ඩොලර් බිලියන සිය ගණනක ලාභ උපදවන පදිකයින්ගේ පිබිදීම


ලොව පුරා විවිධ නගර දෙස බලන විට, මිනිසාගේ සංචරණ රටාවේ ඉතා පැහැදිලි සහ සුවිශේෂී පරිවර්තනයක් සිදුවෙමින් පවතින බව පෙනේ. පසුගිය සියවස පුරාම ලෝකය පාලනය වූයේ රථවාහනවල අවශ්‍යතාව පරිදි වුවද, මිනිස් ගමනාගමනයේ මූලික සහ පැරණිතම ක්‍රමය වූ “ඇවිදීම” දැන් නැවතත් ඉස්මතු වෙමින් පවතී. ඇවිදීම යනු දැන් හුදෙක් අවශ්‍යතාවක් නිසාම කරන දෙයක් නොවේ. එය පරිසරයේ තිරසාර බව, පෞද්ගලික සෞඛ්‍යය සහ උසස් ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් මිනිසුන් විසින්ම දැනුවත්ව තෝරාගනු ලබන ජීවන රටාවකි. “පදිකයින්ගේ පිබිදීම” (Pedestrianism) හෝ “ක්‍රියාකාරී සංචලතාව” ලෙස හැඳින්වෙන මෙම නව ප්‍රවණතාව, නගර සැලසුම්කරණයේ, පාරිසරික ප්‍රතිපත්තිවල සහ එදිනෙදා සංස්කෘතියේ සිදුවන විශාල වෙනසක් ලොවට කියාපායි. මෙය ව්‍යායාමයක් ලෙස ඇවිදීම හෝ දිවීම (jogging) හෝ නොවන බව සඳහන් කළ යුතුය.

මෙම පිබිදීම පිටුපස ඇති ප්‍රධානතම පදනම වන්නේ, මෝටර් රථ වෙනුවට මිනිසුන් කේන්ද්‍ර කරගෙන නිර්මාණය කරන ලද නගර මගින් පුද්ගලයාට මෙන්ම සමස්ත සමාජයටම අතිමහත් වාසි සැලසෙන බව වර්තමානයේ පිළිගැනීමට ලක්වීමයි. මෑතකදී සිදුකළ පර්යේෂණ මගින් මෙම ප්‍රවණතාවයේ බලපෑම සහ එහි පරිමාණය මැනවින් තහවුරු කර ඇත. ලොව පුරා විසිරුණු නගර 11,500කට වඩා වැඩි ප්‍රමාණයක් ඇසුරින් කළ පුළුල් ගෝලීය අධ්‍යයනයකට අනුව, ඇවිදීම සහ පාපැදි භාවිතය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් වායුගෝලයට මුදාහරින කාබන් විමෝචනය දළ වශයෙන් සියයට හයකින් පමණ අඩු කළ හැකිය. එපමණක් නොව, එමගින් ජනතාවගේ සෞඛ්‍යය යහපත් වීම නිසා වසරකට ඩොලර් බිලියන සිය ගණනක මුදලක් ඉතිරි කරගත හැකි බව ද සොයාගෙන ඇත. මෙය සැබවින්ම පුදුම සහගත මෙන්ම ඉතා වැදගත් ප්‍රතිඵලයකි.

ඇවිදීම යනු සැමවිටම මිනිස් ජීවිතයේ මූලිකම අංගයක්ව පැවති දෙයකි. මෝටර් රථ ලොවට හඳුන්වා දීමට පෙර, නගර සහ ගම්මානවල රිද්මය තීරණය වූයේ පදිකයින්ගේ පියවර මගිනි. එදා වෙළඳපොළවල්, පාසල් සහ වැඩ බිම් සියල්ලම පාහේ නිවසේ සිට ඉතා සමීපව පිහිටා තිබූ අතර, මිනිස්සු ඇවිදීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකූහ. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෝටර් රථවල ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා නගර නිර්මාණය කිරීමේ පදනම වෙනස් විය. පුළුල් මහා මාර්ග, විසිරුණු තදාසන්න ප්‍රදේශ සහ පදිකයාට වඩා වාහනවලට ප්‍රමුඛතාව දෙන යටිතල පහසුකම් හේතුවෙන් නගර වඩාත් සංකීර්ණ විය.

ඇවිදීම යනු සැමවිටම මිනිස් ජීවිතයේ මූලිකම අංගයක්ව පැවති දෙයකි. මෝටර් රථ ලොවට හඳුන්වා දීමට පෙර, නගර සහ ගම්මානවල රිද්මය තීරණය වූයේ පදිකයින්ගේ පියවර මගිනි. එදා වෙළඳපොළවල්, පාසල් සහ වැඩ බිම් සියල්ලම පාහේ නිවසේ සිට ඉතා සමීපව පිහිටා තිබූ අතර, මිනිස්සු ඇවිදීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකූහ. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෝටර් රථවල ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා නගර නිර්මාණය කිරීමේ පදනම වෙනස් විය. පුළුල් මහා මාර්ග, විසිරුණු තදාසන්න ප්‍රදේශ සහ පදිකයාට වඩා වාහනවලට ප්‍රමුඛතාව දෙන යටිතල පහසුකම් හේතුවෙන් නගර වඩාත් සංකීර්ණ විය.

නමුත් අද වන විට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම ආපසු හැරෙමින් පවතී. ඇවිදීම යනු දැන් හුදෙක් ශාරීරික ව්‍යායාමයක් හෝ විවේකීව කරන විනෝදාංශයක් පමණක් ලෙස නොසැලකේ. එය සෞඛ්‍යය, පරිසරය සහ ප්‍රජා සබඳතා ශක්තිමත් කරන නාගරික ප්‍රවාහන පද්ධතියක අත්‍යවශ්‍ය අංගයක් ලෙස පිළිගැනේ. මෙම මානසික වෙනස ඇති වීමට විද්‍යාත්මක පර්යේෂණ, නව ප්‍රතිපත්ති සහ මහජන ක්‍රියාකාරීත්වය බෙහෙවින් බලපා ඇත. කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සහ ගූගල් (Google) ආයතනය එක්ව ලොව පුරා මහාද්වීප රැසක ගමන් රටාවන් විශ්ලේෂණය කරමින් සිදු කළ අධ්‍යයනයකට අනුව, ආරක්ෂිත පදික වේදිකා සහ මිනිසුන්ට හිතකර ලෙස මාර්ග නිර්මාණය කර ඇති නගරවල මිනිසුන් ඇවිදීමට සහ පාපැදි පැදීමට වැඩි උනන්දුවක් දක්වයි. එවැනි තීරණ මගින් ලෝකයේ දේශගුණික විපර්යාස පවා පාලනය කිරීමට විශාල දායකත්වයක් ලබා දිය හැකි බව එම පර්යේෂණය පෙන්වා දෙයි.

කොලොම්බියාවේ බොගෝටා

නගර සැලසුම්කරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයෝ දැන් මෙම කරුණු පාදක කරගනිමින් නගර කළමනාකරණය කරන ආකාරය ගැන නැවත සිතා බලමින් සිටිති. ඇවිදීම යනු මාර්ගයේ අයිනක ඇති පටු තීරුවකට සීමා වූ දෙයක් ලෙස නොව, නාගරික ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙස ඔවුහු දැන් සලකති. එදිනෙදා අවශ්‍යතා පහසුවෙන් සපුරාගත හැකි ලෙස එකිනෙකට සමීපව නිර්මාණය කළ නිවාස සංකීර්ණ සහ මිනිසුන් අතර අන්තර් සම්බන්ධතා වැඩි දියුණු වන පරිදි නවීකරණය කරන ලද නගර මධ්‍යස්ථාන දැන් වැඩි වැඩියෙන් ඉදිවෙමින් පවතී.

නූතන නගර සැලසුම්කරණයේ මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන සංකල්පය වන්නේ “විනාඩි 15 නගරය” (15-Minute City) යන්නයි. මෙහි මූලික අදහස වන්නේ, පුද්ගලයෙකුට අවශ්‍ය කරන ආහාර පාන, අධ්‍යාපනය, උද්‍යාන, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සියල්ලම තම නිවසේ සිට කෙටි ඇවිදීමකින් හෝ පාපැදි ගමනකින් විනාඩි 15ක් ඇතුළත ලබාගත හැකි විය යුතු බවයි.

මෙම ආකෘතිය හුදෙක් සැලසුම්කරණයේ පවතින සිහිනයක් පමණක් නොවේ. පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ මෙලෙස සේවා ස්ථාන සහ අවශ්‍යතා තම නිවසට ආසන්නව පිහිටා ඇති නගරවල ප්‍රවාහනය නිසා සිදුවන කාබන් විමෝචනය ඉතා අඩු මට්ටමක පවතින බවයි. එමෙන්ම එය මිනිසුන්ගේ සෞඛ්‍යය දියුණු කරන අතර දිනපතා රථවාහන භාවිත කිරීමේ අවශ්‍යතාව ද අඩු කරයි. මෙවැනි පරිසරයක මිනිසුන් ඇවිදින්නේ එය තම එදිනෙදා ජීවිතයේ ඉතාමත් ප්‍රායෝගික සහ තර්කානුකූල ක්‍රමය වන බැවිනි.

මෙම ආකෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මෝටර් රථ මුල් කරගෙන ඉදිවූ නගරවල යටිතල පහසුකම් වෙනස් කිරීම විශාල අභියෝගයක් විය හැකිය. නමුත් මෙම ක්‍රමය දැනටමත් සාර්ථක වී ඇති නගරවලින් ලැබෙන ප්‍රතිඵල ඉතාමත් යහපත් ය. එහිදී වඩාත් ක්‍රමවත් වීදි ජාලයක්, ආරක්ෂිත පදික මාරුවීම්, ඇවිදින මිනිසුන් නිසා දියුණු වන කුඩා අවන්හල් සහ ව්‍යාපාර දැකගත හැකිය. මේ හරහා වාහනවල ශබ්දයෙන් තොර, වඩාත් සජීවී සහ මිනිසුන්ගෙන් පිරි පරිසරයක් නිර්මාණය වේ.

ලොව පුරා බොහෝ නගර පදිකයින්ව නැවතත් නාගරික ජීවිතයේ කේන්ද්‍රය බවට පත්කිරීම සඳහා විවිධ ධනාත්මක පියවර ගනිමින් සිටී. නිදසුනක් වශයෙන්, ප්‍රංශයේ පැරිස් නුවර වැසියන්ගේ කැමැත්ත මත නගරයේ වීදි සිය ගණනක් වාහනවලින් තොර ප්‍රදේශ බවට පත්කර ඇත. කලින් වාහන තදබදයෙන් පිරී තිබූ මෙම මාර්ග දැන් හරිත මාවත්, ඇවිදින මංතීරු සහ මිනිසුන්ට විවේකීව ගත කළ හැකි පොදු ස්ථාන බවට පත්ව ඇත. මෙය මිනිසුන්ගේ කැමැත්ත පරිදි වීදි නිර්මාණය විය යුතුය යන සංස්කෘතික වෙනසක් පෙන්නුම් කරයි.

එලෙසම, කොලොම්බියාවේ බොගෝටා (Bogotá) වැනි නගර, ඇවිදීම තම නගර සංස්කෘතියේ කොටසක් බවට පත් කරගෙන ඇත. එම නගරයේ ප්‍රසිද්ධ “Ciclovía” වැඩසටහන යටතේ සෑම ඉරිදාවකම සැතපුම් ගණනාවක් වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබේ. එදිනට මිලියන සංඛ්‍යාත ජනතාවක් ඇවිදීමට, පාපැදි පැදීමට සහ ව්‍යායාම කිරීමට මෙම වීදිවලට එක්රැස් වෙති. මෙය දැන් හුදෙක් රථවාහන පාලනය කිරීමේ ක්‍රමයක් පමණක් නොව, මිනිසුන් අතර සමාජ සබඳතා ශක්තිමත් කරන සහ ක්‍රියාශීලී ජීවන රටාවක් දිරිමත් කරන ප්‍රජා චාරිත්‍රයක් බවට පත්ව ඇත.

යම් යම් යටිතල පහසුකම් ගැටලු පවතින ප්‍රදේශවල පවා දේශීය මට්ටමින් මෙවැනි වෙනස්කම් සිදුවෙමින් පවතී. කැලිෆෝනියාවේ සැන්ටා කෲස් (Santa Cruz) නගරයේ සැලසුම්කරුවන් ජනතාවගේ ඍජු දායකත්වය ඇතිව ඇවිදීමට සහ පාපැදි පැදීමට වඩාත් ආරක්ෂිත මාර්ග නිර්මාණය කිරීමට කටයුතු කරයි. මෙමගින් පෙනී යන්නේ ඇවිදීම යනු පොදු මහජනතාවගේ ප්‍රමුඛතාවක් ලෙස දැන් පිළිගැනීමට ලක්ව ඇති බවයි.

පදිකයන්ගේ මෙම නව පිබිදීම හුදෙක් ප්‍රවාහනය සම්බන්ධ කාරණයක් පමණක් වූවක් නොවේ. එය මානව සෞඛ්‍යය සහ පාරිසරික යහපැවැත්ම සමඟ ඉතා සමීපව සම්බන්ධ වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අනෙකුත් ගෝලීය ආයතන නිරන්තරයෙන් අවධාරණය කරන්නේ ඇවිදීම සහ පාපැදි භාවිතය යනු මහජන සෞඛ්‍යය නංවාලීමට, බෝ නොවන රෝග වළක්වා ගැනීමට සහ වායු දූෂණය පාලනය කිරීමට ඇති ඉතාමත් ලාභදායී ක්‍රමවේදයන් බවයි.

ඇවිදීම මගින් ගැඹුරු සමාජීය අවශ්‍යතා ද සපුරාලනු ලබයි. මිනිසාගේ ශාරීරික ක්‍රියාකාරකම් ඔහුගේ මානසික සුවය, ප්‍රජා සම්බන්ධතාව සහ නගරය කෙරෙහි ඇති ලැදියාව සමඟ සම්බන්ධ වී ඇති බව බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත. මිනිසුන් ඇවිදින විට ඔවුන්ට තම අසල්වාසීන් හමු වේ. පර්යේෂකයන් දැන් සොයා බලමින් සිටින්නේ ඇවිදින විට මිනිසාගේ සිරුරේ ක්‍රියාකාරිත්වය සහ හැඟීම් වෙනස් වන ආකාරය පිළිබඳවයි. ඇවිදීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේදී හුදෙක් මාර්ගයේ දිග හෝ යටිතල පහසුකම් ගැන පමණක් නොව, එම පරිසරය තුළ මිනිසාට දැනෙන මානසික ආතතිය, පහසුව සහ සතුට ගැන ද දැන් සැලසුම්කරුවන්ගේ අවධානය යොමු වී ඇත.

ඇවිදීමෙන් ලැබෙන වාසි රැසක් තිබුණ ද, මෙම ගෝලීය පිබිදීම හමුවේ අභියෝග රැසක් ද පවතී. බොහෝ අඩු ආදායම්ලාභී රටවල සහ ශීඝ්‍රයෙන් වර්ධනය වන විශාල නගරවල (Megacities) පදිකයින් සඳහා ඇති පහසුකම් තවමත් ප්‍රමාණවත් නොවන මට්ටමක පවතී. මාර්ග අනතුරුවලින් පදිකයින් මියයෑම තවමත් බරපතළ ගැටලුවක් ලෙස පවතී. විශේෂයෙන් වාහන අධික වේගයෙන් ගමන් කරන සහ මාර්ගය හරහා මාරුවීමට නිසි පහසුකම් නොමැති ස්ථානවල මෙම අවදානම වැඩි ය. ඇවිදීම ප්‍රචලිත කිරීමට නම් මාර්ග සැලසුම් වෙනස් කරනවා මෙන්ම, අතීතයේ සිටම නගර සැලසුම්කරණයේදී සිදු වී ඇති අසමානතා සහ වැරදි නිවැරදි කිරීමට ද සිදු වේ.

නිදසුනක් ලෙස, අප්‍රිකානු රටවල් දැන් තම ප්‍රවාහන උපායමාර්ගවලට ඇවිදීම සහ පාපැදි භාවිතය ඇතුළත් කරමින් සිටී. මහාද්වීපික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් සහ කලාපීය සහයෝගිතාව හරහා මෙම වෙනස වේගවත් වෙමින් පවතී. මෙය පෙන්වා දෙන්නේ මෝටර් රථ භාවිතය අලුතින් ආරම්භ වූ රටවල පවා මිනිසුන් කේන්ද්‍ර කරගත් ප්‍රවාහන ක්‍රමවේදයන් දියුණු කිරීමට විශාල උනන්දුවක් පවතින බවයි.

කැලිෆෝනියාවේ සැන්ටා කෲස්

ඇමරිකා එක්සත් ජනපදය දෙස බැලීමේදී එහි මිශ්‍ර තත්ත්වයක් දැකිය හැකිය. ඇතැම් නගර පදිකයන් සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන අතර, තවත් ඇතැම් නගර ලෝකයේ ඇවිදීමට අපහසුම නගර ලැයිස්තුවට තවමත් ඇතුළත් වේ. මෙය පෙන්වා දෙන්නේ පවතින සිහිනය සහ යථාර්ථය අතර තවමත් පරතරයක් පවතින බවයි. කෙසේ වෙතත්, ප්‍රතිපත්ති සම්පාදනය සහ නිසි යටිතල පහසුකම් හරහා පැරණි ගමන් රටාවන් වෙනස් කළ හැකි බවට දැන් විශ්වාසයක් ගොඩනැගී ඇත.

පදිකයින්ගේ මෙම ගෝලීය පිබිදීම කැපී පෙනෙන්නේ එය ලොව පුරා ඉතා ගැඹුරින් ව්‍යාප්ත වී ඇති බැවිනි. මෙය හුදෙක් යුරෝපයේ ධනවත් රටවලට පමණක් සීමා වූවක් නොවේ. එය තම නගරය සෞඛ්‍ය සම්පන්න, තිරසාර සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් වන ස්ථානයක් ලෙස දකින සැමගේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ. “මිනිසුන් ඇවිදින විට නගර හුස්ම ගනී” යන කරුණ දැන් පර්යේෂණාගාරවල සිට නගර සභා කාර්යාල දක්වාම ඉතා පැහැදිලිව තහවුරු වී ඇත.

පදිකයින්ගේ මෙම ගෝලීය පිබිදීම කැපී පෙනෙන්නේ එය ලොව පුරා ඉතා ගැඹුරින් ව්‍යාප්ත වී ඇති බැවිනි. මෙය හුදෙක් යුරෝපයේ ධනවත් රටවලට පමණක් සීමා වූවක් නොවේ. එය තම නගරය සෞඛ්‍ය සම්පන්න, තිරසාර සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් වන ස්ථානයක් ලෙස දකින සැමගේ මූලික අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ. “මිනිසුන් ඇවිදින විට නගර හුස්ම ගනී” යන කරුණ දැන් පර්යේෂණාගාරවල සිට නගර සභා කාර්යාල දක්වාම ඉතා පැහැදිලිව තහවුරු වී ඇත.

නගර සැලසුම්කරණයේදී සමීපත්වය සහ ප්‍රවේශවීමේ පහසුව ගැන අවධානය යොමු කරන විට, ඇවිදීම යනු අතීතය පිළිබඳ සොඳුරු මතකයක් පමණක් නොවනු ඇත. එය වඩාත් සජීවී, ශක්තිමත් සහ සැබෑ මානුෂීය ගති ලක්ෂණවලින් පිරි නාගරික පරිසරයක් ගොඩනැගීම සඳහා වූ අනාගතවාදී උපායමාර්ගයකි. අප මේ තබමින් සිටින්නේ වඩාත් යහපත් අනාගතයක් කරා වූ වැදගත් පියවරකි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

නිතර නොඇසෙන කතා