සක්‍රිය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) පස්වරුව දක්වා වලංගු වන පරිදී අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික, ධීවර ප්‍රජාවන්ට දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
අද(16) දිනයේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේ(15) පෙ.ව 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 116.5ක් ලෙස නිරිඇල්ල ප්‍රදේශයෙන් වාර්තාවිය.