සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රුපියල් ලක්ෂ 5,000 කට ආසන්න අතිරේක මුදලක් නීති විරෝධී ලෙස ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වන බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හරහා වහාම විමර්ශනයක් පවත්වන ලෙසත් ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය රජයෙන් ඉල්ලා සිටී. කථානායකවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් එම සංවිධානය අවධාරණය කරන්නේ, නිසි සංවරණ හා තුලන (Checks and Balances) ක්‍රමවේදයකින් තොරව රාජ්‍ය මුදල් පරිහරණය කිරීම බරපතළ අපරාධයක්, දූෂණයක් සහ වංචාවක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව රජයේ මුදල් පාලනය පිළිබඳ පරම බලය හිමි පාර්ලිමේන්තුව, මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් වහාම කරුණු විමසිය යුතු බව එම ලිපියේ සඳහන් වේ.
අප්‍රේල් මාසයේදී ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලැබීමට නියමිතව සිටි පවුල් ලක්ෂ 18 කට ආසන්න සංඛ්‍යාව අතුරින් කොපමණ පිරිසකට නියමිත ප්‍රමාණයට වඩා වැඩි මුදලක් හෝ ද්විත්ව ගෙවීම් (Double Payments) ලැබී ඇත්දැයි හෙළි කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී. විශේෂයෙන්ම කෑගල්ල, මොණරාගල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙලෙස ද්විත්ව ගෙවීම් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් මෙතෙක් ආරම්භ කර නොමැති වීම ගැටලු සහගත බව ඔවුන් පෙන්වා දෙයි. කිසිදු සොයා බැලීමකින් තොරව වගකීම් විරහිත ලෙස මෙලෙස මහජන මුදල් බෙදාහැරීම පිටුපස සිටින නිලධාරීන් කවුරුන්ද යන්නත්, සුබසාධක මණ්ඩලයේ මූල්‍ය බලතල පැවරීමේ කාර්ය පටිපාටියෙන් බැහැරව මෙම ගෙවීම් සිදු කළේ කවුරුන්ද යන්නත් අනාවරණය කරගත යුතු බව එම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එමෙන්ම, මෙම මූල්‍ය නාස්තියට වගකිව යුතු දේශපාලන පත්වීම්ලාභී නිලධාරීන් හෝ කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් පවත්වා නොමැති වීම පිළිබඳවද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ප්‍රශ්න කරයි. මුදල් රෙගුලාසි 135 යටතේ නිසි බලතල පැවරීමකින් තොරව මෙම ගනුදෙනු සිදුව ඇත්ද යන්නත්, මහා භාණ්ඩාගාරය මේ පිළිබඳව පූර්ව විමර්ශනයක් සිදු කර ඇතිද යන්නත් වහාම සොයා බැලිය යුතුය. මෙය හැකර් ප්‍රහාරයක් හෝ අත්වැරදීමක් ලෙස බැහැර කළ නොහැකි බවත්, මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය වැනි වගකිව යුතු ආයතනවලට පරිපාලන පළපුරුද්දක් නොමැති පුද්ගලයන් දේශපාලන පත්වීම් මත ඇතුළත් කිරීමේ භයානක ප්‍රතිඵලයක් ලෙස මෙය පෙනී යන බවත් එම සංවිධානය සිය ලිපිය මඟින් වැඩිදුරටත් කථානායකවරයාට දන්වා සිටී.