මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් ශ්‍රී පාද කන්දේ එක්රැස්ව තිබූ විශාල කසළ ප්‍රමාණයක් ශ්‍රී පාද මාර්ගයට කඩා වැටී තිබේ.බැලූ බැල්මට මෙය ශ්‍රී පාද කන්දේ සිදුවූ නාය යෑමක් ලෙස පෙනුණද, එලෙස මාර්ගයට වැටී ඇත්තේ වන්දනාකරුවන් විසින් කන්දේ විවිධ ස්ථානවල දමා ගිය ප්ලාස්ටික් බෝතල්, පොලිතින් මළු සහ වෙනත් නොදිරන අපද්‍රව්‍ය බව පොලිසිය සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ, සෑම ශ්‍රී පාද වන්දනා වාරයක් ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී පාදස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු බලධාරීන් වන්දනාකරුවන්ගෙන් ප්ලාස්ටික්, පොලිතින් සහ වෙනත් කසළ ශ්‍රී පාද භූමියට බැහැර නොකරන ලෙස නිරන්තරයෙන් ඉල්ලා සිටින බවයි.
ශ්‍රී පාද ප්‍රදේශයේ කසළ ගැටලුව අලුත් තත්ත්වයක් නොවේ. 2026 වසරේ ශ්‍රී පාද වන්දනා සමය තුළ මස්කෙළිය–හැටන් මාර්ගය ආශ්‍රිතව පමණක් කසළ ටොන් 130ක් පමණ එකතු වී ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සභා ලේකම්වරයා උපුටා දක්වමින් වාර්තා වී තිබේ. එහි දිරාපත්වන කසළ ටොන් 90ක්, නොදිරන කසළ ටොන් 40ක් සහ PET බෝතල් ටොන් දෙකක් ඇතුළත් බවද සඳහන්ය.මීට පෙර 2022–2023 ශ්‍රී පාද වන්දනා සමයේදී ශ්‍රී පාද හා අවට ප්‍රදේශයෙන් කසළ ටොන් 113ක් එකතු කර තිබූ අතර, එයින් ටොන් තුනක් පමණ PET ප්ලාස්ටික් බෝතල් බව වාර්තා විය.එමෙන්ම 2026 මැයි මස අවසානයේ ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් සමඟ පැවැති පිරිසිදු කිරීමේ වැඩසටහනකදී ස්වේච්ඡා සේවකයන් 1,000කට ආසන්න පිරිසක් ශ්‍රී පාද මුදුනේ සිට නල්ලතන්නිය දක්වා මාර්ගයෙන් ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු කසළ කිලෝග්‍රෑම් 5,000ක් පමණ ඉවත් කර තිබිණි.ශ්‍රී පාදය පිහිටි පීක් විල්ඩර්නස් රක්ෂිත ප්‍රදේශය ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියක් වන අතර, එය ජල පෝෂක ප්‍රදේශයක් ලෙසද ඉතා වැදගත්ය. එබැවින් කන්දේ බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතින් වර්ෂා ජලය සමඟ පහළ ජල මාර්ගවලට ගසාගෙන යෑමෙන් පරිසරයට තවදුරටත් හානි සිදුවිය හැකිය.
මේ වනවිට මාර්ගයට කඩා වැටී ඇති කසළ ගොඩවල් ඉවත් කිරීම සඳහා ගුවන් හමුදා, යුද හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු කණ්ඩායම් ඉදිරියේදී යොදවා ගැනීමට කටයුතු කරන බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කර තිබේ.