ඉන්දීය ගායන රැජින ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය සිනමාවේ සහ සංගීත ලෝකයේ අද්විතීය සලකුණක් තැබූ ප්‍රවීණ පසුබිම් ගායිකා ආශා බෝස්ලේ අද (12) දින අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 92 වැනි වියේ පසු වූ ඇය, මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මෙලොව හැර ගියාය. වියපත් භාවය හේතුවෙන් හටගත් බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව (Multi-organ failure) මරණයට හේතුව බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍ය ප්‍රතීත් සම්දානි තහවුරු කර ඇති අතර, හෘදයාබාධයක් සහ පපුවේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ දින හදිසියේ රෝහල් ගත කර තිබුණි.
ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට (13) පෙරවරු 11.00 ට ලෝවර් පරෙල් හි පිහිටි ‘කාසා ග්‍රෑන්ඩ්’ නිවසේ තැන්පත් කිරීමට නියමිතය. අනතුරුව අවසන් කටයුතු හෙට සවස 4.00 ට මුම්බායි හි ශිවාජි පාර්ක්හිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බව ඇයගේ පුත් ආනන්ද් බෝස්ලේ සඳහන් කර සිටියි.
වයස අවුරුදු 10 දී ‘මජා බාල්’ නම් මරාති චිත්‍රපටයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසි ආශා බෝස්ලේ, වසර 70 කට අධික කාලයක් පුරා ඉන්දීය සංගීතය පෝෂණය කළාය. ශාස්ත්‍රීය සංගීතයේ සිට පොප් සහ කැබරේ දක්වා විවිධ සංගීත ශෛලීන් ඔස්සේ ගීත දහස් ගණනක් ගායනා කළ ඇය, ගිනස් වාර්තා අතරටද එක් වූවාය. ‘දිල් චීස් ක්‍යා හේ’, ‘ආජා ආජා’ සහ ‘තන්හා තන්හා’ වැනි ගීත ඇය ලෝකයට දායාද කළ අමරණීය නිර්මාණ අතරින් කිහිපයකි. සිය දිවියේ අවසන් කාලය දක්වාම ක්‍රියාශීලීව සිටි ඇය, මෑතකදී ඩුබායි හි පැවති ප්‍රසංගයකදී ‘තවුබා තවුබා’ ගීතයට නර්තනයේ යෙදෙමින් දැක්වූ ජීව ගුණය කාගේත් පැසසුමට ලක්විය. ඇයගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ලොව පුරා කලාකරුවන් රැසක් මේ වන විට සිය ශෝකය පළ කරමින් සිටිති.