‌කොළඹ යළි යටවීමේ අවදානමක්

එල්නිනෝ තත්ත්වය තවදුරටත් ශක්තිමත්වීම සහ නිරිතදිග මෝසම සක්‍රියවීම හේතුවෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය වැඩිවී ගංවතුර හා හදිසි ගංවතුර ඇතිවිය හැකි බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාවක් මගින් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර තිබේ.එම වාර්තාව නිකුත් කර ඇත්තේ නොවැම්බර් දෙවැනිදාය. එවැනි වාර්තා නිකුත් කර තිබියදී කොළඹ නගරය, අවිස්සාවේල්ල නගරය, නාවලපිටිය නගරය ක්ෂණික ගංවතුරකට පසුගිය දින තුන තුළ ලක්විය.​

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 2010 වසරේ මිලිමීටර් 440 කත්, 1993 වසරේ මිලිමීටර් 493 ක වර්ෂාපතන වාර්තා වී තිබෙන බැවින් ඉදිරියේදීත් මෙවැනි අවස්ථා පැමිණීමේ ඉඩකඩ තිබෙන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනලදි.ඉකුත් හයවැනිදා කොළඹට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 120 ට වැඩි බවත් ජල ප්‍රමාණය ක්ෂණිකව බැස යෑමට ක්‍රමයක් නොතිබීම සහ කානු පද්ධති අවහිරවීම ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ බවද අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසා සිටියි.

කොළඹ නගරය යටවීම සම්බන්ධයෙන් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් කියා සිටින්නේ කොළඹ නගර​යේ කානු පද්ධතිය මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30 ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන අන්දමට බවත්, ඉකුත් හයවැනිදා ඇතිවූ වර්ෂාපතනය මිලිමීටර් 129 ක් බැවින් මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවයි.

 

කාලීන පුවත්