2025 වසරේ විශේෂ සිදුවීම්

තවත් වසරක අවසානය ලඟා වී ඇත. මේ ගෙවී යන 2025 වසර ද ලොව පුරා බොහෝ විශේෂ සිදුවීම් සිදු වූ වසරකි.
පහත පළ වන්නේ ඒ පිලිබඳ කෙටි ආවර්ජනයකි.

ජනවාරි 07

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විනාශකාරීම ලැව් ගින්න වාර්තා විය. දැඩි සුළඟ සහ කලක් තිස්සේ පැවති නියඟ ලැව් ගිනිවල දරුණු බව වැඩි කිරීමට දායක වූ කාරණා විය. එම ප්‍රදේශයේ ඉදිකිරීම් 13,000 ක් පමණ ගින්නෙන් විනාශ වූ අතර 30 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූහ. 180,000 කට කිට්ටු සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදු විය.

ඇමරිකානු සිනමාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන හොලිවුඩ් ප්‍රදේශය ද ගින්නෙහි බලපෑමට ලක් වූයේය. ඇතැම් චිත්‍රාගාර තාවකාලිකව වසා දැමීමට සිදු වූ අතර චිත්‍රපට බොහොමයක නිශ්පාදන කටයුතු ඇණහිටියේය.

ඛලීඩා සියා

ජනවාරි 15

ශ්‍රී ලංකාව සමග ද සමීප සබඳතා ඇති රටක් වන දකුණු කොරියාවේ දේශපාලන ක්ෂේත්‍රය කැළඹ වූ සිදුවීමක් ජනවාරි මාසයේ සිදු විය. එනම් එරට ජනාධිපති ධුරය දැරූ යූන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීම යි. මෙයට හේතු වූයේ ඔහු හදිසියේම රට තුළ හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සිද්ධියකි. මේ ආකාරයෙන් හමුදා නීතිය පැන වූ විට ක්‍රියාත්මක වන්නේ හමුදා පාලනයකට සමාන තත්වයකි.

යූන් සූක් යෝල් මෙහි දී ක්‍රියා කර තිබුණේ ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් වූ නිසා ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ද ඉදිරිපත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජනාධිපති ධුරය අහිමි විය.

පෙබරවාරි 04

ස්වීඩන ජනතාව කම්පනයට පත් කළ සමූහ වෙඩි තැබීමක් මෙදින සිදු වූ අතර එය සැලකුණේ එරට ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම සමූහ වෙඩි තැබීම ලෙසිනි.
එරට අධ්‍යාපන ආයතනයකට කඩා වැදුණු තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව 10 දෙනෙක් මරණයට පත් වූහ. සිසුන් සහ ගුරුවරුන් ඔහුගේ ගොදුරු බවට පත් විය. අවසානයේ තුවක්කුකරු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගත්තේය. රිකාඩ් ඇන්ඩර්සන් නැමැති ඔහු කලක් මෙම ආයතනයේම අධ්‍යාපනය ලබා තිබූ කෙනෙකි.

මාර්තු 02

අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ පළමු වරට පෞද්ගලික සමාගමක් සඳ මත රොබෝ යානයක් ගොඩ බැස්සවීය. මෙයට පෙර සඳ මත යානා ගොඩ බැස්ස වූ නාසා වැනි සියලුම ආයතන රජයේ ආයතන ය.
ඉහත කී පෞද්ගලික සමාගමේ නම Firefly Aerospace ය. එය විසින් දියත් කරන ලද මෙම ඓතිහාසික සඳ ගමන හැඳින්වුණේ Blue Ghost Mission 1 යන නමිනි.

97 වැනි ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වුණේත් මෙදින යි. හොලිවුඩ් හි ඩොල්බි රඟහලේ පැවති මෙම උළෙලේ දී Anora නැමැති චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේය. එහි ප්‍රධාන චරිතය රඟ පෑ මයිකි මැඩිසන් හොඳම නිළිය ලෙස සම්මාන දිනූ අතර හොඳම නළුවා සම්මානය හිමි වුයේ The Brutalist චිත්‍රපටයේ රඟ පෑ ඒඩ්‍රියන් බ්‍රෝඩිට යි. Anora අධ්‍යක්ෂ ෂෝන් බේකර් හොඳම අධ්‍යක්ෂ සම්මානය දිනා ගත්තේය.

මාර්තු 11

පිලිපීනයේ අන්දෝලනාත්මක ජනාධිපතිවරයකු වූ රොඩ්‍රිගෝ ඩුටර්ටේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුවක් මත අත් අඩංගුවට පත් විය. ඒ පිලිපීනයේ මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඔහු දියත් කළ මෙහෙයුමේ දී සිදූ බවට චෝදනා එල්ල වූ අපරාධවලට අදාලව යි.

මාර්තු 28

මියන්මාරයට බල පෑ ඒකක 7.7 ක භූමිකම්පාවකින් 5,400 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූ අතර 11,400 කට ආසන්න ගණනක් තුවාල ලබූහ.

අප්‍රේල් 02

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ බොහෝ රටවලින් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ වෙනුවෙන් ඉහළ තීරු බදු ප්‍රකාශයට පත් කළේ මෙදින යි. මෙම තීරු බදු නිසා බොහෝ රටවල ආර්ථිකයන්ට විශාල බලපෑමක් එල්ල විය.

ඩොනල්ඩ් ට්‍රම්ප්

අප්‍රේල් 21

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ දිනය. 2013 වසරේ පාප් පදවියට පත් වූ උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 88 වැනි වියෙහි පසු වූහ.

අප්‍රේල් 22

ඉන්දියානු කාශ්මීර කලාපයේ දී දේශීය සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් 26 දෙනෙක් මරණයට පත් වූහ. පසුව මෙය ඉන්දියාව සහ පාකිස්තානය අතර අවි ගැටුමක් දක්වා දුරදිග ගියේය. ඉන්දියාව චෝදනා කරන්නේ මෙම ත්‍රස්තවාදී කණ්ඩායම්වලට පාකිස්තානයේ රැකවරණ ලැබෙන බව යි.

මැයි 03

ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂය නැවතත් ජයග්‍රහණය කළ අතර ඇන්තනී ඇල්බේනිස් යළිත් අගමැති ධුරයට පත් විය.

මෙදිනම සිංගප්පූරුවේ ද මහා මැතිවරණය පැවැත්විණි. ජයග්‍රහණය කළේ ඒ වනවිටත් බලයේ සිටි Peoples Action Party නම් පක්ෂය යි. ලෝරන්ස් වොං යළිත් අගමැති ධුරයට පත් විය.

මැයි 08

රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් පාප් පදවියට පත් විය. ඒ 14 වැනි ලියෝ යන නමිනි. ඔහු උතුරු ඇමරිකාවෙන් පාප් පදවියට පත් පළමුවැන්නා වීම විශේෂත්වයකි.

ජුනි 03

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර එයින් ජය ගනිමින් එම පදවියට පත් වූයේ ලී ජේ ම්යුං ය. නියමිත කාලයට කලින් එරට ජනාධිපතිවරණයක් පවත්වන්නට සිදු වුයේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල් දෝෂාභියෝගයක් තුළින් ධුරයෙන් පහ කිරීම නිසා ය.

ජුනි 12

ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපල ආසන්නයේ බිහිසුණු ගුවන් අනතුරක් සිදු වූ අතර එයින් මගීහු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 241 දෙනෙක් මිය ගියහ. ගුවන් තොටුපලෙන් අහසට නැගී සුළු වේලාවකට පසු අනතුරට පත් වූ යානය කඩා වැටුණේ වෛද්‍ය විද්‍යාලයක ගොඩනැගිල්ලක් මතට ය. ඒ නිසා එහි සිටි 19 දෙනෙක් ද මරණයට පත් වූහ.

යානයේ සිටි එක් මගියෙකු ජීවිතය බේරා ගැනීමට සමත් වීම විශේෂ සිද්ධියක් විය.

ජුලි 24

දේශ සීමා ප්‍රශ්න හේතුවෙන් කාම්බෝජය සහ තායිලන්තය අතර අවි ගැටුමක් පැන නැගිණි. දෙපාර්ශ්වය දේශ සීමා ආසන්නයේ එකිනෙකා වෙත ප්‍රහාර එල්ල කරගත් අතර මේ නිසා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වූහ. 40 කට ආසන්න ගණනක් මරණයට පත් වූ බව ද වාර්තා විය.

අගෝස්තු 15

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ඇලස්කාවේ දී පැවැත්විණි. යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ විය. මෙම හමුවෙහි විශේෂත්වයක් වූයේ 2022 වසරේ යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු ඇමරිකානු -රුසියානු ජනාධිපතිවරුන් දෙදෙනෙකු හමු වූ පළමු අවස්ථාව මෙය වීම යි.

අගෝස්තු 31

ඇෆ්ගනිස්තානයේ සිදු වූ ඒකක 6 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවකින් 2,200 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් විය. තවත් 3,500 ක් පමණ තුවාල ලබා ඇති බව ද වාර්තා විය.

සැප්තැම්බර් 08

නේපාල රජයට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතාවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති ෂර්මා ඔලිට ධුරයෙන් ඉවත් වීමට සිදු වූයේය. විරෝධතා මතු වූයේ දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ දූෂණ වංචාවලට එරෙහිව යි.

සැප්තැම්බර් 11

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසර 27 ක සිර දඬුවමක් නියම කළේය.

2022 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුවත් දිගටම බලයේ රැඳී සිටීම සඳහා ඔහු කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට චෝදනා එල්ල විය.

සැප්තැම්බර් 21

එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව යන රටවල් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගන්නා බව ප්‍රකාශයට පත් කළේය. පසු දා ප්‍රංශය ද ඔවුන්ට එකතු විය.

ඔක්තෝබර් 09

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඇමරිකාව විසින් යෝජනා කරන ලද සාම සැලැස්මේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා එකඟ වූහ. මේ නිසා දීර්ඝ කාලයකට පසු දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇති විය.

ඔක්තෝබර් 13

සාම සැලැස්මේ කොන්දේසිවලට අනුව හමාස් සංවිධානය ඔවුන්ගේ භාරයේ සිටි අවසන් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 දෙනා ද නිදහස් කිරීමට පියවර ගත්තේය.
ඊට හිලව්වට ඊශ්‍රයලය ද එරට තුළ රඳවා ගෙන සිටි පලස්තීන ජාතිකයන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කළේය.

ඔක්තෝබර් 21

සනායේ තකායිචි ජපානයේ අගමැති ධුරයට පත් වූ අතර එරට අගමැති ධුරයට පත් පළමු කන්තාව ලෙස ඉතිහාසයට එක් වූවාය.

සනායේ තකායිචි

නොවැම්බර් 04

පිලිපීනය, වියට්නාමය සහ තායිලන්තය හරහා හමා ගිය කල්මේගි සුළි කුණාටුව නිසා විශාල විනාශයක් සිදු වූ අතර 288 දෙනෙකු මරණයට පත්ව ඇති බව ද වාර්තා විය.

නොවැම්බර් 17

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට විනිශ්චය සභාවක් විසින් මරණ දඬුවම නියම කෙරිණි.
2024 වසරේ ඇයගේ පාලනයට එරෙහිව රට තුළ මතු වූ විරෝධතා මර්ධනය කළ ආකාරය සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබිණි. මෙම විරෝධතා අතර 1,400 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූ බැව් සඳහන් වේ.

ෂෙයික් හසීනා

විරෝධතා අතර රටින් පලා ගිය හසීනා මේ වනවිට රැඳී සිටින්නේ ඉන්දියාවේ ය.

නොවැම්බර් 25

ජපානයේ ටෝකියෝ නගරය පරාජය කරමින් ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ජනගහණය අතින් ලෝකයේ ලොකුම නගරය බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනාවරණය කළේය.

ජකර්තා හි ජනගහණය මේ වනවිට මිලියන 42 ක් බව වාර්තා වේ.

නොවැම්බර් 26

හොංකොං හි තට්ටු නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් 161 දෙනෙක් මරණයට පත් වූහ. තවත් 150 කට ආසන්න සංඛ්‍යාවක් පිලිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ද වාර්තා විය.

එදිනම තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව හරහා හමා ගිය සෙන්යාර් සුළි කුණාටුව නිසා 1,400 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූහ.

දෙසැම්බර් 20

ජර්මන් ජාතික ඉංජිනේරුවරියක වන මිෂෙලා බෙන්තෝස් අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය. එදින ඇය බ්ලූ ඔරිජින් යානයකින් අභ්‍යවකාශයට ගිය අතර රෝද පුටුවක් භාවිත කරන කෙනෙකු අභ්‍යවකාශයට ගිය පළමු අවස්ථාව එය විය.

දෙසැම්බර් 28

ප්‍රංශ සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැලකුණු සුප්‍රකට නිළි බ්‍රිජිට් බාඩෝ දිවි ගමන අවසන් කළාය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 91 ක් විය.
කෙතරම් ජනප්‍රිය නිළියක වුව ද ඇය වයස අවුරුදු 39 දී රංගනයට සමු දුන් අතර ඉන්පසු සත්ව සුබ සාධනය වෙනුවෙන් කලය කැප කළාය.

දෙසැම්බර් 30

බංග්ලාදේශ දේශපාලනයේ දැවැන්ත චරිතයක් වූ හිටපු අගමැතිනි ඛලීඩා සියා අභාවප්‍රාප්ත වූවාය. දැඩි ලෙස රෝගාතුරව සිටි ඇය මිය යන විට වයස අවුරුදු 80 ක් විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර