශීන් ශක්තිමත් කිරීමේ ව්‍යායාම චිකිත්සාව,තදවී සහ සිරවී ඇති මාංශ පේශීන් ලිහිල් කිරීමට හෝ අවුලුවන ස්ථානයන් හි (trigger point ) ඇති මාංශ පේශි සඳහා වියලි කටු චිකිත්සාව (dry needling) හෝ ලේසර් තෙරපි චිකිත්සක ක්‍රම මෙහිදී ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන භෞත චිකිත්සක ක්‍රම වේ. මෙම ප්‍රතිකාර මගින් frozen shoulder රෝගයට නිශ්චිත සහනයක් ලබාගත හැකිය.

විශේෂඥ හෞත චිකිත්සක
ඩී. කේ. ඇන්තනී
( B.P.T , CBDN , CMT, CADN,
M. P. T. (CP)

ඉන්දු පෙරේ⁣රා

විනිවිද සායනය