අරගලයට පහර දී වසර 2යි

ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද (09) ට වසර දෙකක් පිරේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් නොසන්සුන් අයුරින් කටයුතු කිරීම හේතුවෙන් මුළු රටම එකම යුද පිටියක් බවට පත්විය.

මුළු රටම භීතියෙන් මුසපත් කළ ඒ අඳුරු හේරා කිහිපයේදී සංවිධානාත්මක පිරිස් මහමග ගමන් ගත් බස්රථ, පොදු හා පෞද්ගලික දේපළ විනාශ කරමින් සිදුකළ හානිය තුළින් රටට විශාල කළු පැල්ලමක් එක් විය.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ඇතුළු කිහිපදෙනකු ඝාතනයට ලක්වූ අතර පුද්ගලික නිවාස ඇතුළු දේපළ 855කට බරපතළ හානි සිදුවිය. ඉන් නිවාස 62ක් එවකට පැවැති රජයේ මැති ඇමැතිවරුන්ට අයත් ඒවාය. ඊට අමතරව ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අයත් දේපළ රැසක් ද විනාශ විය.

එවකට රටේ පැවැති ගෑස්, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා ලබාගැනීමේ දිගු පෝලිම්, විදුලි කප්පාදුව වැනි සිද්ධි මත පැනනැඟුණු දැඩි මහජන පීඩාව හේතුවෙන් මතුවූ අරගලය අවසන් වූයේ පැවැති පාලනය ද අවසන් කරමිනි.

කාලීන පුවත්