පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන අද (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට ඊයේ ( 17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.
කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය වී තිබේ.
ඒ අනුව හෙට (19) පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටයි තීරණය වී ඇත.
එසේම, ප.ව. 2.00 – ප.ව 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් ගෙනෙනු ලබන “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
අනිද්දා (20) පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් 2026.03.19 දින ඉදිරිපත් කරන ලද “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව දෙවැනි දිනටත් විවාදයට ගැනීමට නියමිතයි.