සෞදියෙන් ශ්‍රී ලාංකික අනෝජන්ට ලැබුණු නිදහස සහ බංග්ලාදේශ යුවළගේ හිස් ගසා දැමීම

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනා මත, සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයකු වන අනෝජන් සිවරාසා, එරට පැවති සියලුම නීතිමය ක්‍රියාමාර්ගවලින් නිදහස් කර තිබේ.

ශ්‍රී ලංකා රජය සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්වලින් අනතුරුව, සෞදි අරාබියේ මහජන අභිචෝදක කාර්යාලය (Public Prosecution) ඔහුට එරෙහිව තවදුරටත් නඩු කටයුතු පවත්වාගෙන නොයෑමට තීරණය කර ඇත. එම තීරණය 2026 නොවැම්බර් 9 වැනිදා ගෙන ඇති අතර, නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා රජය විසින් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඔහුට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් ද අහෝසි වී තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කර ඇත්තේ, ඉදිරි සති එකත් දෙකත් අතර කාලය තුළ අනෝජන් සිවරාසා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

මෙම නීතිමය අර්බුදය ආරම්භ වූයේ 2026 ජූලි 1 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟය. ෆේස්බුක් සටහනක් මඟින් ඉස්ලාම් ආගමික සංවේදීතාවන්ට හානි වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව නඩුවේ ඉදිරි පියවර මෙසේ සිදු විය:

  • ජූලි 27: සෞදි අරාබියේ අල් අහ්සා අපරාධ අධිකරණය ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කළේය.

  • සැප්තැම්බර් 17: නැගෙනහිර පළාතේ අභියාචනාධිකරණයක් මඟින් එම දඬුවම මරණ දඬුවමක් දක්වා ඉහළ නංවන ලදී.

  • ඔක්තෝබර් 13: ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල බලපෑම් මධ්‍යයේ, ඔහුට පනවා තිබූ මරණ දඬුවම සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලදී. ඉන් අනතුරුව නඩුව නැවත විභාග කිරීම සඳහා අල් අහ්සා අපරාධ අධිකරණයට යොමු කෙරිණි.

  • ඔක්තෝබර් 27: පැවති නඩු විභාගයේදී වැඩිදුර විමර්ශන සඳහා නඩුව මහජන අභිචෝදක කාර්යාලය වෙත යොමු කරන ලදී.

  • නොවැම්බර් 9: එම විමර්ශනවලින් අනතුරුව නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයෑමට මහජන අභිචෝදක කාර්යාලය තීරණය කිරීමත් සමඟ ඔහුට එරෙහිව පැවති සියලුම නීතිමය කටයුතු අවසන් විය.

අනෝජන් සිවරාසා
අනෝජන් සිවරාසා

මෙම නිදහස ලබාගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් මෙන්ම, සෞදි අරාබි රජයේ සහ අධිකරණ පද්ධතියේ සහයෝගය ද බලපා තිබේ. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ මැදිහත්වීම් සහ නීතිමය සහාය ලබාදීම සඳහා සෞදි අරාබියට ගිය ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමේ දායකත්වය ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද දැඩි අවධානයක් යොමු කර තිබිණි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සහ හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) වැනි සංවිධාන ඔහුට මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, එම තීන්දුව අවලංගු කර ඔහු නිදහස් කරන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

තවද, ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ජාත්‍යන්තර මානව හිමිකම් හා ආගමික නිදහස පිළිබඳ කොමිසම (International Commission for Human Rights and Religious Freedom – ICHRF) ද ඔහුගේ නිදහස වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටි අතර, නොවැම්බර් 6 වැනිදා ඔහු ‘හෘදය සාක්ෂියේ සිරකරුවකු’ (Prisoner of Conscience) ලෙස නම් කරමින් නිවේදනයක් ද නිකුත් කළේය. හෘදය සාක්ෂියේ සිරකරුවකු යනු කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සම්බන්ධ නොවී, තමන් දරන මතය හෝ විශ්වාසය මත සිරගත වූවකු බවට එම කොමිසම දැක්වූ මතය, අනාගතයේ සිරකරුවන් වර්ගීකරණය කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් යොදා ගැනෙනු ඇති බව නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.මේ අතර, අනෝජන් ශිවරාජා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය බලපෑම ප්‍රධාන වශයෙන් ඉවහල් වූ බවට ද මත පවතී. එය හැඳින්වෙනුයේ සෘජු රාජ්‍ය මැදිහත්වීමකට වඩා දේශපාලනික හා මහජන පීඩනයක් ලෙසිනි. සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දුන් අනෝජන් ශිවරාජා වෙනුවෙන් ශ්‍රී ලංකා දෙමළ නායකයන් සහ ඉන්දියාවේ තමිල්නාඩුවේ දේශපාලනඥයන්, මැදිහත් වන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටි අතර, ඉන්දියාවට සෞදි රජ පවුල සමඟ ඇති සමීප සබඳතා මේ සඳහා යොදාගත හැකි බවට තර්ක කොට තිබේ. ඒ අතර, ඉන්දීය විදේශ අමාත්‍යාංශයට ලිපි යොමු කිරීම්, විශ්ව හින්දු පරිෂද් සංවිධානයේ (VHP) ඉල්ලීම් සහ සමාජ මාධ්‍ය ව්‍යාපාර හරහා ද මෙම කරුණ සම්බන්ධයෙන් ඉන්දීය මැදිහත්වීම සඳහා පෙලඹවීම් ඇති විය.

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ද නොවැම්බර් 11 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ජනාධිපතිවරයාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත්, මෙම නිදහස ලබාගැනීම සඳහා දායක වූ රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ටත් සිය කෘතඥතාව පළ කළහ.

මෙම අතිශය සතුටුදායක පුවතත් සමඟ අපට සිහිපත් වනුයේ පසුගියදා සෞදි අරාබියේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුගේ හිස් ගසා දැමීමේ සිදුවීමයි.

සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය 2026 ඔක්තෝබර් 14 වැනිදා නිවේදනය කළේ, මක්කම කලාපයේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු වන නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් සහ සිති (ස්වීටි) අක්තාර් මරණ දඬුවමට ලක් කළ බවයි. ඔවුන් මක්කමේ පල්ලියක් තුළ “අශෝභන ක්‍රියාවක්” සිදු කළ බවට චෝදනා කර තිබිණි.

නමුත් එම නිවේදනයේ එම ක්‍රියාව කුමක්ද, කුමන පල්ලියේද, ඔවුන් අත්අඩංගුවට ගත්තේ කවදාද යන්න සඳහන් වී නොතිබිණි. සමාජ මාධ්‍යවල පැතිර ගිය “උම්රා මධුසමය ගත කරමින් සිටි අලුත විවාහ වූ යුවළක් නළල සිපගැනීම නිසා හිස් ගසා දමන ලදී” යන කතාව විශ්වාසදායක මූලාශ්‍රවලින් තහවුරු වී නැත. ඇත්ත වශයෙන්ම ඔවුන් විවාහක යුවළක්ද යන්න පවා තහවුරු වී නොමැත.

වැඩිදුර වාර්තාවලට අනුව, දෙදෙනාම වසර ගණනාවක් සෞදි අරාබියේ පිරිසිදු කිරීමේ සේවයේ නියුතු සංක්‍රමණික සේවකයෝ වූහ. නස්රුල් සයිබර් අපරාධ චෝදනාවක් මතත්, ස්වීටි “අනාචාරය” යන චෝදනාව මතත් 2023 වසරේදී අත්අඩංගුවට ගෙන, ජෙද්දාහි වෙන වෙනම රඳවා තබා තිබූ බව වාර්තා වේ. එබැවින් මුලින් අත්අඩංගුවට ගත් චෝදනා සහ පසුව මරණ දඬුවමට හේතු වූ බව කියන පල්ලිය තුළ සිදු වූ ක්‍රියාව අතර නොගැළපීමක් පවතින බවට ද ප්‍රශ්න මතු වී ඇත.

දෙදෙනාට මරණ දඬුවම නියම වූයේ ‘තාසීර්’ (Ta’zir) නමැති ඉස්ලාමීය නීති සංකල්පය යටතේය. මෙය විනිසුරුගේ අභිමතානුසාරී බලය ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රමයක් සේ ප්‍රඥප්තිගත වී තිබේ. එනම්, ‘හද්’ (ස්ථාවර දඬුවම්) හෝ ‘කිසාස්’ (ප්‍රතිප්‍රහාර) යටතට නොවැටෙන වැරදි සඳහා, වරද කුමක්ද සහ දඬුවම කුමක්ද යන්න විනිසුරුවරයා විසින්ම තීරණය කරනු ලැබේ.

සෞදි අරාබියට සංගෘහිත දණ්ඩ නීති සංග්‍රහයක් නොමැති බවත්, විනිසුරුවරුන් පූර්ව තීන්දුවලින් බැඳී නොසිටින බවත් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. ඒ නිසාම, එකම ආකාරයේ ක්‍රියාවකට පවා වෙනස් දඬුවම් ලැබීමේ ඉඩකඩ පවතී. අනෝජන්ගේ නඩුවේදී ද මුලින් වසර පහක සිරදඬුවම, පසුව මරණ දඬුවම සහ අවසානයේ සම්පූර්ණ නිදහස යනුවෙන් දඬුවම වෙනස් වූ ආකාරයෙන් ද මෙය පැහැදිලි වේ.

