වන අලින් බියපත් කොට මිනිස් වාසස්ථානවලින් පලවා හැරීම සහ “ගුණෙන් කියා ” ඉවත් කිරීම ගැන විමසුමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

වන අලියකු හෝ රංචුවක් ගම්වැදුණු විට උන් පලවා හැරීම සඳහා බොහෝ දෙනකු මුලින්ම කරන්නේ කෑගැසීම, විවිධ ශබ්ද නැඟීම, රතිඤ්ඤා දැල්වීම හෝ වෙනත් ආකාරයකින් බිය වැද්දීම ය. වන සතකු මිනිසකුගේ ඉවටත් කටහඬටත් ඉතා සංවේදී බැවින් ඒවා දැනුණු සැණින් බියට පත්ව පලා යනු ඇතැයි යන විශ්වාසය මෙවැනි ක්‍රියාමාර්ග පිටුපස තිබේ. එහෙත් සත්ත්ව හැසිරීම් පිළිබඳ නවීන විද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මේ පිළිබඳව අප සාමාන්‍යයෙන් නොසිතන පැතිකඩක් ද පවතින බව ය.

නමුදු වන සතුන්ට මිනිස් ඉව හා කටහඬ හඳුනාගැනීමට පමණක් නොව, ඒවා සමඟ ඇති අත්දැකීම් අනුව තම ප්‍රතිචාර වෙනස් කරගැනීමට ද හැකියාවක් පවතින බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ඇතැම් සත්තු හුරුපුරුදු හා නුහුරු මිනිස් කටහඬ අතර වෙනස හඳුනාගනිති. එහෙත් එයින් අදහස් වන්නේ ඔවුන් මිනිසාට බිය නොවන බවක් හෝ මිනිසා කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නා බවක් නොවේ.

මේ කරුණ වන අලි-මිනිස් ගැටුම වැනි බරපතළ සමාජ හා පාරිසරික ගැටලුවක් දෙස වෙනත් කෝණයකින් බැලීමට ද අපට මඟ පාදයි. අලි-මිනිස් ගැටුම අද මෙන් උග්‍ර නොවූ අතීතයේ ඉඳහිට ගම්වැදුණු වන අලින් සම්බන්ධයෙන් වත්මන් අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට අයත් නුවර කලාවියේ සහ හත් කෝරලයේ ඇතැම් ගැමියන් අනුගමනය කළේ අතිශය සාමකාමී පිළිවෙතකි. ඔවුහු එය හැඳින්වූයේ ‘ගුණෙන් කීම’ යනුවෙනි.

සරලව කිවහොත් එය වන අලින් ඉදිරියේ බුදුගුණ සිහිපත් කරමින්, දෙවියන්ට ද කන්නලව් කරමින්, ඔවුන් නැවත වනයට යන ලෙස බැගෑපත් වීමකි.

“අනේ දරුවනේ, මේ අපේ දරු පැටවුන්ගේ සාගින්න නිවාගන්න අපි වගා කරගත්තු සොච්චම අතහැරලා උඹලාට අයියනායක, දහනක බණ්ඩාර දෙවිවරුන් උරුම කර දීපු මහා මූකලන්වලට වැදිලා ඒවායේ තියෙන දේවල් කාලා බීලා සාගින්න නිවාගනිල්ලා. අපි හේනක් කුඹුරක් කරගත්තට උඹලාගේ මහ වනය බිඳගෙන එන්නෙ නැහැ. උඹලාට සිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි” ආදී වශයෙන් කන්නලව් කිරීම එවක සාමාන්‍ය දෙයක් විය. එමෙන්ම මෙම ප්‍රදේශවල ගැමියන් ඇතුන් රජවරුන් සේ සැලකූ අතර ඔවුන් “ඇත් රජුනේ” යන ගෞරවනීය ආමන්ත්‍රණයෙන් ඇමතීමට ද පුරුදුව සිටියහ.


මෙවැනි බැගෑපත් ඉල්ලීම් හමුවේ වන අලින් නිහඬව පසුබැස ගිය බවට මතකයන් අදත් එම ප්‍රදේශවල පැරැණි ගැමියන් අතර පවතී.

නමුත් අත්දැකීම් ජනශ්‍රැතික හා සංස්කෘතික වටිනාකමකින් යුක්ත වුවද, ඒවා මඟින් වන අලින් බුදුගුණ හෝ මිනිස් භාෂාව තේරුම්ගත් බව විද්‍යාත්මකව නිගමනය කළ නොහැකිය. එහෙත් එම පැරණි පිළිවෙත තුළින් මතු වන වැදගත් සමාජ පණිවුඩයක් තිබේ. එනම් වන සතකු සමඟ ගැටුමක් ඇති වූ විට ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමකාමී හා සංයමයෙන් යුතු ප්‍රවේශයක් ද අනුගමනය කළ හැකි බවය. මෙවන් මානව චර්යාවන් මානව විද්‍යා විෂය පථය හා සම්බන්ධ වනුයේ මෙතැන දී ය.

සත්ත්ව විද්‍යාවේදී පුරුදු වීම (Habituation) යනුවෙන් හඳුන්වන්නේ ජීවියකුට නැවත නැවත අත්විඳීමට ලැබෙන, එහෙත් හානිකර නොවන උත්තේජකයකට කාලයත් සමඟ දක්වන ප්‍රතිචාරය අඩුවීමේ ක්‍රියාවලියයි.

උදාහරණයක් ලෙස මුලින්ම මිනිසකු දුටු විට බියෙන් පලා යන සතකුට දිගින් දිගටම මිනිසුන් පෙනුණත් ඔවුන්ගෙන් කිසිදු අනතුරක් සිදු නොවන්නේ නම්, කාලයත් සමඟ එම මිනිස් රූපය කෙරෙහි දක්වන බිය අඩු විය හැකි ය. එසේම නිතර ඇසෙන මිනිස් කටහඬකට හෝ නිතර දැනෙන මිනිස් ගන්ධයකට ද සතකුගේ ප්‍රතිචාරය ඊට ඉඳුරාම වෙනස් විය හැකිය.

එහෙත් හුරු වීම යනු සතකුගේ සියලු බිය අහෝසි වීමක් නොවේ. එසේම මිනිස් සුවඳ හඳුනාගැනීම, මිනිස් කටහඬ හඳුනාගැනීම සහ එම සංඥාවලට හුරු වීම යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් ය.

සෑම සත්ත්ව විශේෂයක්ම එකම ආකාරයෙන් හෝ එකම වේගයකින් මේ වෙනස්කම්වලට ලක් නොවේ. එය සත්ත්වයාගේ විශේෂය, වයස, පරිසරය, අතීත අත්දැකීම් සහ මිනිසා සමඟ පවතින සම්බන්ධතාව මත වෙනස් වේ.

සතුන්ගේ “ඉව” හෙවත් ආඝ්‍රාණ හැකියාව (Sense of Smell) පිළිබඳව විමසා බැලීමේදී ඇතැම් සතුන්ට මිනිසාට වඩා ඉතා දියුණු සුවඳ හඳුනාගැනීමේ හැකියාවක් ඇති බව පෙනී යයි.

අලි, වලසුන්, වෘකයන්, හිවලුන් සහ මුවන් වැනි ක්ෂීරපායි සතුන්ට සුවඳ මඟින් පරිසරයේ වෙනස්කම් හඳුනාගත හැකිය. මිනිසකු ගමන් කළ මාර්ගයක ඉතිරි වන ගන්ධ, ශරීරයෙන් නිකුත් වන රසායනික සංයෝග සහ ඇඳුම්වල රැඳෙන සුවඳ වැනි සංඥා ද ඇතැම් සතුන්ට හඳුනාගත හැකිය.

එහෙත් සුවඳ හඳුනාගැනීම යනු එයට බිය වීමක් නොවේ. මිනිස් සුවඳ නිතර දැනුණත් ඒ සමඟ අනතුරක් සම්බන්ධ නොවන බව සතකුගේ අත්දැකීම්වලින් තහවුරු වන්නේ නම් ඔවුන් එම සුවඳට දක්වන බිය අඩු විය හැකිය.

මෙයින් පැහැදිලි වන්නේ මිනිස් සුවඳ සතුන්ට හඳුනාගත හැකි වීමත්, එම සුවඳ හමුවේ ඔවුන් පලා යෑමත් අතර අනිවාර්ය සම්බන්ධයක් නොමැති බවය.

සතුන්ට මිනිස් කටහඬ හඳුනාගත හැකිද යන්න විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට ලක්වූ මාතෘකාවකි. Behavioral Processes යනු සත්ව හැසිරීම් (Animal Behavior) පිළිබඳ උසස් තත්වයේ පර්යේෂණ ප්‍රකාශයට පත් කරන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විද්‍යාත්මක සඟරාවකි (Scientific Journal). 1976 දී ආරම්භ කරන ලද මෙම සඟරාව ප්‍රකට එල්සෙවීර් (Elsevier) ප්‍රකාශන ආයතනය මඟින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබයි. 2026 ජුනි මාසයේදී Behavioral Processes විද්‍යාත්මක සඟරාවේ පළවූ ආසියානු අලි ඇතුන් පිළිබඳ පර්යේෂණයක් මෙහිදී විශේෂයෙන් වැදගත් වේ.

එම අධ්‍යයනයෙන් අලි ඇතුන්ට හුරුපුරුදු මිනිස් කටහඬ සහ නුහුරු මිනිස් කටහඬ අතර වෙනස හඳුනාගත හැකි බව අනාවරණය කර තිබේ. එපමණක් නොව, අලින්ට අමතන ආකාරයේ කතාබහ (Elephant-directed Speech) සහ වැඩිහිටි මිනිසුන් අතර සාමාන්‍යයෙන් සිදුවන කතාබහ (Adult-directed Speech) අතර වෙනස ද ඔවුන් වෙන් කොට හඳුනාගන්නා බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත. මෙහි දී හුරුපුරුදු රැකබලා ගන්නන්ගේ කටහඬ ඇසෙන විට අලි ඇතුන් එම හඬ පැමිණි දිශාවට හැරී ඔවුන් සෙවීමට උත්සාහ කළ බව නිරීක්ෂණය විය. විශේෂයෙන් අලින්ට අමතන ආකාරයේ කතාබහ හමුවේ එම සෙවීමේ හැසිරීම වැඩි විය.

එහෙත් මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් තිබේ. මිනිස් කටහඬ ඇසීමෙන් අලින්ගේ අවධානය, විමසිලිමත් බව සහ උද්දීපනය වැඩි වීම සෑම විටම ඔවුන්ගේ බිය අඩු වීමක් ලෙස අර්ථ දැක්විය නොහැකිය.

මෙම පර්යේෂණය සිදුකර තිබුණේ ප්‍රංශයේ සත්වෝද්‍යාන දෙකක සිටි ආසියානු අලි ඇතුන් යොදාගනිමිනි. එබැවින් එහි ප්‍රතිඵල සියලුම වන අලින්ට එකසේ අදාළ කරගත නොහැකිය. එහෙත් අලින්ට මිනිස් කටහඬේ හුරුපුරුදුකම හඳුනාගැනීමේ හැකියාව ඇති බවට එය වැදගත් සාක්ෂියකි.

වන අලියකු ගමකට පැමිණි විට ඌ බිය වැද්දීම සඳහා කෑගැසීම, රතිඤ්ඤා දැල්වීම සහ විවිධ ශබ්ද කිරීම වැනි ක්‍රියාමාර්ග ඇතැම් අවස්ථාවල ක්ෂණිකව ප්‍රතිඵලදායක විය හැකිය. එහෙත් එවැනි ක්‍රම නැවත නැවත භාවිත කිරීමෙන් අලින් ඒවාට හුරු වීමේ හැකියාවක් ද තිබේ. ඉන් පසු ඔවුහු ඒ හඬ ගණන් නොගනිති.

සත්ත්වයකුට නිතර අත්විඳීමට ලැබෙන යම් ශබ්දයක් හෝ වෙනත් උත්තේජකයක් හානියක් සිදු නොකරන බව අත්දැකීමෙන් තහවුරු වුවහොත්, කාලයත් සමඟ ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරය අඩු විය හැකිය. එබැවින් මුලදී අලියකු පලවා හැරීමට සමත් වූ ශබ්දයක් පසුව එතරම් ප්‍රතිඵලදායක නොවීමට ඉඩ තිබේ. අනෙක් අතට, අධික ශබ්ද හමුවේ බියට පත්වන අලියකු අවිධිමත් ලෙස පලා යෑමෙන් මිනිසුන්ට, නිවාසවලට මෙන්ම තමන්ට ද අනතුරු සිදුවිය හැකිය. විශේෂයෙන් පැටවුන් සමඟ සිටින ඇතින්නකගේ හෝ තුවාල ලැබූ අලියකුගේ හැසිරීම අනපේක්ෂිත විය හැකිය.

එබැවින් වන අලියකු ගම්වැදුණු විට ඌ වටකරගෙන කෑගැසීම, ළංවීම, පසුපස හඹා යෑම හෝ තමන් විසින්ම පලවා හැරීමට උත්සාහ කිරීම සුදුසු නොවේ. ආරක්ෂිත දුරක් පවත්වාගෙන යමින් වනජීවී නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත්ය. නමුත් වනජීවී නිලධාරීන්ගෙන් ඊට නිසි උපදෙස් නොලැබෙන බවටත් ඇතැම්හු පවසති. තවත් සමහරුන් පවසනුයේ ඇතැම් වනජීවී නිලධාරීන් එම විෂය පිළිබඳ හසරක් නොදත් දේශපාලනඥයන්ගේ අතකොලු බවට පත්ව ඇති බවකි.

ඒ අතර වන අලින් මිනිස් ජනාවාසවලට පැමිණීමේදී ඔවුන්ගේ හැසිරීම් පමණක් නොව, ඊට බලපාන පාරිසරික හා මානව සාධක ද සැලකිල්ලට ගත යුතුය.

අලි සංක්‍රමණ මාර්ග අවහිර වීම, වනාන්තර වාසස්ථාන ඛණ්ඩනය වීම, මිනිස් ජනාවාස ව්‍යාප්ත වීම සහ වගාබිම් වනාන්තර ආසන්නයට පැතිරීම වැනි කරුණු අලි-මිනිස් ගැටුම තීව්‍ර කිරීමට බලපායි. එබැවින් අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ස්වාභාවික සංචරණ මාර්ග ආරක්ෂා කිරීම, වාසස්ථාන ඛණ්ඩනය වීම අවම කිරීම, විදුලි වැට නිසි ලෙස නඩත්තු කිරීම සහ වනය තුළ ප්‍රමාණවත් ආහාර හා ජල සම්පත් පවතින පරිසරයක් පවත්වාගෙන යෑම වැනි දිගුකාලීන විසඳුම් අවශ්‍ය වේ.

එසේම ගම්වැදුණු අලියකු පලවා හැරීමේදී අවිධිමත් ලෙස ජනතාව මැදිහත් වීම වෙනුවට විධිමත් නිලධාරීන්ගේ මඟපෙන්වීමක් ලබාගැනීම ද අත්‍යවශ්‍යය.

සත්ත්ව ලෝකය පිළිබඳව සිදුකර ඇති විද්‍යාත්මක පර්යේෂණවලින් අපට ලැබෙන වැදගත්ම පාඩමක් වන්නේ සතුන් මිනිසුන් ගැන කිසිවක් නොදන්නා, හුදෙක් සහජ බුද්ධියෙන් පමණක් හැසිරෙන ජීවීන් නොවන බවය.

ඔවුන්ට පරිසරය නිරීක්ෂණය කිරීමටත්, විවිධ සංඥා හඳුනාගැනීමටත්, අත්දැකීම් මත හැසිරීම් වෙනස් කරගැනීමටත් විස්මිත හැකියාවක් තිබේ. ඇතැම් සතුන්ට හුරුපුරුදු මිනිස් කටහඬ හඳුනාගත හැකි අතර තවත් සතුන්ට මිනිස් ගන්ධය හා මිනිස් ක්‍රියාකාරකම් අතර සම්බන්ධතා හඳුනාගත හැකිය.

එහෙත් සතුන් මිනිසාට හුරු වීම යනු ඔවුන් මිනිසාට ආදරය කිරීමක් හෝ ඔහුගෙන් අනතුරක් නැතැයි විශ්වාස කිරීමක් නොවේ. එය බොහෝ විට අත්දැකීම් මත ගොඩනැඟෙන චර්යාත්මක වෙනසකි.

එබැවින් වන සතුන් සංරක්ෂණය කිරීමේදී ඔවුන් මිනිසාට හුරු කරවීම නොව, ඔවුන්ගේ ස්වාභාවික ජීවන රටාව පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසරය සකස් කිරීම වඩාත් වැදගත්ය.

අපේ පැරැන්නන් වන අලියකු හමුවේ ‘ගුණෙන් කීම’ අනුගමනය කළේ ප්‍රචණ්ඩත්වයට වඩා සාමකාමී පිළිවෙතකට මුල්තැන දෙමිනි. නූතන විද්‍යාව ද අපට කියා දෙන්නේ සතුන්ගේ හැසිරීම් පිළිබඳ අවබෝධයෙන්, ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කමය.

මිනිසා වන සතුන් හඳුනාගැනීමට ඉගෙනගන්නා තරමටම වන සත්තු ද මිනිසා හඳුනාගැනීමට ඉගෙනගනිති. එහෙත් ඒ හඳුනාගැනීම විශ්වාසයක් බවට පත්වන්නේද, බියක් බවට පත්වන්නේද යන්න තීරණය කිරීමට මිනිසාගේම හැසිරීම ද ප්‍රබල සාධකයකි.

ඒ අනුව වන අලියකු ගම්වැදුණු විට ඌ පලවා හැරීම යනු හුදෙක් ශබ්ද කිරීමෙන් හෝ බිය වැද්දීමෙන් විසඳාගත හැකි සරල කාර්යයක් නොවේ. ඒ සඳහා අලියාගේ හැසිරීම් රටාව, අතීත අත්දැකීම්, පරිසරය සහ මිනිසාගේ මැදිහත්වීම යන සියල්ල පිළිබඳ අවබෝධයක් අවශ්‍යය. ඇතැම් විට අපේ පැරැන්නන්ගේ ‘ගුණෙන් කීම’ තුළින් මතු වන සාමකාමී ආකල්පයත්, නූතන සත්ත්ව විද්‍යාවෙන් හෙළි වන චර්යාත්මක අවබෝධයත් එකට ගෙන බැලීමෙන් මේ ගැටුම පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකිය.

— ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (හිටපු මානව විද්‍යා මහාචාර්ය)

එතෙර - මෙතෙර