සුනඛ සුරතලුන් නෑවීම පිළිබඳ පොදු ගැටලු කිහිපයක්

නිවස තුළම පවුලේ සාමාජිකයකු මෙන් ඇති දැඩි කරන සුනඛයන්ව දිනපතා නෑවීමට සමහරු පුරුදුව සිටිති. එනිසා මේ කතා කරන්නේ සුනඛ සුරතලුන් නෑවීම පිළිබඳව යි.

* සුනඛ සුරතලාව දිනපතා නෑවිය යුතුද?

මෙය නොකළ යුත්තකි. එයින් සිදුවන්නේ සොබා දහම මගින් සුනඛයාගේ සමෙහි සහ ලොම්වල ආරක්ෂාව උදෙසා ලබා දී ඇති තෙල් තට්ටුව ඉවත් වී සම වියළි ව ගොස් අක්‍රීය තත්ත්වයට පත්වීමයි. මෙය සුනඛ සුරතලාගේ සමෙහි ආසාදන ඇතිවීමට මෙන්ම සම නිරන්තරයෙන් කැසීමට ලක්වීමට ද හේතු වන අතර සමේ රැළි ඇතිවී අවලස්සන පෙනුමක් ද දිස්විය හැකිය.

* සුනඛ වර්ගවලට අනුව නෑවිය යුතු කාලසීමාවන් වෙනස්ද?

සුනඛයන් නෑවීමේ කාලය සුනඛයාගේ වර්ගය සහ නිවසින් පිටත සුනඛයා කරනු ලබන ක්‍රියාකාරකම් අනුව වෙනස් වෙයි. නිතර එළිමහනෙහි ක්‍රියාකාරකම්වල නිරත වන සුනඛයන් සති දෙකකට වරක් පමණ නෑවීම සුදුසු වේ. ඝනැති ලෝම සහිත සුනඛයන් මසකට හමාරකට වරක් පමණ නෑවීම ප්‍රමාණවත් ය. එවැනි සුනඛයන් නිතර නෑවීම මගින් සුනඛයාගේ ලෝම මෘදු වී එම සුනඛ වර්ගයෙහි විශේෂිතභාවය නැති වී යා හැකිය.

* සුනඛයකු නෑවීම ඇරඹිය යුතු කාලසීමාව

ඉපදී සති පහක් ගත වූ පසු සුනඛ පැටවා නෑවීම ආරම්භ කළ යුතුය. නිතර එළිමහනේ ගැවසෙමින් අපවිත්‍ර කරගන්නේ නම් සතියකට වරක් නෑවීම කළ හැකිය. නමුත් නිතර නිතර නෑවීම යනු සුනඛයා ඉක්මනින් රෝගී වීම බව ද සිහි තබා ගත යුතු වෙයි.

* නිතර නෑවීම අහිතකර නම් සුනඛයා පිරිසිදු කළ යුත්තේ කෙසේද?

මේ සඳහා ඇති හොඳම ක්‍රියාමාර්ගය වන්නේ සුනඛයාගේ ලොම් පීරීම ය. එය දිනපතාම වුවත් කළ හැකිය. ලොම් වර්ධනයට සේම එය මනාව පවත්වාගෙන යාමටත් මෙලෙස ලොම් පීරීමෙන් උදව්වක් වන බැවින් දිනපතා ලොම් පීරීම ඉතා යෝග්‍ය වේ. එමගින් සුරතලාට මනා පෙනුමක් ලැබෙන අතර සුනඛයාට අපූරු සුවයක්ද දැනෙනු ඇත.

* සුනඛයන් සඳහා වන ෂැම්පු වර්ග භාවිතා කළ යුත්තේ කෙසේද?

මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ නම් එය සුනඛයාගේ සමට කෙතරම් යෝග්‍ය ද යන්නයි. ෂැම්පු ඉතා මෘදු විය යුතු අතර එය සමේ ඇති ස්වභාවික තෙල් තට්ටුව විනාශ කර දමන්නක්ද නොවිය යුතුය. ඕනෑම සුනඛ ෂැම්පු වර්ගයක් සෑම සුනඛයෙකුටම සුදුසු නොවේ. ඕට් පිටි අඩංගු ෂැම්පු වර්ග නිතර සම කසන සුනඛයන් සඳහා යෝග්‍ය ය. ෂැම්පු බෝතලයෙහි දක්වා තිබෙන උපදෙස් පිළිපැදීමට විශේෂයෙන් වග බලා ගන්න.

* පරපෝෂිතයන් නැසීමට යොදන ෂැම්පු වර්ග නිතර භාවිතය නුසුදුසුද?

ප්‍රතිබැක්ටීරියා ගුණය සහිත chlorhexdine අඩංගු සුනඛ ෂැම්පු භාවිත කිරීමට බොහෝ දෙනෙක් හුරු වී සිටිති. සුනඛයාගේ ශරීරයෙහි වෙසෙන පරපෝෂිත සතුන් විනාශ කළ හැකි බව පවසන ෂැම්පු භාවිතය නිතර නොකළ යුතුය. හැකි නම් ඒවා භාවිත නොකරම සිටීම යහපත් ය. එයට හේතුව එවැනි විෂ රසායන පරපෝෂිතයන්ට මෙන්ම ඔබේ සුනඛ සුරතලාට ද අහිතකර වීම ය. සුනඛයාගේ ශරීරයෙහි මැක්කන් සිටින්නේ නම් pyrethrin, pyrethrum හෝ පැඟිරිතෙල් අඩංගු ෂැම්පු වර්ගයක් භාවිත කරන්න.

* සුනඛයන් නෑමට හුරුකරන්නේ කෙසේද?

නෑම බොහෝ සුනඛයන් අකමැති ක්‍රියාවකි. එනිසා මුලින්ම ඔබ කළ යුත්තේ නෑම කෙරෙහි සුනඛයා තුළ ප්‍රියතාවයක් ඇතිවන අයුරින් ඔබ හැසිරීම ය. නෑවීමට රැගෙන යාමට පෙර සුනඛයාගේ සියලු අවශ්‍ය උපකරණ සූදානම් කරගන්න. ඉන්පසු ජල නලය සමීපයෙන් සුනඛයාට පැනයාමට නොහැකි වන අයුරින් ඔහු රඳවා තබා ගත යුතුය. ශරීරයේ සිට නෑවීම ආරම්භ කරන්න. අවසන් වශයෙන් නෑවිය යුත්තේ හිසයි. එයට හේතුව සුනඛයා හිස නාවන විට බෙහෙවින් විරුද්ධත්වය පළ කිරීමයි. නමුත් සුනඛයාට ෂැම්පු හෝ සබන් ආලේප කරන්නේ නම් එය හිසෙන් ආරම්භ කිරීම කළ යුතුය.

* සුනඛයන් නෑවීමේ දී වැදගත් වන කරුණු

සුනඛයාගේ කන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. කන් ඉතා ඉක්මනින් ආසාදනවලට ගොදුරු වේ. එනිසා කන් තුළට ජලය නොයන පරිදි නෑවීම ප්‍රවේශමෙන් කළ යුතුය. එසේම කිසිවිටෙකත් සුනඛයාගේ මුහුණට එක එල්ලේ ජලය ඉසීමෙන් හෝ විදීමෙන් වළකින්න. එය සතාට ඉතා පීඩාකාරී අත්දැකීමකි. එසේ කළහොත් නැවත වතාවක් සුනඛයා නෑවීම සඳහා ගෙන යාම ඔබට ඉතා අපහසු වනු ඇත. නෑවීමේ දී ගල්වන ෂැම්පු හෝ සබන් ඉතා හොඳින් ඉවත් වනතුරු සුනඛයා සේදිය යුතුය. සමේ ෂැම්පු හෝ සබන් රැඳී සිටියොත් එය සුනඛයාගේ සමට අහිතකර වෙයි. සෑම නෑවීමක් අවසානයේම සුනඛයා ප්‍රිය කරන යමක් කෑමට දීමෙන් ඊළඟ වාරයේදී අපහසුවකින් තොරව නෑවීමට සුනඛයා පොළඹවා ගත හැකි වනු ඇත.

පශුවෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය