දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් ඇත. සුපිරි වෙළෙඳසල් රැසක පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 196 ත් 230 ත් අතර මිලකටයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව සිල්ලර වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 ත් 210 ත් අතර මිලක් දක්වා වැඩිවී ඇත. කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 170 ත් 195 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 50 කින්ද, කුඩා පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 64 කින්ද ඉහළ ගොස් ඇත.
වෙළෙඳපොළේ ලොකු පොල් ගෙඩියක තොග මිල රුපියල් 175 ත් 185 ත් අතර පරාසයක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව ලොකු පොල් ගෙඩියක තොග මිල සියයට 41 කින් ඉහළ ගොස් ඇතැයිද එම වාර්තාවේ සදහන්වෙයි.