මෙම ද්විත්ව මරණ දඬුවම සම්බන්ධයෙන් සෞදි අරාබිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බංග්ලාදේශ රජය දැනුවත් කර නොමැති බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල විය. බංග්ලාදේශය මේ පිළිබඳව දැනගත්තේ මාධ්‍ය වාර්තාවලිනි. ජෙද්දාහි බංග්ලාදේශ කොන්සල් කාර්යාලයට පෙර දැනුම් දීමක් ලැබී නොතිබූ බව වාර්තා විය. බංග්ලාදේශය පසුව සෞදි විදේශ අමාත්‍යාංශයට නිල ලිපියක් (Note Verbale) යවා, චෝදනා, නඩු තීන්දු, නීතිඥ සහාය ලැබුණේද යන්න සහ මළ සිරුරු පිළිබඳ තොරතුරු ඉල්ලා ඇත.

ඒ අතරේ, සෞදි අරාබියේ බංග්ලාදේශ තානාපති මොහොමඩ් ඩෙල්වර් හුසේන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් එහි සේවය කරන මිලියන 3.5 කටත් වැඩි බංග්ලාදේශ ශ්‍රමිකයන් වෙතින් චෝදනා එල්ල වෙමින් පවතින බව ද දැනගන්නට ලැබී තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ නඩු විභාග වෙමින් තිබූ සිද්ධියක් තානාපති කාර්යාලයේ අවධානයට ලක් නොවූයේ කෙසේද, රැඳවියන්ට නීතිමය සහාය සහ කොන්සල් සහාය ලැබුණේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී ඇත. වියානා කොන්සල් සම්මුතියට අනුව දෙරටම බැඳී සිටියත්, ඔවුන්ට නීතිඥවරයකු ලැබුණේද, අභියාචනා කිරීමට අවස්ථාව ලැබුණේද යන්න තවමත් නොදනී.

සෞදි අරාබියේ සේවය කරන බංග්ලාදේශ ශ්‍රමිකයන් මිලියන 3.5 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් රටට ලැබෙන විදේශ විනිමයෙහි විශාල කොටසක් සපයති. එහෙත් එම ආර්ථික බැඳීම නිසාම දැඩි රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමට බංග්ලාදේශයට අපහසු වූ බවට ද විචාරකයෝ පෙන්වා දෙති.

අනෝජන්ගේ නඩුවේදී, දඬුවම ක්‍රියාත්මක වීමට පෙර ශ්‍රී ලංකාවට මැදිහත් වීමට කාලය ලැබිණි. ජනාධිපතිවරයාගේ සිට විදේශ අමාත්‍යාංශය, නීතිඥ කණ්ඩායම සහ ජාත්‍යන්තර සංවිධාන දක්වා සියල්ලෝම එක්ව ක්‍රියා කළහ. ශ්‍රේෂ්ඨාධිකරණය දඬුවම අවලංගු කිරීමෙන් පසුව, මහජන අභිචෝදක කාර්යාලය නඩුව ඉදිරියට නොගෙන යෑමට තීරණය කිරීමෙන් නිදහස සම්පූර්ණ විය.

නමුත් බංග්ලාදේශ සිද්ධියේදී, දඬුවම ක්‍රියාත්මක වන තෙක් රජයට දැනුම් දීමක් නොලැබීම නිසා මැදිහත් වීමට අවස්ථාවක් නොලැබුණි. එම වෙනසම, සංක්‍රමණික සේවකයකුගේ ජීවිතය සහ මරණය අතර වෙනස බවට පත් විය.

ඒ අනුව, සෞදි අරාබියේ නව පාලන ව්‍යුහය තුළ ජාත්‍යන්තර ප්‍රජාවට ඇහුම්කන් දීම සම්බන්ධයෙන් ඔවුන් අනෝජන් පිළිබඳව ගත් තීරණය වැදගත් සාක්ෂියක් වනු ඇත. නමුත් ඒ සමඟම, ‘තාසීර්’ වැනි අභිමතානුසාරී නීතියක් යටතේ, විනිවිදභාවය, පෙර දැනුම් දීම සහ කොන්සල් සහාය නොමැතිව, තවත් සංක්‍රමණිකයකුට එම අවස්ථාව නොලැබී යා හැකි බව බංග්ලාදේශ සිද්ධිය අනතුරු ඇඟවීමකි.

මෙම සිදුවීම හුදෙක් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයකුගේ නිදහස පිළිබඳ සිදුවීමක් පමණක් නොව, විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම්, සමාජ මාධ්‍ය භාවිතය, ආගමික සංවේදීතාවන් සහ නීතිමය ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැදගත් අවධානයක් යොමු කරවන්නකි.

සමාජ මාධ්‍ය සටහනක් ජීවිතය පවා අනතුරේ හෙළිය හැකි රටක සේවය කරන විට, ආගමික සංවේදීතාවන් පිළිබඳ දැනුවත්භාවය, නීතිය පිළිබඳ දැනුම සහ තම රටේ තානාපති කාර්යාලය සමඟ කඩිනම් සම්බන්ධතාව යන මේ තුනම සංක්‍රමණික සේවකයාගේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය බව මෙම සිදුවීම් දෙකම අපට උගන්වයි.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර