නන්දන ගුණතිලක අවසන් කටයුතු අද වාද්දුවේ දී

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21)සවස 4ට වාද්දුව පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.දේහය මේ වනවිට වාද්දුව වයි.එම්.බී.ඒ. ශාලාවේ තැන්පත් කර තිබේ.නන්දන ගුණතිලක මහතාගේ දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද ඒ මහතා මරණයට පත් වූ ආකාරය සම්බන්ධ්යෙන් පාර්ශව කිහිපයක් සැක මතු කිරීම හේතුවෙන් අවශ්‍ය වුවහොත් අධිකරණ නියෝග මත යළි ගොඩ ගැනීමට අවකාශ සළසමින් එය භූමදානය කිරීමට තීරණය කළ බව ඒ මහතාගේ නැඟණිය වන මංගලා කරුණාතිලක මහත්මිය පවසයි.එමෙන්ම තමන් කුමන ආකාරයකින් හෝ ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බව ඒ මහතා ද කිහිප වරක්ම ප්‍රසිද්ධියේ පවසා තිබිණ. 1962 වසරේ සැප්තැම්බර් 7 වනදා පානදුර ප්‍රදේශයේදී උපත ලැබූ නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන ඉදිරි පෙළ සාමාජිකයෙකි.1988-89 භීෂණ සමයෙන් පසු විසිරී තිබූ ජනතා විමුක්ති පෙරමුණ යළි නඟා සිටුවීමෙහි ලා පුරෝගාමී වූ ඒ මහතා 1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද ඉදිරිපත් විය.2009 වසරේදී එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ සංචාරක අමාත්‍ය ධූරයේ ද වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධූරයේ ද නන්දන ගුණතිලක මහතා කටයුතු කරනු ලැබීය.පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය හරහා සිය දේශපාලන කටයුතු සිදුකළ ඔහු එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ සභාපති ධූරයේ ද කටයුතු කරනු ලැබීය.වත්මන් රජය විසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව නන්දන ගුණතිලක මහතා අවස්ථා ගණනාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකර තිබුණි.
කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රොහලට ඇතුළු කරනු ලදුව පසුව රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලදුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වනදා අලුයම අභාවප්‍රාප්ත විය.මිය යන විට නන්දන ගුණතිලක මහතා 63 වන වියේ පසුවුණි.

කාලීන පුවත්