මැතිවරණයට පෙර විපක්ෂයේ සියළු අපේක්ෂකයන් දූෂිතයන් බව පවසා සිටි ජාතික ජනබලවේගය දැන් කොළඹ නගරාධිපති වරයා තම පක්ෂයෙන් පත් කර ගැනීමට විපක්ෂයේ සහාය ඉල්ලා සිටීමෙන් ජාතික ජනබලවේගයේ දෙබිඩි පිළිවෙත යළි රට හමුවේ එළි දැක්වෙමින් පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් මහතා පවසයි. ජාතික ජනබලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න මන්ත්රීවරුන් 59 ක් හෝ 60 ක් තිබිය යුතු මුත් ජාතික ජනබලවේගයට මන්ත්රී ආසන 48ක් පමණයක් ලැබී ඇති පසුබිමක සමගි ජනබලවේගය අනෙකුත් තරඟ කර ජයග්රහණය කළ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ද ඒ මහතා පවසයි.එමෙන්ම නගරාධිපතිවරයා ඡන්දයකින් තෝරාගැනීමේ දී සමගි ජනබලවේගය ඉදිරිපත් වන බව ද ඔහු පවසයි.
” පළාත් පාලන ආයතනවල පක්ෂ විපක්ෂ කියලා භේදයක් නෑ. ඒ වගේම ආණ්ඩු පක්ෂය විපක්ෂය වශයෙන් බෙදිල්ලකුත් පළාත් පාලන පනතේ නෑ. පළාත් පාලන ආයතනවල කාර්යය වන්නේ අදාළ ප්රදේශයේ යටිතල පහසුකම් දියුණු කර සංවර්ධනය කිරීම. ඒ වගේම ජාතික ජන බලවේගයේ කණ්ඩායමට වඩා සමගි ජනබලවේගයේ කණ්ඩායමට අත්දැකීම් වගේම කොළඹ නගරය පිළිබඳව, එහි ජනතාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අනෙකුත් කණ්ඩායම්වල සහායත් ලබාගෙන සමගි ජන බලවේගයනගරාධිපතිවරයෙක් කොළඹ නගර සභාවට පත් කරගන්න කටයුතු කරනවා යැයි ද මුජුබර් රහුමාන් මහතා පවසයි.