කොමිස් ඉහළ නැංවීමට එකඟ වෙයි; ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව

ඉන්ධන ප්‍රවාහනය සඳහා පෞද්ගලික බවුසර් රථ හිමියන්ට ලබාදෙන ප්‍රවාහන කොමිස් මුදල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟ වීමත් සමඟ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.සංගමයේ සභාපති ඒ. එම්. එච්. අධිකාරි මහතා සඳහන් කර ඇත්තේ ඊයේ (2) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු සහ සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණි බවයි.බවුසර් රථ හිමියන් ඉල්ලා තිබුණේ වර්තමාන ඉන්ධන ප්‍රවාහන වියදම්වලට ගැළපෙන පරිදි ප්‍රවාහන ගාස්තු ගණනය කරන ක්‍රමවේදය සංශෝධනය කර, අවම වශයෙන් සියයට 20ක කොමිස් ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට එය සකස් කරන ලෙසය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් 2025 වසරේ සිට සාකච්ඡා පැවැති අතර, සංශෝධිත ගාස්තු ක්‍රමය 2026 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ බව සංගමය පවසයි.ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බවුසර් රථ නඩත්තු කිරීමේ වියදම් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සංගමය පෙන්වා දී තිබේ. විශේෂයෙන් අමතර කොටස්, ටයර්, ටියුබ් සහ වාහන සේවා ගාස්තු සියයට 50කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව එහි සභාපතිවරයා සඳහන් කර ඇත.මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වන බව බවුසර් හිමියන් මීට පෙර අනතුරු අඟවා තිබූ අතර, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමට බලපෑම් ඇතිවීමේ අවදානමක් ද පැවතිණි.කෙසේ වෙතත්, ඛනිජ තෙල් සංස්ථාව සමඟ ඇති කරගත් නව එකඟතාව හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකර ඉන්ධන ප්‍රවාහනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බවුසර් රථ හිමියන් තීරණය කර තිබේ.මේ අතර, ඉන්ධන මිල සංශෝධනයක් සැප්තැම්බර් 30 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 392ක් දක්වා ඉහළ නැංවිණි. සුපර් ඩීසල් මිල ද ඉහළ ගිය අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් මිල වෙනස් නොකෙරිණි.ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසා ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදුව ඇති බවත්, ඇතැම් ඉන්ධන වර්ගවල සැබෑ පිරිවැයෙන් කොටසක් තවදුරටත් සංස්ථාව සහ රජය විසින් දරන බවත්ය.
බවුසර් රථ හිමියන්ගේ නව තීරණය හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්