දිස්ත්‍රික්ක 7කට පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද (12) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ ඇදහැලුණු වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින්, තවදුරටත් වැසි පවතී නම් අවධානයෙන් පසුවන ලෙස දන්වමින් අදියර 2 (ඇම්බර් / Amber) යටතේ දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව අදියර 2 (අවධානයෙන් පසුවන්න – Amber) නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ පහතින්,

කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක, දෙහිඕවිට, මාවනැල්ල සහ දැරණියගල

නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව කෝරළේ, නිල්දණ්ඩාහින්න සහ වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය: ඇලපාත, ඇහැළියගොඩ, වැලිගෙපොල සහ අයගම

මෙම ප්‍රදේශවල වෙසෙන ජනතාව නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළොව ගිලාබැසීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට සූදානමින් සිටින ලෙසත් දැනුම් දෙයි.

මේ අතර, පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් අදියර 1 (විමසිලිමත් වන්න – කහ / Yellow) යටතේ පහත දැක්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය: ඇල්ල සහ පස්සර

කොළඹ දිස්ත්‍රික්කය: පාදුක්ක සහ සීතාවක

කළුතර දිස්ත්‍රික්කය: මතුගම සහ පාලින්දනුවර

මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර, පස්බාගේ කෝරළේ, උඩුනුවර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, උඩුදුම්බර සහ උඩපළාත

කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, වරකාපොල සහ යටියන්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, මතුරට, නෝර්වුඩ් සහ හඟුරන්කෙත

රත්නපුර දිස්ත්‍රික්කය: කිරිඇල්ල, කුරුවිට, බළන්ගොඩ, කොළොන්න, ගොඩකවෙල සහ රත්නපුර

පොළොවේ ඉරිතැලීම් හෝ ගිලාබැසීම්, ගස් හෝ විදුලි කණු ඇලවී යාම, ගොඩනැගිලි බිත්ති හා ගෙබිම පිපිරීම් මෙන්ම එකවර මඩ සහිත ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් සිඳී යාම වැනි නායයෑම් පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙසයි ජනතාවට උපදෙස් දී ඇත.

එමෙන්ම, සිදුවිය හැකි ආපදා අවම කර ගැනීම සඳහා මෙම නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 117 හදිසි දුරකථන අංකය අමතන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

වැඩිදුර තාක්ෂණික උපදෙස් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ආචාර්ය වසන්ත සේනාධීර මහතා (074 120 7457) සම්බන්ධ කරගත හැකි බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හිරාන් තිලකරත්න මහතා සඳහන් කරයි.

කාලීන පුවත්