විෂ මත් ද්‍රව්‍ය පාලනයට උදව් වෙන්න

සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත් ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩ පිළිවෙලට සෑම දෙනාගේම සහාය ලබා දෙන්නැයි කැබිනට් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.රටම එකට ජාතික වැඩපිළිවෙල තුළ විෂ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අවහිර කිරීම පමණක් නොව පුනරුත්ථාපන කටයුතු ද සිදු කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මේ සඳහා නාවික හමුදාවත් ආරක්ෂක අංශත් එක්ව විෂ මත්ද්‍රව්‍ය සැපයුම් දාමයට බාධා කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද එලෙස අත්අඩංගුවට ගෙන නීතිය හමුවට රැගෙන එන බවද සඳහන් කළේය.මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ අය සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලියද වේගවත් කර ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය ආදී වශයෙන් අමාත්‍යංශ ගණනාවක් ඒකාබද්ධව කටයුතු කරගෙන යන බවද පැවසුවේය.අලුත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයක් මේ වන විට ආරම්භ කරමින් පවතින බව ද සෑම දිස්ත්‍රික්කයකටම පහසුකම් සහිත එක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් යන බවද සදහන් කළේය.දැනටමත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන අලුතෙන් පටන්ගෙන ඇතැයිද, ඉදිරි දින කිහිපයේදී තවත් නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇර‍ඹෙනු ඇතැයි ද පැවසුවේය. දැනට පවතින රජයේ ගොඩනැගිලි අතරමැදි මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා රජයේ ගොඩනැගිලි දැනටම හඳුනා ගනිමින් අදාල අමාත්‍යංශ ඒ සදහා කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් පැවසුවේය.ඇතැම් පුද්ගලයින්ට පුනරුත්ථාපනය, මනෝ උපදේශනය මෙන්ම ප්‍රතිකාර ද සිදුකළ යුතු වන බව පෙන්වා දුන් කැබිනට් ප්‍රකාශක වරයා මෙම සියලු කටයුතු වලට මැදිහත් වෙමින් එම අංශ ශක්තිමත් කරමින් රජය මෙම ව්‍යාපාරය දියත් කරමින් සිටින බවද අවධාරණය කළේ ය.

කාලීන පුවත්