මේ දිනවල දක්නට ලැබෙන කහ සමනලුන්ගේ සිරිපා වන්දනාව


නොවැම්බර්, දෙසැම්බර් මාස උදාවත්ම අපේ රටේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අපූරු ස්වාභාවික දර්ශනයක් තිබේ. ඒ, කහ සහ සුදු පැහැති සමනලුන් රංචු පිටින් එකම දිශාවකට පියාසර කරමින් ගමන් කිරීමයි. කොළඹ, රත්නපුර, ගාල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල අහස සිසාරා මේ සමනල රංචු ගමන් කරනු දැකිය හැකිය. ඒවා දකින බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ කුඩා කල සිට අසා ඇති අපූරු කතාවකි.

ඒ, මේ සමනලුන් ශ්‍රී පාද වන්දනාවේ යන බවයි.

අප කුඩා කල අසා ඇති මේ කතාව හුදු ජනප්‍රවාදයක් පමණක් ද? එසේත් නැත්නම් එහි විද්‍යාත්මකව පැහැදිලි කළ හැකි පාරිසරික සංසිද්ධියක් සැඟවී තිබේද? පසුකාලීනව ඒ සම්බන්ධයෙන් විමසීමට මම මහත් සේ උනන්දු වීමි.

අධ්‍යාපනය ලබන සමයේ මම අප උගත් පැල්මඬුල්ලේ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට නුදුරින් පිහිටි ඉහළ බෝපිටිය පාරේ නිවසක නතර වී සිටියෙමි. එහි මා නවාතැන්ගෙන සිටි කාමරයේ ජනේලයෙන් ඇතැම් දිනවල ශ්‍රී පාද කන්ද මනාව දර්ශනය විය. දෙසැම්බර් පාසල් නිවාඩුව ළං වන විට ඒ නිවසේ වත්තපිටිය සිසාරා කහ සහ සුදු සමනලුන් රංචු පිටින් ශ්‍රී පාද කන්ද දෙසට පියාසර කරන අයුරු මම ද කොතෙකුත් දැක ඇත්තෙමි. එදා ඒ ආස්වාදනීය දර්ශනය දුටු විට සිතට නැඟුණේ සමනලුන් ශ්‍රී පාදය වඳින්නට යන බවට වූ ළමා වියේ විශ්වාසයයි. එහෙත් අද පරිසර විද්‍යාවෙන් මේ සංසිද්ධිය දෙස බලන විට එහි ඇති තවත් අපූරු පැතිකඩ රැසක් අනාවරණය වෙයි.

මේ නොවැම්බර් මාසයේ මුල් දිනවල ද දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ සමනල සංක්‍රමණය කැපී පෙනෙන ලෙස දක්නට ලැබීම විශේෂත්වයකි. ඇතැම් නිරීක්ෂණවලට අනුව උදෑසන 9.00 සිට පස්වරු 4.00 පමණ දක්වා සමනලුන් 15-20 දෙනකුගෙන් සමන්විත කුඩා රංචු මෙන්ම 40-50 දෙනකු දක්වා වූ විශාල රංචු ද එකම දිශාවකට පියාසර කරනු දැකිය හැකිය. ඇතැම් විට මෙම සංඛ්‍යාව දෙගුණ  තෙගුණ වීමට ද පුළුවන.

මෙය සමනලුන්ගේ සාමාන්‍ය දෛනික පියාසර කිරීමකට වඩා පුළුල් පාරිසරික ක්‍රියාවලියක කොටසකි. එය හඳුන්වන්නේ සංක්‍රමණය (Migration) යනුවෙනි.

මේ සංචරණයට එක් වන්නේ එකම සමනල විශේෂයක් නොවේ. විවිධ සමනල විශේෂ කිහිපයක් මේ සංක්‍රමණයට දායක වන අතර, ඒවා අතර කහ පැහැති සමනලුන් බහුලව දක්නට ලැබීම නිසා සමස්ත රංචුවම කහ සමනලුන්ගේ ගමනක් ලෙස අපට පෙනේ.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනයන් පෙන්වා දෙන පරිදි මේ දර්ශනය සමනල සංක්‍රමණයේ ආරම්භක අවධිය හා සම්බන්ධය.

මෙම ගමනට සම්බන්ධ විය හැකි ප්‍රධාන සමනල විශේෂ කිහිපයක් මෙසේය:

  • ලෙමන් එමිග්‍රන්ට් (Lemon Emigrant) – Catopsilia pomona

  • මොට්ල්ඩ් එමිග්‍රන්ට් (Mottled Emigrant) – Catopsilia pyranthe

  • කොමන් ඇල්බට්‍රොස් (Common Albatross) – Appias albina

  • ලෙසර් ඇල්බට්‍රොස් (Lesser Albatross) – Appias paulina

  • ඔරේන්ජ් මයිග්‍රන්ට් (Orange Migrant) – Catopsilia scylla

  • පේන්ටඩ් ලේඩි (Painted Lady) – Vanessa cardui

මෙම විශේෂ සියල්ලම එකම කාලයක, එකම ප්‍රමාණයකින් හෝ එකම මාර්ගයකින් සංක්‍රමණය වන බවක් අදහස් නොවේ. එහෙත් ඒවායේ වර්ණ, හැසිරීම් සහ සංක්‍රමණ රටා නිසා මේ ස්වාභාවික සංසිද්ධිය වඩාත් විචිත්‍රවත් වෙයි.

විශේෂයෙන් 2024 වසරේ Tropobonica විද්‍යා සඟරාවේ පළ වූ මහාචාර්ය කපිල දිසානායක ඇතුළු පර්යේෂක කණ්ඩායමක අධ්‍යයනයක් මේ සම්බන්ධයෙන් වැදගත් වේ. එම පර්යේෂණය මඟින් ලෙසර් ඇල්බට්‍රොස් සහ කොමන් ඇල්බට්‍රොස් යන සමනල විශේෂ දෙකේ සංක්‍රමණය පිළිබඳව දිවයිනේ ස්ථාන 60කින් තොරතුරු රැස්කර තිබේ. එහිදී මෙම සමනලුන්ගේ ප්‍රධාන ගමන් දිශාව ගිනිකොනදිග සිට වයඹ දෙසට බව අනාවරණය වී තිබේ. එය සමනලුන් සියල්ලන්ම ශ්‍රී පාදය දෙසට ගමන් කරන බවට පවතින සාම්ප්‍රදායික අදහසට වෙනස් විද්‍යාත්මක සොයාගැනීමකි.

නමුත් මොවුන් එකම දිශාවකට පියාසර කරන්නේ ඇයි? යන්න පිළිබඳව ද අප විමසා බැලිය යුතුය.

සමනලුන් මෙලෙස එකම දිශාවකට පියාසර කිරීම පිටුපස ස්වාභාවික හේතු කිහිපයක් තිබේ. ඒවා අතර කාලගුණික තත්ත්ව, සුළං රටා, ආහාර ශාකවල ව්‍යාප්තිය සහ අභිජනනය සඳහා සුදුසු පරිසර සොයා යෑම ප්‍රධාන වේ.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නිරිතදිග මෝසම අවසන් වී ඊසානදිග මෝසම සක්‍රිය වීමට පෙර ඇතිවන කාලගුණික වෙනස්කම් සමනලුන්ගේ සංක්‍රමණයට බලපායි. මේ කාලයේ සුළං දිශාව සහ වේගය ඔවුන්ගේ පියාසර ගමනට බලපෑමක් ඇති කරයි. සමනලුන් සුළඟේ දිශාවට හා පාරිසරික තත්ත්වයන්ට අනුව තම ගමන් මාර්ග සකස් කරගන්නා බැවින් විශාල රංචු එකම දිශාවකට ගමන් කරන ආකාරය දැකිය හැකිය.

මෝසම් වැසි සමඟ වියළි කලාපයේ ශාකවල අලුත් දළු සහ කොළ හටගනී. එම ශාක සමනලුන්ගේ දළඹුවන්ට ආහාර සපයන ධාරක ශාක (Host Plants) ලෙස ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස ලෙමන් එමිග්‍රන්ට් සමනලයාගේ දළඹුවන්ට කැෂියා (Cassia) කුලයට අයත් ඇතැම් ශාක ආහාර සපයයි.

එබැවින් ආහාර බහුල ප්‍රදේශ සොයා යෑම මෙන්ම බිත්තර දැමීමට සහ දළඹුවන් වර්ධනය කිරීමට සුදුසු පරිසර සොයා යෑම ද මේ සංක්‍රමණයට හේතු වේ.

අප බොහෝ දෙනකු දන්නා අන්දමට සමනලුන්ගේ ජීවන චක්‍රය බිත්තර, දළඹුවා, පිලා අවධිය සහ වැඩුණු සමනලයා යන අවධි හතරකින් සමන්විතය. ආහාර ශාක බහුල වීම සහ සුදුසු කාලගුණික තත්ත්ව ඇතිවීම දළඹුවන්ගේ පැවැත්මට හිතකර වේ. එමඟින් වැඩි සමනල පිරිසක් බිහිවීමට අවස්ථාව සැලසේ.

එහෙත් එක් වසරකදී සමනලුන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබීමෙන් පමණක් ඔවුන්ගේ ගහනය ස්ථිර ලෙස වැඩි වී ඇතැයි නිගමනය කළ නොහැකි ය. ඒ සඳහා දිගුකාලීන නිරීක්ෂණ හා විද්‍යාත්මක දත්ත අවශ්‍ය වේ.

මෙතැනදී අපේ ජනප්‍රවාදය හා විද්‍යාව එකිනෙකට මුණගැසෙන අපූරු ස්ථානයක් හමුවේ.

සමනලුන් ශ්‍රී පාදය දෙසට පියාසර කරන බවට ඇති විශ්වාසය පරම්පරා ගණනාවක් තිස්සේ ජනතාව අතර පැවත එන්නකි. එය කෙතරම් ජනප්‍රිය වී ඇත්ද යත් සමනල කන්ද යන නම පවා සමනලුන් සමඟ සම්බන්ධ කරමින් විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබේ.

සමනලුන් උස් කඳු මුදුන් කරා ආකර්ෂණය වීමේ හැසිරීමක් විද්‍යාවේදී Hill-topping ලෙස හැඳින්වේ. එනම් සමහර සමනල විශේෂ තම සහකරුවන් සොයා ගැනීම හා අභිජනනය සඳහා සුදුසු ස්ථාන හඳුනාගැනීම පිණිස උස් ස්ථානවලට එක්රැස් වීමයි.

ශ්‍රී පාදය මෙන්ම කිරිගල්පොත්ත වැනි උස් කඳු මුදුන් ද මෙවැනි හැසිරීම් නිරීක්ෂණය කළ හැකි ස්ථාන වේ. එහෙත් එයින් සමනලුන් සියල්ලන්ම ශ්‍රී පාදය කරා වන්දනාවේ යන බවක් අදහස් නොවේ.

තවත් විශේෂ කරුණක් වන්නේ සමනලුන් ඇතැම් අවස්ථාවල තෙතමනය සහ ඛනිජ ලවණ ලබාගැනීම සඳහා තෙත් පස, මඩ සහිත බිම් හා ලවණ අඩංගු පෘෂ්ඨ මත රැඳී සිටීමයි. මෙය Mud-puddling ලෙස හැඳින්වේ. විශේෂයෙන් පිරිමි සමනලුන් මෙලෙස පසෙන් ඛනිජ ලවණ ලබාගන්නා බව නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ශ්‍රී පාද කන්ද ආශ්‍රිතව සමනලුන් දක්නට ලැබීම පිටුපස ද අභිජනනය, පාරිසරික තත්ත්ව සහ ඛනිජ ලවණ ලබාගැනීම වැනි ස්වාභාවික හේතු තිබිය හැකි ය.

සමනලුන් ශ්‍රී පාදය වන්දනා කිරීමට ගොස් එහිදී මියයන බවට ද ජනප්‍රවාදයක් තිබේ. ඇතැම් ජනකතාවලට අනුව ඔවුන් කන්ද මුදුනේදී සිය දිවි පුදා වන්දනාව අවසන් කරති.

කෙසේ වෙතත්, මේ කතාවට විද්‍යාත්මක සාක්ෂි නොමැත. කඳුකරයේ පවතින අඩු උෂ්ණත්වය, තද සුළං, ආහාර හිඟය සහ විලෝපිකයන්ගේ ගොදුරු බවට පත්වීම වැනි හේතු නිසා සමහර සමනලුන් මිය යා හැකි ය. එහෙත් සමනලුන් ශ්‍රී පාදයට ගොස් සියල්ලන්ම මියයන බවක් හෝ එය ඔවුන්ගේ සංක්‍රමණයේ අවසානය බවක් විද්‍යාවෙන් තහවුරු කර නැත.

විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට අමතරව සමනලුන් පිළිබඳ අපේ ජන සමාජයේ පවතින විශ්වාස ද ඉතා රසවත්ය. පාසල් සමයේදී මා අසා ඇති එබඳු ප්‍රවාද බොහොමයක් අදත් මගේ මතකයේ තිබේ. විශේෂයෙන් රත්නපුර, පැල්මඬුල්ල සහ ශ්‍රී පාද කඳුකරය ආශ්‍රිත ගම්මානවල පැරැන්නන් අතර පැවති ඇතැම් කතා අදත් අසන්නට ලැබේ.

මේවා විද්‍යාත්මකව තහවුරු කළ කරුණු නොව ජනශ්‍රැති හා පාරම්පරික විශ්වාස ලෙස සැලකිය යුතුය.

ශ්‍රී පාදය සුමන සමන් දෙවියන්ගේ අඩවියක් ලෙස සැලკෙන බැවින් සමනලුන් සමන් දෙවියන්ගේ පණිවිඩකරුවන් බවට ඇතැම් පැරැන්නන් අතර පැවැති විශ්වාසය ඒ අතුරින් ප්‍රධාන ය. සමනලුන් විශාල වශයෙන් කන්ද දෙසට පියාසර කරන කාලය සුබ කාලයක් ලෙස සැලකූ බව ද ජනප්‍රවාදවල සඳහන් වේ.

ශ්‍රී පාද වන්දනාවේ යාමේ ආශාවෙන් පසු වුව ද එසේ යෑමට නොහැකිව මියගිය හෝ වන්දනාවට පැමිණීමට පෙර මියගිය පින්වත් පුද්ගලයන් ඊළඟ භවයේදී කහ සමනලුන් ලෙස උපදින බවට ඇතැම් ගම්මානවල විශ්වාසයක් පවතී. එබැවින් සමනලයකු මැරීම හෝ අල්ලා ගැනීම නොකළ යුතු බරපතළ පාපයක් ලෙස සැලකූ පිරිස් ද සිටිති.

කහ සමනල රංචු අතර දක්නට ලැබෙන සුදු පැහැති සමනලුන් රහත් බව අපේක්ෂා කොට එය නොලැබ අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආත්ම ලෙස හඳුන්වන ජනවිශ්වාසයක් ද ඇත. සුදු සමනලයකු නිවසට පැමිණීම පින්වත් සිදුවීමක් ලෙස සැලකූ පිරිස් ද සිටිති.

ශ්‍රී පාද වන්දනා සමයේදී කඳු මුදුන ආශ්‍රිතව මියගිය සමනලුන් දක්නට ලැබීම ඇතැම් පැරැන්නන් අර්ථකථනය කළේ සමනලුන් සිය ජීවිත පූජා කරමින් ශ්‍රී පාදය වැඳීමක් ලෙසිනි. එය ආගමික භක්තිය හා සම්බන්ධ කරගත් ජනවිශ්වාසයකි.

සමනල කන්දට සමන්තකූටය, සමනල කන්ද සහ ශ්‍රී පාදය වැනි නම් භාවිත වේ. සමනලුන් විශාල වශයෙන් කන්ද වටා පියාසර කිරීම නිසා එයට සමනල කන්ද යන නම ලැබුණු බවට ජනප්‍රවාදයක් පවතී. තවත් ජනකතාවකින් කියැවෙන්නේ දුර සිට කන්ද දෙස බැලූ විට එය තටු විහිදා සිටින සමනලයකුගේ හැඩයට පෙනෙන බව ය.

අතීත ගැමි සමාජය ස්වභාවධර්මයේ වෙනස්කම් පිළිබඳව අතිශය සංවේදී වූ බව නොරහසකි. ඒ අනුව සමනලුන්ගේ සංක්‍රමණය ද කාලගුණය පිළිබඳ ඉඟියක් ලෙස ඇතැම් ගැමියන් සලකා තිබේ. සමනලුන් එකම දිශාවකට විශාල වශයෙන් පියාසර කිරීම මෝසම් වැසි ආසන්න බවට ලකුණක් ලෙසත්, ඔවුන්ගේ ගමන් රටාව වෙනස් වීම නියඟයක් පිළිබඳ ඉඟියක් ලෙසත් අර්ථකථනය කළ බව කියැවේ. එහෙත් සමනලුන්ගේ ගමන් රටාව පමණක් පදනම් කරගෙන කාලගුණ අනාවැකි පළ කළ නොහැකිය.

ශ්‍රී පාද වන්දනාවේ යන ඇතැම් බැතිමතුන් සමනලයකුගේ වැටුණු පිහාටුවක් හමුවුවහොත් එය පූජනීය සිහිවටනයක් ලෙස තබාගැනීමට පුරුදුව සිටි බව ද එවක මා අසා තිබේ. එවැනි පිහාටුවක් ආගමික පොතක හෝ බුදු පහන අසල තබාගැනීමෙන් පින් සිදුවන බවත් පැතුම් ඉටුවන බවත් ඇතැම්හු විශ්වාස කළහ.

මේ සමනල සංක්‍රමණය හුදු සුන්දර දර්ශනයක් පමණක් නොවේ. එය පරිසර පද්ධතියේ (Ecosystem) වෙනස්කම් හඳුනාගැනීමට ද උපකාරී වන ස්වාභාවික සංසිද්ධියකි.

සමනලුන්ගේ පැවැත්මට අවශ්‍ය ආහාර ශාක විනාශ වීම, වනාන්තර එළිපෙහෙළි කිරීම, කෘමිනාශක අධික ලෙස භාවිත කිරීම සහ ආක්‍රමණශීලී විදේශීය ශාක පැතිරීම ඔවුන්ගේ ගහනයට බලපායි. විශේෂයෙන් දේශීය ධාරක ශාක විනාශ වීමෙන් සමනලුන්ට බිත්තර දැමීමටත් දළඹුවන්ට ආහාර ලබාගැනීමටත් ඇති අවස්ථා සීමා වේ.

දේශගුණික විපර්යාස නිසා වර්ෂා රටා හා මෝසම් කාලසීමා වෙනස් වීම ද සමනලුන්ගේ අභිජනන හා සංක්‍රමණ රටාවලට බලපෑම් ඇති කළ හැකිය. එබැවින් සමනලුන්ගේ සංක්‍රමණය අධ්‍යයනය කිරීම පරිසර සංරක්ෂණයට ද වැදගත් වේ.

එමෙන්ම සමනලුන් විශාල වශයෙන් පියාසර කිරීම ඉදිරියේදී සුළි කුණාටුවක් හෝ වෙනත් ස්වාභාවික විපතක් ඇතිවීමට පෙර ලැබෙන අනතුරු ඇඟවීමක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අදහස්වලට ද විද්‍යාත්මක පදනමක් නැත. සමනලුන් වායුගෝලීය පීඩනය, උෂ්ණත්වය, ආර්ද්‍රතාව සහ සුළං වෙනස්වීම්වලට සංවේදී වුවත් ඔවුන්ගේ සංක්‍රමණය ස්වාභාවික විපත් පිළිබඳ නිල අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය නොහැකිය.

අපේ මුතුන් මිත්තන් මේ සංසිද්ධිය විද්‍යාත්මක පාරිභාෂික වචනවලින් විස්තර නොකළ ද එය ස්වභාවධර්මය සමඟ ගැඹුරින් බැඳුණු අත්දැකීමක් ලෙස හඳුනාගෙන තිබේ. ඔවුන් සමනලුන්ගේ ගමන තුළ දුටුවේ ආගමික අරුතකි. අද විද්‍යාව එහි ජීව විද්‍යාත්මක හා පාරිසරික අරුත අපට පැහැදිලි කර දෙයි.

ඒ අනුව සමනලුන් ශ්‍රී පාදය වඳින්නට යන බවට ඇති කතාව අපේ ජන සංස්කෘතියේ සුන්දර විශ්වාසයක් ලෙස රැකගත හැකිය. එහෙත් ඒ කතාවේ නාමයෙන් ස්වභාවධර්මයේ සැබෑ ක්‍රියාකාරිත්වය අමතක කළ යුතු නැත. නමුත් අපගේ ජීවන යහපැවැත්ම උදෙසා විද්‍යාත්මක චින්තනය පමණක් ප්‍රමාණවත් නොවේ. සාර්ථක ජීවිතයක් සඳහා විද්‍යාත්මක, දාර්ශනික හා සංස්කෘතික යන සාධක තුනම කනප්පුවක පාද තුන මෙන් සමපාත විය යුතුය. මේ දිනවල අප රටේ ඇතැම් ප්‍රදේශවලට දර්ශනය වන සමනලුන්ගේ ශ්‍රී පාද වන්දනා ගමන් අප මනැසේ දරා ගත යුත්තේ ඒ පදනමිනි.

ඒ.ජී. රේණුකා දමයන්ති

හරිත දනව්ව