වලගම්බා රජු එක රැයින් සෑදූ රාවණා පුරාණ විහාරය

රාවණා ගුහාව හෙවත් රාවණා ගල් ලෙනක් ගැන මීට දිනෙක අප තරමක් විස්තර සඳහන් කළා. කොහොම නමුත් රාවණා රජු විසින් සීතා දේවිය සඟවා තැබූ බව කියන රාවණා ලෙන් නමින් සඳහන් ස්ථාන කිහිපයක්ම අපේ රටේ තිබෙනවා. නමුත් මේ කිසිදු ස්ථානයක රාවණා රජු විසින් සීතා දේවිය සඟවා තැබූ බවට තහවුරු වූ සාක්ෂි නෑ. ඒවා ජනප්‍රවාද වශයෙන් තමයි පවතින්නෙ.
අප මේ කතා කරන්නට යන්නේ එකිනෙකට ආසන්නයේ පිහිටා තිබෙන සැබෑ රාවණා ඇල්ල, රාවණා ගල්ලෙන සහ රාවණා පුරාණ විහාරය යන මේ ස්ථාන තුන ගැනයි.
බණ්ඩාරවෙල, ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයේ සිට කිලෝමීටර් 3 ක පමණ දුරක් ගිය විට “රාවණා ගුහාව හා රාවණා රජ මහා විහාරය” නමින් සඳහන් පුවරුවක් දක්නට ලැබෙනවා.එතැනින් දකුණු පැත්තට තිබෙන පාරේ “රාවණා ඇල්ල පුරාණ විහාරය” නමින් සඳහන් ගල් පුවරුවක් දැකිය හැකියි.

මේ ගමේ නම රාවණා ඇල්ල. රාවණා ඇල්ල ගමේ පිහිටි විහාරය නිසා මේ විහාරස්ථානයටත් “රාවණා ඇල්ල පුරාණ විහාරය” කියලා නම් කරන්න ඇති. පුවරුව අසල සිට තව කිලෝමීටර් හතරක පමණ දුරක් ගිය විට මේ විහාරය දැකිය හැකියි.
සොලී ආක්‍රමණවලට බියෙන් වලගම්බා රජු අපේ රටේ ස්ථාන ගණනාවකම සැඟවී සිටි බව පැවසෙනවා. විශේෂත්වය වන්නේ ඒ සෑම තැනකම විහාරාරාමයක් ඉදි කර තිබීමයි. මෙම ස්ථානයත් එලෙසමයි. නමුත් මෙහි විශේෂයක් තිබෙනවා. මෙය වලගම්බා රජු විසින් එක රැයින් සාදන ලද විහාරස්ථානයක් බව තමයි පැවසෙන්නේ. එම පළමු රැයෙන් පසුව රජුට එම ස්ථානය දමා යාමට සිදුව තිබෙනවා. එය විශ්වාස කළ හැකි ප්‍රධානතම සාක්ෂිය වන්නේ මෙහි ඇති පිළිම ආදිය යි. එම පිළි⁣ම සම්පූර්ණයෙන් වැඩ අවසන් නොවූ ඒවායි.

රාවණා ලෙන පිහිටා තිබෙන්නේ රාවණා විහාරයට ඉහළින්. එම විහාරයේ සිට පඩි 600 ක් පමණ පසු කර තරමක් දුෂ්කර දුර්ගයක් ඔස්සේ මෙම ලෙන ඇති තැනට යා යුතුයි. එතැන් සිට පහළ බැලූ විට හෙළ දකින්න ලැබෙනවා. මෙම මාර්ගයේ යන විට බඹරුන්ගේ දෂ්ටනවලින් මිදී ගමන් කිරිීමට ද ප්‍රවේශම් විය යුතුයි.
රාවණා ලෙන තරමක් විශාල එකක්. එහි සීතා දේවිය සඟවා තැබූ බව පැවසෙන අතර එම කතාවේ සත්‍ය අසත්‍යතාවය කුමක් වුවත් එම ලෙන නම් දඬුමොණරයක් ඇතුල් කළ හැකි තරම් විශාලයි.

රාවණා ලෙනෙහි උමං මාර්ග දෙකක් පිහිටා තිබෙනවා. එක උමං මාර්ගයක් දෝව පන්සල දක්වා විහිදෙනවා. අනෙක් උමං මාර්ගය නුවරඑළියේ සීතාඑළිය ප්‍රදේශය තෙක් විහිදී තිබෙන බව පැවසෙන අතර මෙම උමග තුළ පුද්ගලයකුට සිට ගෙන යාමට නොහැකි බවයි කියන්නේ. සීතාඑළියට එම නම ලැබී තිබෙන්නේ ද සීතා දේවිය එහි රඳවා තිබූ නිසා බවට ජනප්‍රවාද තිබෙනවා. ඒ අනුව මේ උමං මාර්ගය රාවණා ලෙනෙහි සිට සීතාඑළිය ප්‍රදේශය දක්වා විහිදී තිබීම සහ මේ කතා පුවත අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බව සිතිය හැකියි. ඒ කෙසේ වුවත් මේවා නිශ්චිතව තහවුරු වූ ඒවා නොවන බව නැවතත් කියන්නට සිදු වෙනවා.

රාවණා ඇල්ල ගමෙහි පැරැන්නන් පවසන ආකාරයට සැබෑ රාවණා ඇල්ල අප දැනට රාවණා ඇල්ල ලෙසින් නම් කරන ඇල්ල නොවෙයි. අප රාවණා ඇල්ල ලෙසින් සලකන රාවණා ඇල්ලත් මේ ප්‍රදේශයට ආසන්නයේ තමයි තිබෙන්නේ. එය බඹරගල ඇල්ල ලෙසින් ද හඳුන්වනවා . ගම්මුන් පවසන ආකාරයට ඒ ඇල්ල බඹරගල ඇල්ල මිස රාවණා ඇල්ල නොවෙයි. සැබෑ රාවණා ඇල්ල ගල්ලෙනට පහළින් ආරම්භ වී ගල්ලෙන වසාගෙන ගලාගෙන ගිය බවක් පැවසෙනවා. ඒ කොහොම වුණත් දැන් නම් එතැන දිය ඇල්ලක් නෑ. ඒ අනුව බඹරගල ඇල්ල පසුව රාවණා ඇල්ල වුණා වන්නටත් පුළුවන්. නමුත් මෙතැන දී ද සිතන්නට යමක් තිබෙනවා. සැබෑ රාවණා ඇල්ල ආරම්භ වූ ස්ථානයක් දකින්න තිබුණේ නැතිලු. ගල් තලාවකට යටින් තමයි පහළට ගලාගෙන විත් තිබෙන්නේ. වර්තමානයේ රාවණා ඇල්ල ලෙසින් හඳුන්වන බඹරගල ඇල්ලත් එලෙසින්ම ආරම්භ වන ස්ථානයක් පෙනෙන්නේ නැහැ. ගල ඇතුළෙන් තමයි ඇල්ල පහළට එන්නෙ. ඒ අනුව සැබෑ රාවණා ඇල්ල සහ මෙම වර්තමාන රාවණා ඇල්ල අතර යම් සම්බන්ධතාවයක් තිබෙන්නටද බැරිකමක් නෑ.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව