සුනඛයන්ගේ නියපොතු කැපීම සහ වලිගය කැපීම ගැන දැන ගනිමු 

සුනඛයන්ගේ නියපොතු කැපීම :
       මනුෂ්‍යයන්ගේ මෙන්ම  නියපොතු පිහිටා තිබෙන  කවර සතෙකුගේ වුවද නියපොතු වැඩේ. මිනිසුන් වන අපි අපේ නියපොතු ක්‍රමානුකූලව කපා පිළිවෙළකට තබා  ගන්නෙමු. එසේ නොකළහොත් අසාමාන්‍ය ආකාරයට නියපොතු වර්ධනය විය හැකි අතර එයින් එම පුද්ගලයාට අපහසුවක් සේම, අවලස්සන පෙනුමක් ද ඇති කරයි .
         සුනඛයන්ගේ ද එසේය . ඔවුන්ගේ නියපොතු වඩා දිගුව වැඩුණු විට ඒවාද කපා දැමීම අවශ්‍ය වේ. නමුත් බොහෝ දෙනෙක් එවැන්නක් සිදු කරන්නේ නැත.
 සුනඛයන්ගේ නියපොතු දිගට වර්ධනය වී ඇති විට  කපා දැමිය යුතු ඇයි?
  * නියපොතු දිගින් වැඩි වූ විටදී සුනඛයාට  ඇවිදීමට සහ දිවීමට අපහසු වීම
  * වර්ධනය වී ඇති නිය පොළොවේ ගැටෙද්දී දැනෙන වේදනාව හෝ අපහසුව නිසා නිසි ඉරියව්වෙන් සිටීමට අපහසු වීම
 * වැඩිපුර වර්ධනය වී ඇති නියපොතු කැඩී ගිය විටදී ඇඟිලිවල ජීවී කොටස්වලට පවා හානි සිදුවී විවිධ ආසාදනයන් හට ගැනීමට හැකිවීම
 * කාලයක් තිස්සේ නියපොතු වර්ධනය වීමේදී ඇතැම් විට ඒවා ඇඟිල්ල දෙසට වක්‍රව වැඩී සම තුළට කිඳා බැස පටක පවා පසාරු කරගෙන වර්ධනය වන්නට හැකියාවක් තිබීම
          මෙවැනි අයහපත් දේ සිදුවන්නට ඉඩ තිබෙන බැවින් සුනඛයන්ගේ නියපොතු දිගුව වැඩුණු පසුව ඒවා කපා දැමීම හිමිකරුවන් විසින් කළ යුතු කාර්යයකි.
          නමුත් ගැටලුව තිබෙන්නේ සමහර සුනඛයන් තම පාද, ඇඟිලි, නියපොතු  ආදිය තවත් කෙනෙකු ස්පර්ශ කරනවාට අකැමැත්තක් දැක්වීම ය. එසේම නියපොතු කැපීමට භාවිතා කරන නුහුරු උපකරණය හේතුවෙන් ද සතුන් වික්‍ෂිප්ත භාවයට පත් වී නිය කැපීමට ඉඩ නොදිය හැකිය. එනිසා සුනඛයන්ගේ නිය කැපීම යනු ඉතා සූක්ෂමව පියවරෙන් පියවර සුනඛයාට හුරු කළ යුතු කාර්යයකි. මෙලෙස හුරු කිරීම සඳහා පහත පියවරයන් අනුගමනය කළ හැකිය.
     * මුලින්ම ඇඟිලි,  නියපොතු ආදිය විටින් විට ස්පර්ශ කරමින් ඊට ඇති අකමැත්ත සහ නුහුරු බව දුරු කිරීම
     * නියපොතු කපන්නේ නැතිව නිය කපන උපකරණයට ඇති නුහුරු බව නැති වන ආකාරයට කටයුතු කිරීම
      * පසු දිනයක නියපොත්තක් හෝ දෙකක් ප්‍රවේශමෙන් කපා සුනඛ සුරතලා කෑමට ප්‍රිය කරන ආහාරයක් ලබාදීම. එමගින් නිය කැපීම සුනඛයාට මිහිරි අත්දැකීමක් බවට පත්  කරවිය හැකිය.
       මෙලෙස දින කිහිපයක් කර අවසානයේ නියපොතු  සියල්ල ක්‍රමානුකූලව කපා දැමීමට සුනඛයා හුරු කර ගැනීම පහසුවේ.
        අප නියපොතු කැපීම සඳහා භාවිතා කරන උපකරණය සුනඛයන්ගේ නිය කැපීමට භාවිතා කිරීම සුදුසු නැත.  ඒ සඳහා  සුනඛයන්  හටම විශේෂිත වූ උපකරණයක් භාවිතා කළ යුතු වෙයි. ඒවා පැතලි බවෙන් අඩු ය. සත්ව සායන වලින් මෙන්ම සමහර වෙළෙඳ සැල්වලින් ද මේවා මිලදී ගැනීමේ හැකියාව ඇත.
        කෙසේ වුවද සුනඛයන්ගේ නිය කැපීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. ඔවුන්ගේ නියපොත්තක සජීවි කොටස සහ අජීවී කොටස වෙන්කර හඳුනා ගැනීම  අපහසු වීම ඊට හේතුවයි. සමහර සුනඛයන්ගේ සජීවී කොටස රෝස පැහැයෙන් දිස්වුවද, බොහෝ සුනඛයන්ගේ එම කොටස කළු හෝ අඳුරු පැහැ ගන්නා නිසා හඳුනා ගැනීම අසීරු ය. මේ නිසා නියපොත්තක සජීවී කොටස සහ අජීවී කොටස වෙන් කෙරෙන මායිම ඉතා ප්‍රවේශමෙන් හඳුනාගෙන එතැන් සිට මිලිමීටර් දෙකක් පමණ ඉහළින් නියපොත්ත කපා දැමිය යුතුය. නියපොත්තක සජීවී කොටස ආසන්නයේ කේශනාලිකා බහුලව පිහිටා ඇති නිසා වැරදීමකින් හෝ නියපොත්තක සජීවී කොටසකින් වෙන් වුවහොත් රුධිරය වහනය නතර කිරීම අපහසු විය හැකිය. එවැනි අවස්ථාවක කළ යුත්තේ රුධිර වහනය නතර කිරීමට රුධිරය කැටි ගැසෙන ඖෂධ එම ස්ථානයේ ගැල්වීමයි. එවිට රුධිරවහනය නතර වනු ඇත.
        මේ නිසා සුනඛයකුගේ නියපොතු කැපීම අපහසු බවක් දැනේ නම් හෝ හිමිකරුට එය තනිව කර ගැනීමට නොහැකි නම් සත්ව සායනයකින් මෙය කර ගැනීම අපහසු නොවේ. එහෙත් සත්ව සායනයක් වැනි සතුන්ට නුහුරු සහ ඔවුන් අකමැති ස්ථානයක දී එය කරනවාට වඩා නිවස තුළ සුපුරුදු පරිසරයකදී නිය කැපීම වඩා පහසු විය හැකිය.
 සමහර  සුනඛයන්ගේ වලිගය කැපීම :
         ඇතැම් විශේෂිත සුනඛ ප්‍රභේද කිහිපයක කුඩා පැටවුන්ගේ වලිගය ඉවත් කිරීම ( Tail Docking) ලොව පුරා බහුලව සිදුවේ. නමුත් සමහර දියුණු රටවල මෙය සපුරා තහනම් ය. එය අගය කළ යුත්තකි.
           මෙසේ වලිගය කපා දමන සුනඛ ප්‍රභේද ලෙස සලකන්නේ Doberman,  Rotweiller , Cocker Spaniel ආදියයි. නමුත් මෙම සුනඛයන්ගේ වලිගය කපා දැමීම අත්‍යවශ්‍යද ? වලිගය නොකපා තියෙන්නට හැරියොත් එයින් එම සතුන්ට වන අයහපත් බලපෑම කුමක්ද ?
           මෙසේ වලිගය කැපීම බොහෝ විටම සිදු කරන්නේ පැටවා ඉපදී දින 10 -14 අතර කාලයේදී ය. එවැනි කුඩා වයසක දී වලිගය කපා දැමීම හේතුවෙන් වේදනාව, රුධිරය වහනය ආදිය අවම වන බවට පවතින විශ්වාසය ඊට හේතුවයි. නමුත් මෙය වැරදි විශ්වාසයකි. කුඩා සතුන්ට ද වේදනාව දැනෙයි.  ශාරීරික වේදනාව දැනෙනුයේ ශරීර ස්කන්ධය පදනම් කර ගනිමින් නොවේ. බරපතල හිංසාවක් වන මෙම ක්‍රියාව ඉහත ප්‍රභේදවල සුනඛයන්ට හෝ වෙනත්  කිසිදු සුනඛයකුට වුව සිදු නොකළ යුත්තකි.
         සොබා දහම මගින් සුනඛයන්ට උපතින්ම වලිගයක් ලබාදී ඇත්තේ එයද ඔවුන්ට අත්‍යවශ්‍යම අවයවයක් වන නිසාය. සතුන්ගේ වලිගය එලෙස කපා දැමීමෙන් බොහෝ අය බලාපොරොත්තු වන්නේ වඩා ඉහළ වෙළඳ පොළ වටිනාකමක් විය හැකිය. එලෙසම පෙර කී ප්‍රභේදයන්හි සම්මත රූපය වලිගය කැපූ ආකාරයක් වීම මත එම ප්‍රභේදවල සතුන්ගේ වලිගය  කපා දැමීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක් සේ බොහෝ අය සළකති. නමුත් එය මේ සතුන්ට කරනු ලබන බලවත්  හිංසනයක් මෙන්ම දැඩි අසාධාරණයකි. වලිගයකින් සුනඛයෙකුට ඇති ප්‍රයෝජන මොනවාදැයි බලමු.
        තම සන්නිවේදන ක්‍රියාවලියේදී සුනඛයෙකු උපයෝගී කරගන්නා ප්‍රධාන අවයවයක් වන්නේ  වලිගයයි.
       එලෙසම සිරුරේ සමබරතාවය රැක ගැනීමටත්,  සුනඛයාට පහසුවෙන් පිහිනා යාමටත් ප්‍රයෝජනවත් අවයවයක් ලෙසද වලිගය සැලකේ.
       සතුන්ගේ මානසික සමතුලිත බව කෙරෙහි ද වලිගය  බලපාන බව හෙළිවී තිබෙන කරුණකි.
      වලිගය කපා දැමූ සතෙකු තුළ ස්වාමියා කෙරෙහි විශේෂ හීලෑ කමක් ඇති බවට සමාජයේ ඇතැමුන් තුළ  මතයක් පවතියි. නමුත් මෙය කිසිදු සත්‍යතාවයක්  හුදෙක් මිථ්‍යාවක් පමණි.
         ආරක්ෂක කටයුතුවලටත් වෙනත් රාජකාරී සඳහාත් යොදවා ගන්නා සුනඛයන්ගේ වලිගය බොහෝ විට කපා දමන්නේ නිතර වලිගය තුවාල කර ගැනීමට පිළියමක් ලෙස බව පවසන අය සිටිති. එහෙත් උපතින්ම උරුම වූ වලිගය හේතුවෙන් එවැනි උපද්‍රවයන් පැමිණීමට ඇති හැකියාව වෙනත් අවයවයන්ට සාපේක්ෂව වැඩි බවක් පැවසිය නොහැකිය. මන්ද යත් සොබාදහම එවැනි අසාර්ථක නිමැවුම් සිදු නොකරන බැවිනි.
        සුනඛයන්ගේ වලිගය  කපා දැමීම සමහර පුද්ගලයන් තම තමන් විසින්ම හිතුමතේ සිදුකරන අවස්ථා ද තිබේ. එවැනි විටෙක කැපූ ස්ථානය ආසාදනය වී සතාට හානිදායක තත්ත්වයන් ඇති විය හැකි නිසා මිනිසුන් වශයෙන් සතුන් සම්බන්ධයෙන්  මීට වඩා බොහෝ සෙයින්  සානුකම්පිත විය යුතු වෙයි.
උපදෙස්
පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සැකසුම – ඉන්දු පෙරේරා
සතුන්ටත් හිමි අපේ ලෝකය