ලංකාවේ ද අයෝජනය කළ ගෞතම් අදානි වංචා චෝදනා නිසා අර්බුදයක

ලංකාවේ දැවැන්ත ව්‍යාපෘතිවල ද විශාල වශයෙන් ආයෝජනය කිරීම නිසා පසුගිය දා මෙරට තුළ ද නිතර නම කියැවුණු ඉන්දියානු ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මේ වනවිට වංචා චෝදනා වාගයක් නිසා අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. මෙම තත්ත්වය තුළ ඔහුගේ වත්කම් විශාල වශයෙන් පහත වැටී ඇති බවක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.  මෙයට ටික දිනකට පෙර ලොව බිලියනපතියන් අතර තුන්වැනි ස්ථානයේ සිටි ඔහු පසුගිය සිකුරාදා (27)  වනවිට සත් වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබිණි. වංචා චෝදනා එල්ල වීමත් සමග ඔහුගේ ව්‍යාපාරවල කොටස් මිල පහත වැටීමට පටන් ගෙන තිබූ බව සඳහන් විය. අදානි සතු කොටස්වල වටිනාකම ද මේ අනුව පහත වැටීම නිසා ඔහුගේ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 20 කින් පමණ අඩු වී තිබිණි.  සිකුරාදා වනවිට ෆෝබ්ස් දර්ශකයට අනුව  ඔහුගේ ශුද්ධ වත්කම සටහන් වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 96 ක් ලෙසිනි.

ඉන්දියානු අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ හිතවතකු බව ද පැවසෙන අදානි මෙම අර්බුදයට මුහුණ දී ඇත්තේ Hindunberg Research   නැමැති ආයතනයක් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවකින් හෙලි වී ඇති කාරණා නිසා ය. අදානි සමූහය දශක ගණනක් තිස්සේ කොටස් පිලිබඳ සහ ගිණුම් පිලිබඳ වංචාවල නිර්ලජ්ජිත ලෙස නිරතව ඇති බව මෙම  Hindunberg Research   -ආයතනය නිකුත් කළ වාර්තාවෙන් චෝදනා කර ඇතැයි සඳහන් වේ. සමූහයේ ණය තත්ත්වය පිලිබඳ සහ බදු පැහැර හැරීම් පිලිබඳ චෝදනා ද  එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වාර්තාව නිකුත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක්, කැළඹීමක් ඇතිව තිබිණි. අදානි සමූහය මෙම වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇති අතර ඔවුන් පවසා තිබුණේ මේවා ද්වේෂ සහගතව එල්ල කරන ලද, පදනම් විරහිත චෝදනා බවයි. නමුත් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉහත චෝදනා නිසා හටගත් ආන්දෝලනය සමනය කිරීමට ඔවුන්ගේ මෙම පිලිතුරට හැකි වී නොමැති බවකි. මෙම වාර්තාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවාද යන්න  පිලිබඳව සලකා බලමින් සිටින බව ද සෙනසුරාදා (28) අදානි සමූහය පවසා තිබිණි. කෙසේ හෝ වේවා,   Hindunberg Research   වාර්තාව හෙලි කර ඇති කාරණා සම්බන්ධයෙන් වහාම විමර්ශණයක් ආරම්භ කරන මෙන් ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසය මෝදි රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට 60 වැනි වියෙහි පසුවන ගෞතම් අදානි සැලකෙන්නේ ස්වෝත්සාහයෙන් සාර්ථකත්වයට ළඟා වූ ව්‍යාපාරිකයකු ලෙසිනි. කෙසේ නමුත් ඔහුගේ ව්‍යාපාරවල සාර්ථකත්වයට දේශපාලන සබඳතා උදව් වී ඇති බවට ද විවිධ පාර්ශ්ව චෝදනා නගයි. අදානි සහ අගමැති මෝදි දෙදෙනාම ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ උපත ලැබූවන් ය. රජයේ බොහෝ කොන්ත්‍රාත් ලබා ගැනීමට අදානිගේ ව්‍යාපාරවලට හැකි වී ඇති බව සඳහන් වේ. කෙසේ නමුත් අදානි ඉහත කී චෝදනා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරයි.

අදානි සිය අධ්‍යාපන කටයුතු අතරමග නතර කර ව්‍යාපාරික ලෝකයට පිවිසුණු පුද්ගලයෙකි. වාණිජවේදී උපාධියක් ලබා ගැනීම සඳහා ඔහු ගුජරාට් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව තිබුණත් දෙවැනි වසරේ දී ඔහු එයින් ඉවත්ව තිබිණි. ඔහුගේ පියා කුඩා රෙදිපිලි ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙකු බව සඳහන් වේ. නමුත් තම පියාගේ ව්‍යාපාරයට එක් වීමේ කැමැත්තක් අදානි තුළ තිබී නැත. ඔහු මුල පටන්ම වෙනම මාර්ගයක ගමන් කළ කෙනෙකි. මේ වනවිට අදානි සමූහය වරාය, ගුවන් තොටුපල, විකල්ප බලශක්තිය වැනි ක්‍ෂේත්‍ර රැසක ව්‍යාපාර කරන සමාගම් සමූහයකි.

දන්ත ශල්‍ය වෛද්‍යවරියක ද වන ප්‍රීටි අදානි සමග විවාහ වී සිටින ගෞතම් අදානි පුතුන් දෙදෙනකුගේ පියෙකි. 1998 වසරේ යම් පිරිසක් කප්පම් ලබා ගැනීම සඳහා ඔහු පැහැරගෙන යාම ද ආදානිගේ ජීවිතයේ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය.

කෙසේ හෝ වේවා, මේ වනවිට එල්ල වී ඇති චෝදනාවලට ඔහු සහ ඔහුගේ ව්‍යාපාර කවරාකාරයෙන් මුහුණ දෙනු ඇත් ද යන්න බොහෝ පාර්ශ්ව මහත් කුතුහලයෙන් බලා සිටින කාරණයක් බවට පත්ව තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර