
ඉංග්‍රීසි බස පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති සේම කිසිදා ඇමරිකාවට පය තබා නොමැති අප රටේ කුඩා දරුවකු ඇමරිකානු උච්ඡාරණයට අනුව ඉංග්‍රීසි බස කතා කරන වීඩියෝවක් මගේ මිතුරකු පසුගිය දිනයෙක විද්‍යුත් ක්‍රමයකින් මවෙත එවා තිබිණි. එහෙත්, එය පැයකට ආසන්න කාලයක වීඩියෝ වැඩසටහනක් නිසා එය නැරඹීමේ අවකාශයක් මා හට හිමි නොවිණි. නමුදු ඉන් සති කිහිපයකට පසු මගේ ඒ හිතවතාගෙන් මට තවත් විද්‍යුත් පණිවිඩයක් ලැබිණි. එහි සඳහන් ව තිබුණේ “හැම දේකටම විද්‍යාවෙන් විසඳුම් හොයන්න බැරි බව දැන්වත් පිළිගන්නවාද?” යනුවෙනි. කෙසේ හෝ ඒ වීඩියෝව නැරඹීමට මා පෙළඹුණේ ඉන් පසුව ය.
ඇතැම් කුඩා දරුවන් තමන්ට නුපුරුදු, මින් පෙර ක්‍රමවත්ව ඉගෙන නොගත් බාහිර භාෂාවන් ඉතා පහසුවෙන් සහ වේගයෙන් කතා කිරීම මගේ එම මිතුරාගේ මෙන්ම වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුගේ මවිතයට හේතුවන්නකි. සමාජයීය මට්ටමින් මෙවැනි දක්ෂතා දේව වරප්‍රසාද, හාස්කම් හෝ පෙර සසර පුරුදු ලෙස අර්ථගැන්වීමට උත්සාහ කළ ද, නවීන විද්‍යාව මඟින් තහවුරු කර ඇත්තේ මෙය මිනිස් මොළයේ පවතින සුවිශේෂී ජෛව විද්‍යාත්මක හැකියාවක් බවයි. ස්නායු විද්‍යාවට (Neuroscience) අනුව, ළමා කාලයේදී මොළය සතු වන ස්නායු ප්‍රත්‍යස්ථතාව (Neuroplasticity) හෙවත් මොළයේ ඇති නම්‍යශීලී බව සහ නව තොරතුරු ග්‍රහණය කරගැනීමේ ඉහළ ධාරිතාව මේ සඳහා බෙහෙවින් බලපායි. බහුභාෂාමය හැකියාව (Multilingualism) කෙරෙහි බලපාන මෙම සුවිශේෂී ස්නායුක හැඩගැසීම වයසින් මුහුකුරා යත්ම ක්‍රමයෙන් අඩු වී යන බැවින්, වැඩිහිටියන්ට සාපේක්ෂව බහ තෝරන වියේ සිටම කුඩා දරුවන් තුළ අලුත් වචන හා අලුත් භාෂා ඉගෙනීමේ සහජ වේගය ඉතා ඉහළ අගයක් ගනී.

භාෂාමය හැසිරීම් පාලනය කිරීම සඳහා මිනිස් මොළයේ ව්‍යුහය තුළ ප්‍රධාන කලාප දෙකක් ක්‍රියාත්මක වන අතර, ඒවා මුල් වරට විද්‍යාත්මකව අනාවරණය කළ විද්‍යාඥයන්ගේ නම්වලින්ම හඳුන්වා තිබේ. ඉන් පළමුවැන්න කථනය සහ භාෂා නිෂ්පාදනය (Speech Production) පාලනය කරන ‘බ්‍රෝකා ප්‍රදේශය’ (Broca’s Area) වන අතර, දෙවැන්න භාෂාව තේරුම් ගැනීම සහ ග්‍රහණය කරගැනීම (Language Comprehension) සිදු කරන ‘වර්නිකේ ප්‍රදේශය’ (Wernicke’s Area) වේ. නූතන fMRI වැනි මොළය පරිලෝකන (Brain Scanning) පරීක්ෂණ මඟින් හෙළි වී ඇත්තේ, කුඩා අවදියේදීම භාෂා කිහිපයකට නිරාවරණය වන දරුවන්ගේ බ්‍රෝකා ප්‍රදේශය තුළ එම භාෂා සියල්ලම එකම ස්නායු ජාලයක (Shared Neural Network) තැන්පත් වන බවයි. නමුත් වැඩිහිටි වියට පත් වූ පසු අලුත් භාෂාවක් ඉගෙනීමේදී එය තැන්පත් වන්නේ ඊට වෙන් වූ වෙනත් ස්නායුක කලාපයක ය. එබැවින්, වියපත් වන විට අමතර භාෂාවක් හැදෑරීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වන අතර දරුවන්ට එය ඉතා ස්වභාවිකව සහ නිතැතින්ම සිදු වේ.
භාෂාමය හැසිරීම් පාලනය කිරීම සඳහා මිනිස් මොළයේ ව්‍යුහය තුළ ප්‍රධාන කලාප දෙකක් ක්‍රියාත්මක වන අතර, ඒවා මුල් වරට විද්‍යාත්මකව අනාවරණය කළ විද්‍යාඥයන්ගේ නම්වලින්ම හඳුන්වා තිබේ. ඉන් පළමුවැන්න කථනය සහ භාෂා නිෂ්පාදනය (Speech Production) පාලනය කරන ‘බ්‍රෝකා ප්‍රදේශය’ (Broca’s Area) වන අතර, දෙවැන්න භාෂාව තේරුම් ගැනීම සහ ග්‍රහණය කරගැනීම (Language Comprehension) සිදු කරන ‘වර්නිකේ ප්‍රදේශය’ (Wernicke’s Area) වේ. නූතන fMRI වැනි මොළය පරිලෝකන (Brain Scanning) පරීක්ෂණ මඟින් හෙළි වී ඇත්තේ, කුඩා අවදියේදීම භාෂා කිහිපයකට නිරාවරණය වන දරුවන්ගේ බ්‍රෝකා ප්‍රදේශය තුළ එම භාෂා සියල්ලම එකම ස්නායු ජාලයක (Shared Neural Network) තැන්පත් වන බවයි. නමුත් වැඩිහිටි වියට පත් වූ පසු අලුත් භාෂාවක් ඉගෙනීමේදී එය තැන්පත් වන්නේ ඊට වෙන් වූ වෙනත් ස්නායුක කලාපයක ය. එබැවින්, වියපත් වන විට අමතර භාෂාවක් හැදෑරීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වන අතර දරුවන්ට එය ඉතා ස්වභාවිකව සහ නිතැතින්ම සිදු වේ.
මෙම ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කරමින් මනෝවිද්‍යාව පෙන්වා දෙන්නේ දරුවන්ගේ මොළය අවට පරිසරයෙන් ලැබෙන ශබ්ද සහ දෘශ්‍ය උත්තේජන ඉතා සියුම් ලෙස අවශෝෂණය කරගන්නා “ස්පන්ජ්” එකක් බඳු බවයි. විශේෂයෙන්ම වර්තමාන ඩිජිටල් යුගය තුළ, දරුවන් යූටියුබ් (YouTube), රූපවාහිනී කාටූන් හෝ පරිගණක ක්‍රීඩා ඇසුරින් නිරන්තරයෙන් ඉංග්‍රීසි භාෂාවේ විවිධ උච්ඡාරණ රටාවන්ට (Accents) නිරාවරණය වේ. වැඩිහිටියන් සිතාමතා ව්‍යාකරණ රීති ඉගෙන ගන්නා අතරතුර, දරුවන් කරන්නේ මෙම ශබ්ද රටා තමන් දන්නා බසක් මෙන් සෘජුවම මොළයේ තැන්පත් කරගෙන නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීමයි.
වාග් විද්‍යාත්මක පර්යේෂණ දෙස බැලීමේදී, ලොව පවතින සියලුම භාෂාවන් එක් පොදු ප්‍රාථමික භාෂාවකින් (Proto-Human Language) බිහි වූ බවට විද්‍යාත්මක සාධක නොමැති වුවද, සුප්‍රකට ඇමරිකානු වාග් විද්‍යාඥ නොම් චොම්ස්කි (Noam Chomsky) පෙන්වා දුන් “විශ්ව ව්‍යාකරණ” (Universal Grammar) සංකල්පය ද මෙහිදී අතිශයින්ම වැදගත් වේ. චොම්ස්කිට අනුව, ලෝකයේ ඕනෑම භාෂාවක ව්‍යුහය තේරුම් ගත හැකි සහජ ජෛව විද්‍යාත්මක මෙවලමක් මිනිස් දරුවා උපතින්ම රැගෙන එන අතර, ඔහු එය ‘භාෂා ග්‍රහණ මෙවලම’ (Language Acquisition Device – LAD) ලෙස හඳුන්වා තිබේ. ඒ අනුව කුඩා දරුවෝ ව්‍යාකරණ පොත් බලා නීති රීති පාඩම් කිරීම වෙනුවට, තමන් අවට පරිසරයෙන් හෝ වර්තමාන ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඇසෙන ශබ්ද උත්තේජන (Exposure) උපයෝගී කරගනිමින්, තම මොළයේ ඇති මෙම සහජ මෙවලම හරහා අදාළ භාෂාවේ ව්‍යුහාත්මක රීතීන් ඉතා වේගයෙන් ස්වයංක්‍රීයව හඳුනා ගනිති.
නමුත් මෙහිදී විශේෂ අවධානයට යොමු කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් මෙම දරුවන් කතා කරන නොදන්නා භාෂාව 100%ක්ම නිවැරදි ද යන්න ය. නොදන්නා භාෂාවක් කතා කිරීමේදී, තමන්ට මතක නැති හෝ නොදන්නා වචන වෙනුවට ව්‍යාජ, අර්ථයක් නොමැති හෝ ඒ මොහොතේ ගලපා ගත් වචන යෙදීම බොහෝ දෙනෙකු වෙතින් සිදු වන්නකි. එම ක්‍රියාවලිය හඳුන්වන්නට භාෂා විද්‍යාව සහ මනෝ විද්‍යාව තුළ විශේෂිත යෙදුම් කිහිපයක්ම තිබේ. ඉන් එකක් වන්නේ කෙනෙකු තමන්ට අවශ්‍ය අදහස ප්‍රකාශ කිරීමට භාෂාවේ ඇත්තටම නැති, අලුත්ම ව්‍යාජ වචනයක් ක්ෂණිකව නිර්මාණය කර භාවිත කිරීම වන නවවදන්කරණය / ව්‍යාජ වදන් නිර්මාණය (Neologism ) යන්නයි. විශේෂයෙන්ම විදේශීය භාෂාවක් ඉගෙන ගන්නා මුල් අවධියේදී බොහෝ දෙනා නොදැනුවත්වම තමන් දන්නා ශබ්ද එකතු කර මෙවැනි වචන නිපදවා ගනිති.
තවත් ක්‍රමයක් වන්නේ තමන් දන්නා මව් භාෂාවේ වචනයක් ගෙන, එය කතා කරන අනෙක් භාෂාවේ උච්ඡාරණය අනුව ව්‍යාජ විදේශීය වචනයක් ලෙස භාවිත කිරීම වන ‘පරභාෂාකරණය’ (Foreignizing / Borrowing) යන්නයි. වත්මන් සමාජයේ ඇතැම්හු ඉංග්‍රීසියෙන් කතා කරන විට Definitely, Absolutely හෝ For sure යන ඉංග්‍රීසි වදන් වෙනුවට ‘අනිවා’ යන්න යොදනු ද ඇසී තිබේ. එය ‘අනිවාර්යයෙන්’ යන සිංහල වදන අමු අමුවේ ඉංග්‍රීසියට හරවා ගැනීමකි. නමුත් එලෙස අතිවිශාල පිරිසක් නිරතුරුවම මෙලෙස මෙම වදන් වෙනුවට ඉතා පහසුවෙන් උච්ඡාරණය කළ හැකි ‘අනිවා’ යන වදන නිරන්තරයෙන් පැවසීම මත, එය හීන් සීරුවේම ඉංග්‍රීසි බස තුළට රිංගා ගැනීමට ද පුළුවන.
මීට අමතරව, නොදන්නා වචනයක් වෙනුවට ව්‍යාජ වචනයක්ම නොයෙදුවත්, එම වචනයේ අඩුව පිරවීම සඳහා වෙනත් වචන සමූහයක් හෝ විස්තර කිරීමක් (Paraphrasing) භාවිත කරමින් අදහස මතු කිරීමට උත්සාහ කිරීම ‘වටරවුම් කථනය’ (Circumlocution) ලෙස හැඳින්වේ. මෙය භාෂා ඉගෙනීමේදී බහුලව භාවිත වන සන්නිවේදන උපාය මාර්ගයකි. එසේම, යමෙක් කිසිසේත්ම නොදන්නා භාෂාවක් දන්නා බව ඇඟවීමට හෝ එම භාෂාවේ අඩුව වැසීමට සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත, ව්‍යාජ ශබ්ද සහ වචන මාලාවක් වේගයෙන් කතා කිරීම ‘ජාගන්’ (Jargon) හෝ ‘ගිබ්බිරිෂ්’ (Gibberish) ලෙස හැඳින්වේ.
මනෝවිද්‍යාත්මක පර්යේෂණවලදී Xenoglossy ලෙස හැඳින්වෙන, කිසිදා ඉගෙන නොගත් භාෂාවක් කතා කිරීමේ සංසිද්ධිය පිළිබඳවද සමාජයේ කතාබහක් පවතී. බොහෝ විට ආගමික හෝ අධ්‍යාත්මික වටපිටාවන් තුළ මෙය පෙර ආත්ම භවයක මතකයන් ලෙස අර්ථකථනය කළද, විද්‍යාත්මකව විමසා බැලීමේදී පෙනී යන්නේ මේවායින් අතිමහත් බහුතරයක් ඉහත සඳහන් කළ ගිබ්බිරිෂ් හෙවත් අර්ථ විරහිත ධ්වනි මාලාවන් හෝ දරුවා නොදැනුවත්වම පරිසරයෙන් උකහාගත් සැඟවුණු මතකයන් (Cryptomnesia) ශ්‍රවණය වී තිබීම මත මතුවන භාෂා ඛණ්ඩයන් බවයි.
මීට අමතරව, මනෝවිද්‍යාත්මක පර්යේෂණවලදී Xenoglossy ලෙස හැඳින්වෙන, කිසිදා ඉගෙන නොගත් භාෂාවක් කතා කිරීමේ සංසිද්ධිය පිළිබඳවද සමාජයේ කතාබහක් පවතී. බොහෝ විට ආගමික හෝ අධ්‍යාත්මික වටපිටාවන් තුළ මෙය පෙර ආත්ම භවයක මතකයන් ලෙස අර්ථකථනය කළද, විද්‍යාත්මකව විමසා බැලීමේදී පෙනී යන්නේ මේවායින් අතිමහත් බහුතරයක් ඉහත සඳහන් කළ ගිබ්බිරිෂ් හෙවත් අර්ථ විරහිත ධ්වනි මාලාවන් හෝ දරුවා නොදැනුවත්වම පරිසරයෙන් උකහාගත් සැඟවුණු මතකයන් (Cryptomnesia) ශ්‍රවණය වී තිබීම මත මතුවන භාෂා ඛණ්ඩයන් බවයි.
ඉන් පැහැදිලි වන්නේ, කුඩා දරුවන් තමන් සෘජුව නොලැබූ ශික්ෂණයකින් යුතුව බාහිර භාෂාවන් කතා කිරීම කිසිසේත්ම අද්භූත හාස්කමක් හෝ දේව බලයක් නොවන බවයි. එය මිනිස් මොළයේ පරිණාමීය දායාදයක් වන සහජ භාෂා ග්‍රහණ මෙවලම (LAD) සහ ළමා මොළයේ ස්නායු ප්‍රත්‍යස්ථතාව (Neuroplasticity) යන විද්‍යාත්මක සාධක ද්විත්වයෙහි මනරම් සංකලනයකි. බාහිර පරිසරයෙන් හෝ අන්තර්ජාලයෙන් ලැබෙන සුළු හෝ උත්තේජනයක් ඔස්සේ මෙම ස්නායුක පද්ධතිය සක්‍රිය කරගන්නා දරුවන්, විස්මිත ලෙස අලුත් භාෂාවන් හසුරුවන අතර, එය හාස්කමකට වඩා මිනිස් ජීව විද්‍යාවේ පවතින අතිවිශිෂ්ට ක්‍රියාවලියක් ලෙස විද්‍යාත්මකව පිළිගැනීම වඩාත් නිවැරදි වේ.
ඒ අනුව ආදරය, කරුණාව, රස වින්දනය ආදී භාවමය අත්දැකීම් විද්‍යාවෙන් විශ්ලේෂණය කිරීම කිලෝමීටරයකට ඇති ග්‍රෑම් ප්‍රමාණය සෙවීම වැනි නිරර්ථක වැඩක් වුවද, කුඩා දරුවන් නොදන්නා බසක් කතා කිරීම හාස්කමක් නොවන බව පිළිගැනීමට ඉහත සඳහන් කරුණු ප්‍රමාණවත් වනු ඇතැයි යන්න සඳහන් කරමින්, මගේ මිතුරා වෙත ද මෙම සටහන යොමු කරමි.
තිලක් සේනාසිංහ