ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනා මත සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයකු වන අනෝජන් සිවරාසා මහතා එරට පැවති සියලුම නීතිමය ක්‍රියාමාර්ගවලින් නිදහස් කර තිබේ.ශ්‍රී ලංකා රජය සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්වලින් අනතුරුව සෞදි අරාබියේ මහජන අභිචෝදක කාර්යාලය (Public Prosecution) ඔහුට එරෙහිව තවදුරටත් නඩු කටයුතු පවත්වාගෙන නොයාමට තීරණය කර තිබේ. එම තීරණය නොවැම්බර් 9 වැනිදා ගෙන ඇති අතර, ඊයේ(11) ශ්‍රී ලංකා රජය විසින් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව ඔහුට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් ද අහෝසි වී තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ ඉදිරි සති එකත් දෙකත් අතර කාලය තුළ අනෝජන් සිවරාසා මහතා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි.මෙම නිදහස ලබාගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් මෙන්ම සෞදි අරාබි රජයේ සහ අධිකරණ පද්ධතියේ සහයෝගය ද බලපා තිබේ. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ මැදිහත්වීම් සහ නීතිමය සහාය ලබාදීම සඳහා සෞදි අරාබියට ගිය ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමේ දායකත්වය ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද දැඩි අවධානයක් යොමු කර තිබිණි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සහ හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) වැනි ජාත්‍යන්තර සංවිධාන ඔහුට මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම තීන්දුව අවලංගු කර ඔහු නිදහස් කරන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ජාත්‍යන්තර මානව හිමිකම් හා ආගමික නිදහස පිළිබඳ කොමිසම (International Commission for Human Rights and Religious Freedom – ICHRRF) ද ඔහුගේ නිදහස වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටි අතර, නොවැම්බර් 6 වැනිදා ඔහු හෘදය සාක්ෂියේ සිරකරුවකු (Prisoner of Conscience) ලෙස නම් කරමින් නිවේදනයක් ද නිකුත් කළේය.අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් මෙම නීතිමය අර්බුදය ආරම්භ වූයේ 2026 ජූලි මස පළමුවැනිදා ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟය. ෆේස්බුක් සටහනක් මඟින් ඉස්ලාම් ආගමික සංවේදීතාවන්ට හානි වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනා සම්බන්ධයෙන් ජූලි 27 වැනිදා සෞදි අරාබියේ අල් අහ්සා අපරාධ අධිකරණය ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කළේය. පසුව සැප්තැම්බර් 17 වැනිදා නැගෙනහිර පළාතේ අභියාචනාධිකරණයක් මඟින් එම දඬුවම මරණ දඬුවමක් දක්වා ඉහළ නංවා තිබිණි.කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල බලපෑම් මධ්‍යයේ ඔහුට පනවා තිබූ මරණ දඬුවම ඔක්තෝබර් 13 වැනිදා සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරනු ලැබීය. ඉන් අනතුරුව නඩුව නැවත විභාග කිරීම සඳහා අල් අහ්සා අපරාධ අධිකරණයට යොමු කෙරිණි. ඔක්තෝබර් 27 වැනිදා පැවති නඩු විභාගයේදී වැඩිදුර විමර්ශන සඳහා එය මහජන අභිචෝදක කාර්යාලය වෙත යොමු කර තිබිණි.එම විමර්ශනවලින් අනතුරුව නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයාමට සෞදි මහජන අභිචෝදක කාර්යාලය තීරණය කිරීමත් සමඟ ඔහුට එරෙහිව පැවති සියලුම නීතිමය කටයුතු අවසන් වී තිබේ.අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ද ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ජනාධිපතිවරයාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත්, මෙම නිදහස ලබාගැනීම සඳහා දායක වූ රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ටත් සිය කෘතඥතාව පළ කළහ.මෙම සිදුවීම හුදෙක් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයකුගේ නිදහස පිළිබඳ සිදුවීමක් පමණක් නොව, විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම්, සමාජ මාධ්‍ය භාවිතය, ආගමික සංවේදීතාවන් සහ නීතිමය ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැදගත් අවධානයක් යොමු කරවන්නකි.