සුනඛයන්ට ජීවිතය පවා අහිමි කළ හැකි කිනිතුලු උණ

මෙය කිනිතුල්ලන් නිසා වැළඳෙන රෝගයක්. මේ රෝගය ඇති කරන  ප්‍රොටොසෝවා නැමැති පරපෝෂිතයා ජීවත් වන්නේ කිනිතුල්ලන්ගේ ශරීරයේ.

සුනඛයන්, බළලුන් දෙපිරිසටම  කිනිතුල්ලන් නිසා මෙම  රෝගය වැළඳිය හැකියි.  නමුත්  සුනඛයන්ට සාපේක්ෂව බළලුන් හට මෙය වැළඳීම ඉතාමත්ම අඩුයි. එනිසා අප මෙහි කතා කරන්නේ සුනඛයන්ට  කිනිතුලු උණ  වැළඳීම පිළිබඳවයි.
කිනිතුල්ලා විසින් දෂ්ට කරනු ලැබීමෙන් පසු  උගේ ශරීරයේ සිටින පරපෝෂිතයා සුනඛයාගේ  සිරුරට ඇතුළු වී රුධිර සෛල කරා ගමන් කරනවා.

මෙහි ප්‍රභේද 2ක් තිබෙනවා.

පළමු ප්‍රභේදය වන Babesia spp රුධිරයේ රතු රුධිරාණුවලට ආසාදනය වී රතු රුධිරාණු සෛල විනාශ කරනවා. එවිට සුනඛයා ගේ රුධිරයේ රතු රුධිරාණු අඩු වෙනවා. එයට හේතුව ඇටමිදුළුවල සෛල නිෂ්පාදනය වන වේගයට වඩා  වේගයකින් එම සෛල විනාශ වීමයි. මේ නිසා සතාට රක්තහීනතාවය ඇතිවෙනවා. මේ කිනිතුලු උණ වර්ගය හඳුන්වන්නේ Bebesiosis ලෙසින්.

දෙවෙනි ප්‍රභේදය Echrlichia spp වන අතර එය රුධිර පට්ටිකා ආක්‍රමණය කර  රුධිර පට්ටිකා විනාශ කරනවා. එවිට රුධිරයේ කැටි ගැසීම අඩුවී ඉබේම රුධිර වහනය වීම් ඇති වෙනවා. මේ නිසා සුනඛයාගේ නාසය, කන්  වැනි ස්ථානවලින් ඉබේම ලේ ගලන්නට පුළුවන්. මෙම ප්‍රභේදය නිසා වැළඳෙන රෝගය Echrlichiosis ලෙසින් හඳුන්වනවා.

මෙම ප්‍රභේද දෙකම ප්‍රොටොසෝවා  කාණ්ඩයට අයතියි.

කිනිතුල්ලන් සුනඛයාගේ සිරුරට  පැමිණ සති දෙක තුනක කාලයක් තුළ මෙලෙස ආසාදනය විය හැකියි. මෙහිදී ඔබ තුළ පැනයක් මතු වෙන්න පුළුවන්. එනම් වීදි සුනඛයන් ගේ  සිරුරේ බොහෝසෙයින් කිනිතුල්ලන් සිටින බව ඔබත් ඕනෑ තරම් දැක ඇති.ඔවුන්ට කිනිතුලු උණ  වැළඳෙන්නේ නැද්ද ?  මෙහිදී  කියන්නට තිබෙන්නේ කිනිතුල්ලන් සිරුරේ සිටි පමණින් හැම සතෙකුටම කිනිතුලු උණ  නොවැළඳෙන බවයි. එය ඒ ඒ සතුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය මත තීරණය වෙනවා.

දැන් අපි මෙහි රෝග ලක්ෂණ සොයා බලමු.
මෙය කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්.

පළමු අවස්ථාව ( Subclinical):
පරපෝෂිතයා සිරුරට ඇතුළු වී සිටිනවා. නමුත් හානිදායක මට්ටමෙන් නොවෙයි සිටින්නේ. එනිසා රෝග ලක්ෂණ ඇති වන්නේ නෑ.  එවැනි රෝගයක් සුනඛයාට තිබෙන බව හඳුනාගන්නට ලැබෙන්නේත් රුධිර පරීක්ෂණයකින් පමණයි.

දෙවන අවස්ථාව (Acute ) :
රෝග ලක්ෂණ මතු වීම මතු වීම ආරම්භ වෙනවා.
කෑම අරුචිය, උදාසීන බව, අධික උණ, වසා ගැටිති ඉදිමීම,  තද කහ පැහැයෙන්  මුත්‍රා පිටවීම මෙහිදී දැකිය හැකි සුලබ රෝග ලක්ෂණයි.
මෙම අවස්ථාවේ දී සතාට ප්‍රතිකාර නොලැබුණහොත්, දිගු කලක් රෝගය පැවතියහොත්  ශ්වසන වේගය වැඩිවී සතාට ශ්වසන අපහසුතා ඇති වන්නට පුළුවන්.

තෙවන අවස්ථාව (Chronic ) :
මුලින්  නිසි ප්‍රතිකාර නොලැබුණහොත්  රෝගය උත්සන්න තත්ත්වයට  පත්වෙන්න පුළුවන්. එවිට විදුරුමස්, ඇස් යට  වැනි ස්ථාන   සුදුමැලි වී පසුව ඒවා කහ පැහැයට හැරෙනවා. මේ වන විට රෝගය අනිකුත් ඉන්ද්‍රියයන්ටත් බලපාලයි තිබෙන්නේ. විශේෂයෙන් අක්මාව, වකුගඩු වැනි ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ වී සතා මිය යාමට පුළුවන්.

මූලික අවස්ථාවේදීම හඳුනාගෙන රෝග ලක්ෂණ  මතු වන විටම ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් ඉක්මනින්ම රෝගය සුව කරන්න පුළුවන්. රෝගය හඳුනාගත හැකි මූලිකම ලක්ෂණය සතාගේ සමේ කිනිතුල්ලන් බොහෝ සෙයින් සිටීමයි. රුධිර පරීක්ෂණයක් මගින් රෝගය කුමන මට්ටමේ තිබෙන්නේද යන්න පහසුවෙන් සොයාගත හැකියි. කිනිතුල්ලන් මර්දනය  කිරීම සඳහා පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි.

රෝගය තිබෙන විට නොකළ යුතු දේ :
උණ තිබෙන විට නෑවීම නොකළ යුතුයි. උණ වැඩි වී ඇත්නම් අයිස් තබා අඩුකර ගැනීම සුදුසු වෙනවා.
සතාට මහන්සි වීම  අහිතකර වන බැවින් එක තැනක  හිඳින්නට  සැලැස්විය යුතුයි. විජලනය වළක්වා ගැනීම සඳහා දියර වැඩිපුර දීම ද අවශ්‍යයි.  මෙම රෝගය නිසා සිරුරේ ලේ අඩුවන බැවින් යකඩ වැඩිපුර ඇති ආහාර ලබා දීම සුදුසුයි. ඇට වර්ග, පීකුදු, මස්, මාළු ආදිය මෙවැනි ආහාර වර්ගයි.
සුව වූ පසු නැවත සතියකින් දෙකකින් පමණ රෝගය හට ගන්නට ඉඩක් තිබෙනවා. එසේ වන්නේ පරපෝෂිතයා සහමුලින් මර්දනය වී නොතිබීම නිසයි. එවිට සතාට යළිත්  නිවැරදි ප්‍රතිකාර ලබාදිය යුතුයි.

රජයේ පශුවෛද්‍ය නදීකා දිල්රුක්ෂි

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය